රෝහණ විජේවීරයන් සමග මාධ්‍ය සාකච්ඡාවක්
Posted on January 16th, 2020

සම්බන්ධීකරණය චන්ද්‍රසේන පණ්ඩිතගේ

ප්‍රශ්නය: මහත්මයාණෙනි, වර්තමාන ශ්‍රී ලංකාව පසුගිය යහපාලන රජය විසින් අවුල් ජාලයක් බවට පත්කර හමාරයි.  මේ තත්වයට වගකිවයුතු එක් පක්ෂයක් වන්නේ, ජනතා විමුක්ති පෙරමුණයි. මේ සම්බන්ධව පැහැදිලි පිළිතුරක් දිය හැකි කිසිවෙක් ඒ පක්ෂය තුල නැහැ. විවිධ අය විවිධ දේවල් කියනවා. ඒ නිසයි අප ඔබ හමුවට පැමිණියේ.
මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ 69ක ජනතාව ඉතා අසීරුවෙන් ගොඩනගාගත්, පවතින රජයට විරුද්ධව සිටින ප්‍රබල පක්ෂයක්, ඔවුන් විපක්ෂය සමග මේ රජයට එරෙහිව කටයුතු කිරීමට සහය දෙනවා. මේ සම්බන්ධව එම පක්ෂයේ නිර්මාතෘ වශයෙන් ඔබට කීමට ඇත්තේ කුමක්ද?

පිලිතුර: මේ සමාජය මහා සංකීර්ණ සමාජයක්; මේ සමාජය තුල පවතින වැදගත්ම ඒකකය මිනිසායි. අපට පෙනෙන මිනිසා අප කිසිවෙකුත් නොදකින මනස හා බද්ධවයි පවතින්නේ; මනස තුල අප කිසිවෙකුත් නොදකින මිනිසුන් රාශියක් ජීවත් වෙනවා ඔවුන් අතරත් නිරන්තර අරගල සිදුවෙනවා; විටෙක මිනිසා තුල ජීවත්වෙන සත්‍ය ගරුක මිනිහා ජය ගන්න අතර විටෙක ඔහු තුල ජීවත්වන කපටියාට පුලුවන් වෙනවා, ඔහු තුල ජීවත්වෙන යුක්ති ගරුක මිනිසාව විනාශ කරන්න; මේ වනවිට සිදුව ඇත්තේ ජනතා විමුක්ති ‍පෙරමුණහි දේශපාලන මණ්ඩල සභිකයින්ගේ මනස් තුල ජීවත්වූ සැබෑ යුක්ති ගරුක මිනිසාව විනාශ කර දමා තිබීමයි. ඒ නිසා එම පක්ෂය සෘජුවම තම පක්ෂ නායක මණ්ඩලයත් සාමාජිකයුනුත් ඝාතනය කල සතුරා සමග සන්ධාන ගතව දේශපාලනය කරමින් ඉන්නවා. මෙය ජනතා විමුක්ති පෙරමුණේ උපතට හේතුවූ බීජයට එරෙහිව ගත් තීරණයක්.

ප්‍රශ්නය: ජනතා විමුක්ති පෙරමුණ කාලාන්තරයක් මුලුල්ලේ මේ රටේ විධායක ජනාධිපති ධූරය ඉවත් කරවා ගැනීමට අඛණ්ඩව අරගලයක් දියත් කල පක්ෂයක්, එම අරගලය ජය ගැනීම ඔවුනගේ අරමුණ බව ඔවුන් කියා සිටිනවා; ඒ සම්බන්ධව ඔබ දරන්නේ කුමන අදහසක්ද?

පිලිතුර: ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ රටේ විධායක ජනාධිපති කම ඉවත් කරවා ගැනීම උදෙසා බිහිකල පක්ෂයක් නම් නොවේ. විධායක ජනාධිපතිකම කියන්නේ, පුර්ණ බලතල හිමි රාජ්‍ය නායක ධූරයක්. මොන පිස්සෙකුටද බලතල නැති ධුර උවමනා කරන්නේ? බලතල කප්පාදු කල පදවියක් ගන්න මේ ලෝකයේ කිසිම පුද්ගලයකු කැමති නැහැ. අපි සැබෑ ලෙසම අපේක්ෂා කරන්නේ, තමන් දරන තනතුරට හිමි බලතල අනිවාර්යෙන් හිමිවිය යුතු බවයි.

