ගිවිසුමට නිදහස් පක්ෂය සූදානම්
Posted on October 3rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අතර, සාකච්ඡාවක් අද රාත්‍රියේ කොළඹදී පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීම සඳහා වන අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර සහ නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න එම සාකච්ඡාවට එක්වන බවයි වාර්තා වන්නේ.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ලාංඡනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් තීරණය ලබන 5 වනදා පැවැත්වෙන නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර තමන්ට දැනුම් දෙන ලෙසයි එම ලිපියෙන් දක්වා ඇත්තේ.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර කියා සිටියේ සන්ධාන ගතවීම සම්බන්ධයෙන් දැනට සාධනීය තත්ත්වයක් පවතින බවයි.

එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූම ආසන සංවිධායකවරුන් හෙට කොළඹට කැඳවා තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීම සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන්ගේ මතය විමසීම එහිදී සිදුකෙරෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා කර තිබෙනවා.

විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී ඊයේ මෙම සාකච්ඡාව පැවති අතර එහිදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය සහය ලබාදෙන බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress