පාස්කු ප්‍රහාරය ගැන – සාක්ෂි ඇත්නම් අධිචෝදනා ගොනු කරන්නැයි තේරීම් කාරක සභා අවසන් වාර්තාවෙන් නිර්දේශ
Posted on October 23rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී ඇතැම් පුද්ගලයින් ප්‍රහාරය වැළැක්වීම සඳහා වන, සිය වගකීම් ඉටු කිරීමට අසමත් වී ඇති බව පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි රැස්කර ගැනීමට හැකිවන අවස්ථාවලදී අධිචෝදනා ගොනුකිරීම සහ නඩු පැවරීම සිදුකළ යුතු බවටයි විශේෂ කාරක සභා වාර්තාව මගින් නිර්දේශ කර ඇත්තේ.

අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නයි.

කෙසේ වෙතත් තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරිමට ප්‍රථම ඊට විපක්ෂයෙන් විරෝධතා එල්ල වුණා.

ඔවුන් කියා සිටියේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් සමග අමාත්‍ය රවුෆ් හකීම් සාකච්ජා පවත්වා ඇති බවට චෝදනා එල්ල වී ඇති බැවින් ඔහු සමාජිකත්වය දරන විශේෂ කාරක සභාවේ වාර්තාව පිළිගත නොහැකි බවයි.

පාස්කු ඉරු දින පල්ලි 03 ක සහ හෝටල් 03 ක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 277 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ද ඇතුළුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 400 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විශේෂ කාරක සභාව පවසනවා.

මරණයට පත්වූවන් අතර අවම වශයෙන් විදේශිකයින් 40 ක් සහ ළමයින් 45 ක් සිටි බව වාර්තා වූ බවයි කාරක සභා වාර්තාවේ දැක්වෙන්නේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව 24 වතාවක් රැස්වී පුද්ගලයින් 55 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා.

පිටු 242 කින් සමන්විත විශේෂ කාරක සභා වාර්තාවෙන් දක්වා ඇත්තේ බුද්ධි අංශ යාන්ත්‍රණය තුළ රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයාගේ අති විශේෂ භූමිකාව සලකා බැලීමේදී ඔහුට බරපතල වගකීමක් පැවරී ඇති බව අවධානයට ලක්වූ බවයි.

අප්‍රේල් මස 04 වැනිදා ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු පළමුව ලැබුණු පුද්ගලයා වූ රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා ඇතිවිය හැකි තර්ජන අවම කිරීමට සහ වැළැක්වීමටත් සියළු පියවර ගත යුතුව තිබූ බව වාර්තාව මගින් සඳහන් කර ඇති අතර, එම සියළු අංශවලින් ඔහු අසාර්ථක වී ඇති බව එහි දක්වා තිබෙනවා.

එසේම ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් පිලිවෙලකට පැවැත්වීම ආරක්ෂක ලේකම්වරයා විසින් වගබලා ගත යුතු බව සඳහන් කරන, විශේෂ කාරක සභාව රැස්වීම් කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මත රැඳී නොසිටිය යුතු බව පවසනවා.

මේ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරුන් වන කපිල වෛද්‍යරත්න සහ හේමසිරි ප්‍රනාන්දු යන දෙපලම වරදක් සිදුකර ඇති බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ප්‍රකාශ කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ලද බුද්ධි තොරතුරු දේශපාලන නායකත්වය සහ ආරක්ෂක හමුදා දැනුවත් කිරීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අවශ්‍ය පියවර නොගැනීම බරපතල අඩුපාඩුවක් බවයි එහි දැක්වෙන්නේ.

පොලිස්පතිවරයා විසින් සිදුකර ඇති අඩුපාඩු කිහිපයක්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂ කාරක සභාවේ වාර්තාව මගින් සඳහන් කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදුවූ පිපිරීම සහ ලැබුණු බුද්ධි තොරතුරු තිබියදීත් නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරීමට අපොහොසත් වීම, දේශපාලන නායකත්වය දැනුවත් නොකිරීම සහ ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් බිම් මට්ටමේදී ගත යුතු පියවර පිළිබඳව ප්‍රමාණවත් උපදෙස් යටත් නිලධාරීන්ට ලබාදී නොතිබීමද ඒ අතර වනවා.

පොලිස්පතිවරයා විසින් ක්ෂණික සහ ශක්තිමත් පියවර ගෙන බිම් මට්ටමේ සූදානම් වීම් සඳහා පැහැදිලි උපදෙස් ලබාදී තිබුණේ නම් ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එහි තීව්‍රතාවය අවම කර ගැනීමට බොහෝ දෑ කළ හැකිව තිබූ බව විශේෂ කාරක සභාවේ අදහසයි.

ප්‍රධාන වශයෙන් වහා අවධානය යොමුවිය යුතු නිර්දේශ කිහිපයක් විශේෂ කාරක සභාව මගින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒවා අතර, ආරක්ෂක සහ බුද්ධි අංශයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ, ආගමික අන්තවාදයේ නැගීම පාලනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවය, වහබ්වාදය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව යන කරුණු දක්නට ලැබීම විශේෂත්වයක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress