ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් තබන බව අගමැති කියයි
Posted on October 30th, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අර්බුදයට තුඩුදී ඇති මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 480 ක්.
මේ අතර, අදාළ ප්‍රදානය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් ඇමරිකාව ප්‍රසාදය පළ කර තිබෙනවා.

ඇමරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබා ගැනීමට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ හිමිව තිබෙනවා.
අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය කාලයේ රට තුළ පුළුල් සංවාදයක් පැවති අතර, විපක්ෂය ඇතුළු පාර්ශ්ව රැසක් චෝදනා කළේ අදාළ ගිවිසුම මගින් මෙරට ඉඩම් අයිතිය විදේශ සමාගම් සතු කිරීම සදහා නව පනතක් හඳුන්වාදීමට කටයුතු කරන බවටයි.
එමෙන්ම ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීමට බලය ලබාදෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීමට ද ජනාධිපතිවරයා මීට පෙර කටයුතු කළා.
කෙසේ වෙතත්, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වෙතින් ප්‍රදානය කෙරෙන ඇමරිකානු ඩොලර් මිලියන 480 ක මුදල ලබාගැනිම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් ඇමරිකාව සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ මෙම මුදල කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීම, බස් සේවා නවීකරණය, ඓතිහාසික සිද්ධස්ථාන සංවර්ධනය කිරීම, ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම මෙන්ම ඉඩම් පරිපාලනය යන ව්‍යාපෘති සඳහා යොදාගත හැකි බවයි.
ව්‍යාපෘති යෝජනාවන් අනුව අධීක්ෂණය හා පාලනය කිරීමේ බලය ශ්‍රී ලංකාව සතු බවට ද එම නිවේදනයේ සඳහන්.
මේ අතර, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.
මේ අතර, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශ්වයන් අදත් අදහස් පළ කළා.