ප්‍රශ්නය: ඔබ ඇත්ත වශයෙන්ම විධායක ජනාධිපති ධූරයට විරුද්ධ නැද්ද?

පිලිතුර: ඔය ප්‍රශ්නයට පිලිතුර, 1982 ජනාධිපතිවරණයේදී පැහැදිලිවම අප ප්‍රකාශ කලා. එදා අප බලය ඉල්ලුවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න නම් නොවේ. ඒ ජනාධිපති බලතල උපයෝගී කරගෙන මෙරට තුල නව සමාජ සංස්කෘතියක් ගොඩනංවන්නයි.

ප්‍රශ්නය: ඔබට 1982 ජනාධිපතිවරණයේදී, කිරීමට අවශ්‍ය නොවූ දෙයක්; රටේ අංක එකේ ප්‍රශ්නය ලෙස හුවා දැක්වීමට වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ උත්සහ කරන්නේ ඇයි?

පිලිතුර: මේ රටේ මූලික වශයෙන් ජන බල ඇණි නවයක් තියෙනවා. ඒවා පිලිවෙලින්; භික්ෂූන් වහන්සේලා, වෛද්‍ය පරම්පරාව, ගුරු පරපුර, බුද්ධිමතුන්, ආරක්ෂක හමුදාවන්, ගොවියන්, කම්කරුවන්, රැකියා විරහිත තරුණ පරම්පරාව හා ශිෂ්‍යයින් වශයෙන් නම් කරන්න පුලුවන්.
මේ කාගේ, කුමන ප්‍රශ්නය විසදන්නද විධායක ජනාධිපති ධූරය හරස් වෙලා තියෙන්නේ? ඇත්ත වශයෙන් එහෙම ගැටලුවක් ඇතිවෙලාම නැහැ.
සැබෑ ලෙසම මේ ප්‍රශ්නය යම් තරමකින්වත් කථා කිරීමට කාලය මිඩංගු කල යුතු කරැණක් නම් නොවේ. නමුත් මේ ප්‍රශ්නය අද දේශපාලන ‍පිටියේ මහා විශාල ආන්දෝලනාත්මක පෙරලියක් කරන අබිං කන්දරාවක් බවට පත්කර හමාරයි. ඒ නිසා මටත් අනිවාර්යෙන්ම සිද්ධවෙනවා මේ සම්බන්ධව ඔබට කරුණු කියන්න. ජනතාවට සැබෑ තත්වය හෙලිකරන්න. මේ රටේ සියලූම ජන බලමුළු වලට ඇත්තේ ඔවුනට ආවේනික වූ ගැටලු මිස, විධායක ජනාධිපති ධූරය නිසා ඔවුනට සිදුවූ ඇබැද්දි නම් නොවේ. මොවුන් මේ සිදු කරමින් සිටින්නේ බොරු උප්පරවැට්ටියක් බව හොදටම තේරෙනවා.

මම ඔබට සදහන් කලා, මෙරට ඇති බලවේග නවයක් සම්බන්ධව. ඉන් බලවත්ම  බලවේගය වන්නේ, සග පරම්පරාවයි. ඔබම සිතා බලන්න මෙරට භික්ෂුන්වහන්සේලාට විධායක ජනාධිපතිකම නිසා කිසියම් හානියක් සිදුවෙලා තියෙනවද?

නැහැ ඇත්තටම නැහැ. ඉතිහාසයේ සිදුවුණ, වැදගත් සිදුවීමක් 1966 ජනවාරි 8 වෙනිදා සිදුවුණා. එදා පෙළපාලියකින් විත්, කොල්ලුපිටියේ ගාලුපාර මත වාඩිවී සිටි මහා සගරුවන මතින් වාහන පදවාගෙන ගොස්, පසුව එම පිරිසට වෙඩිතබා මහා විනාශයක් සිදුකලා. හාමුදුරුවරු අපවත් කලා. සාමාන්‍ය මිනිස්සු මැරුණා.  මේවා කලේ, විධායක ජනාධිපති බලතල ඇති රජයකින් නෙමෙයි. ඉතින් බලතල ඇති අගමැති කෙනෙක් හිටියත්, බලතල ඇති ජනාධිපතිවරයෙක් හිටියත් ලැබෙන දේශපාලන ප්‍රතිපලය එකමයි. විධායක ජනාධිපති බලතල අහෝසි කිරීමට සටන් කිරීම කියන්නේ, නිකම්ම නිකම්  දේශපාලන විකාරයක් විතරයි.

ප්‍රශ්නය: එතකොට ඔබ කියන්නේ ජනාධිපති විධායක බලතල ඉවත් කිරීම කිසිදු පලක් නැති කර්තව්‍යක් කියලද?

පිලිතුර : ඔව්! සැබෑ ලෙස ඔය කරුණ, මේ රටේ ජීවත්වෙන ජනතාවගේ වෘත්තීන්ට සැබෑ ලෙසම බල නොපාන කරුණක්, මේ රටේ ජනතාවට බලපෑ ත්‍රස්තවාදී ගැටලුවට හා සමාන තත්වයක් විධායක බලතල සම්බන්ධව ඉස්මතු කිරීමට හැකිවූයේ, ජනතා විමුක්ති පෙරමුණ තුලට රිංගා ගත් අධිරාජ්‍යවාදී හෙන්චයියන්ගේ කුඨ ක්‍රියාවන් හේතුවෙනි. වසර ගනනක් අඛණ්ඩව දිව්‍ය මන්තරයක් සේ මේ මැතිරීම සිදුකල ඔවුන් ජනතාව හා සියලූම ජනමාධ්‍යයන්, දේශපාලන අන්ධයින් බවට පත් කිරීමට සමත් වුණා. එක මේ රටේ සිදුවුණා ප්‍රතිගාමිත්වයේ විශාල ජයග්‍රහණයක්.
මේ හේතුවෙන්, මෙරට ජනතාවට දැඩිව බලපාන ප්‍රශ්න ගැන, සමාජය තුල විය යුතුවූ වැදගත් සංවාදයන් අඩාලවීම සිදුවුණා. මේ සම්බන්ධව පැහැදිලිවම මොවුන් ජනතාවට වගකිව යුතුයි.

ප්‍රශ්නය: සොරකම හා දූෂණය; පවතින රජය තුල අරක්ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා ඒ සම්බන්ධව ඔබ දරන මතය පැහැදිලි කරන්න.

පිලිතුර: මේ පවතින්නේ ධනවාදී සමාජයක්; ධනවාදය යටතේ සොරකම හා වංචාව අනිවාර්ය අංගයක්; ඒ අනුව පවතින සෑම රජයක් තුලම, මෙය අඩු වැඩි වශයෙන් මෙය සිදු වෙනවා.

ප්‍රශ්නය: මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මහතා හා එම පවුල මෙරට අංක එකේ සතුරාය යන අරුතින් දේශපාලන සංවාද හා පුවත් පත් සාකච්ඡා වලදී මත පලකරනවා ඒ සම්බන්ධව ඔබේ මතය කුමක්ද?

පිලිතුර: අපි තනි පුද්ගලයකු හෝ තනි පවුලක් සතුරු බලවේගයක් වශයෙන් සලකන්නේ නැහැ. ඇත්තටම තනි පුද්ගලයකු හෝ පවුලක් සමාජ බලවේගයක් නම්; අපිට කොච්චර පහසුද සමාජ ක්‍රමය වෙනස් කරන්න. විශේෂයෙන් මාක්ස්වාදී දේශපාලන ක්‍රියාකාරිත්වය තුලදී පුද්ගලයකු හෝ පවුලක් බලවේගයක් වශයෙන් සැලකිය නොහැකියි.

ප්‍රශ්නය: වර්තමාන දේශපාලන පිටියේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් මහින්ද රාජපක්ෂ මහතා හා එම පවුල, මෙම රට සූරාකනු ලබන පවුල බවට නම් කර හමාරයි. එම පවුල බලයෙන් පහකිරීමෙන් පසුවත්, යලි ජනතාව බලයට පත්කළ පසුවත්, ඔවුන් හබා යමින් සිටින්නේ එම පවුල පසුපසයි.

පිලිතුර: හොදයි කවුද මහින්ද රාජපක්ෂ මහතාව බලයට ගෙන ආවේ?
ඒ ජනතා විමුක්ති පෙරමුණයි. වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරන ආකාරයට එතුමා දූෂිතයෙකු නම්, පවුල් වාදියකු නම්, දූෂිත සහෝදර සමාගමක් නඩත්තු කරන්නෙකු නම් ඒකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනි ජනතා විමුක්ති පෙරමුණයි. පලමුව ඒ සම්බන්ධව ජනතාව ඉදිරියට විත් ජනතාවගෙන් සමාව ගන්න ඕනි.
මේ වනතෙක් එවැන්නක් සිදුකොට නැහැ. එසේ ජාතියෙන් සමාව අයදින්නේ නැතිව තවත් අපේක්ෂකයකුට සහය දෙන්නයයි කියන්න එම පෙරමුණට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ.

පවුල්වාදය ගැන කියන කොට අපේ සිහියට නැගෙන රටක් තමයි උතුරු කොරියාව. මී සීයා විමුක්ති සටන්හි පෙරමුණ ගෙන, ඊට පසු සියා විමුක්ති සටන ජයගෙන, තාත්තත් රට පාලනය කර මියගිය පසු, අද පුතාත් අඛණ්ඩවම සිය පාලනය ගෙන යනවා.
සහෝදර සමාගම වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ දකින්නේ; මහින්ද රාජපක්ෂ සහෝදරයින් හරහා නම්, ඔවුන් විසින් නියත වශයෙන්ම, කියුබානු කස්ත්‍රෝ සොහොයුරන්ටත් එම අවලාදයම භාවිත කරන බව වටහා ගන්න. ඇමරිකාව කියුබාව උදෙසා බාවිතාකල පිලිණුවුන අවලාදය ජනතා විමුක්ති පෙරමුණ මේ අවස්ථාවේදී වැලදගෙන තිබෙන බව කිව හැකියි.
ශ්‍රී ලංකාවේ සුපිරිම සහෝදර සමාගම බිහිකිරීමට වෙර දෑරුවේ අපයි. අපේ පක්ෂයේ සිටි හැම අයෙක්ම සැබෑ සහෝදරයකු සේ සැලකුවේ අපයි. සහෝදරකම උත්තරීතර පදවියක් ලෙස දුටුවේ අපයි. සහෝදරකම උත්තරීතර පදවියක් ලෙස හදුනාගෙන, හැම අයෙක්ම ලේ නෑකම ඇති සහෝදරයින්සේ එකට බද්ධවීමට වෙරදැරූ පක්ෂයක නායකයින් සහෝදරකමට ගරහන ආකාරය තුල ඇත්තේ කුහකත්වයයි.

මේ ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන මහත්වරු මේ රංග දක්වන්නේ ගොවිපලේ පෙරලිය නවකතාවේ ඌරන්ගේ චරිතාන්ගයි. ගොවිපලේ ඌරන් අවසානයේදී ගොවිපලේ සතුන්ව මසට මිනිසුන්ට විකුණන ආකාරයටම, මෙරට අධිරාජ්‍ය විරෝධී ජනතාවව, අධිරාආජ්‍යවාදීන්ගේ උවමනාවන් වෙනුවෙන් යොදවනවා. සැබෑ ලෙසම, ඔවුන් කවුදැයි මනාව වටහා ගන්න, එක කරුණක් පෙන්වා දිය හැකියි. මේ මහත්වරුන්ට අනුව, මේ රටේ විනාශයට ඒකායන හේතුව රාජපක්ෂ සහෝදර සමාගම නම්, එදා පිත්තල හන්දියේ බෝම්බයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාත්; බදුල්ලේදී මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන අටවා තිබූ බෝම්බයත් නිසි ලෙස ඉලක්ක ගතවූයේ නම් මේ රට රාජපක්ෂ පවුලෙන් ගලවා ගන්න තිබුණා යයි මතයක් ඉස්මතු වෙනවා. එසේ වුවා නම් හොදද? මේ ප්‍රශ්නයට දෙන පිළිතුර මත ඔවුන්ගේ සැබෑ ස්වරුපය හෙළිවේවි.

ප්‍රශනය: ඔබ ශ්‍රී ලංකාවේ වර්තමානය දකින්නේ කුමන ආකාරයකටද?

පිලිතුර: අපි 1964 සිට 1989 දක්වා දේශපාලනය කල කණ්ඩායමක්. අපේ ඉලක්කය වුයේ ආයුධ සන්නද්ධ අරගලයකින් බලය ලබා ගැනීමයි. ඊට හේතු ගොඩක් තිබුණා. එවකට පවතී ජාත්‍යන්තර තත්වය හා ජාතික තත්වය එය කිරීමට අපට බලකලා යයි කියන්න පුළුවන්. විප්ලවය කියන්නේ බලෙන් රාජ්‍ය බලය ලබා ගැනීමයි. ඒක පහසු කටයුත්තක් නොවෙයි. නමුත් එය සාර්ථක වුනානම් රජය කරගෙන යාම ඉතා පහසුයි. අපේ අරමුන වුයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ අධිෂ්ඨානය මෙන්වූ ප්‍රබල ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමයි. අපේ මිතුරන් ලෙස අපි සැලකුවේ, රුසියාව, චීනය, උතුරු කොරියාව, වියට්නාමය, කියුබාව වැනි රාජ්‍යයන්ය. අද ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සැබෑ ජාත්‍යන්තර මිතුදම් පවත්වන්නේද චීනය, රුසියාව, හා බද්ධවූ රාජ්‍යන් පමණයි. එදා අප සුදානම් වුවද, මෙරට ජනතාව මතවාදීව ඒ සදහා සුදානමක් තිබුනේ නැහැ. ඒ නිසා, අපේ අරගලය ශෝකාන්තයකින් නිමාවට පත්වුණා. නමුත් අද එහෙම නොවෙයි එදාට වඩා මෙරට ජනතාව සිය දහස් ගුණයකින් මතවාදීව සන්නද්ධව සිටිනවා. ඔවුන් හරි බලවත්. නමුත් ජනතාව තරම් දේශපාලනඥයින් ප්‍රබල නැති බවක් ඉතාම පැහැදිලියි. අද රජය පෙරලන්න සන්නද්ධ සටන් ඕනිම නැහැ. පාරට බහින්න ඕනිත් නැහැ. මිනිසුන්ට ගෙදර ඉදන්ම ඕනිම දෙයක් පෙරලන්න පුළුවන් තත්වයකට සමාජය පත්වෙලයි තියෙන්නේ.

ප්‍රශ්නය: ඔබ කියනවා වර්තමානයේදී රජයක් පෙරලීම ඉතා පහසු කටයුත්තක් බව. ඒ ක්‍රමය සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න.

පිලිතුර : දැන් අපි කතා කල යුතුවන්නේ රජයක් පෙරලීම සම්බන්ධව නොවෙයි. අමාරුවෙන් ගොඩනගාගත් රජයක් රැකගන්නේ කෙසේද යන්න සම්බන්ධවයි.
මේ රජය බලයට පත්වුණේ මැතිවරණයක් තුළිනුයි. එබැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා, හරි හෝ වැරදි නීති රාමුවක් තුල හිරවෙලා සිටිනවා. මේක චන්දය දුන්න බොහොමයක් ජනතාව දකින්නේ නැහැ. ඒ නිසා එතුමාට චන්දය දුන් ජනතාවගේ පැත්තෙනුත් යම් බලපෑමක්  කිරීමට සතුරාට ඉඩක් තියෙනවා. මේ වනවිටත් සතුරා ඒ ඉඩකඩ පාවිච්චි කිරීම ආරම්භ කරලයි සිටින්නේ. නමුත් සතුරා ඉතා දුබල බැවින් ගැටලුවක් නැහැ. නමුත් ඒක සතුරාට කළමනාකරණය කිරීමට ඉඩ නොදීමට රජය කටයුතු කලයුතුයි.

ප්‍රශ්නය: මේ වනවිට මේ රජය පිහිටුවා මාස දෙකකට ආසන්නයි. මේ මාස දෙක තුලදී සිදුකල කාර්යයන් සම්බන්ධව ඔබේ දැක්ම කුමක්දැයි කියන්න පුලුවන්ද?

පිලිතුර : ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉතිහාසයේ කිසිදු නායකයෙකුට හිමි නොවූ තරම් මහා සම්පත් රාශියක් සහිතව තමයි මෙරට රජනාධිපති ධුරයට පත්වුණේ. ලක්ෂ 69ක ජනබලයක්, රටට ආදරය කරන සන්නද්ධ හමුදාවක්, මහා සඟ රුවනේ පුර්ණ  ආශිර්වාදය, ප්‍රබල දේශපාලන බලකායක්. උගතුන් හා බුද්ධිමතුන්ගේ බලමුළුවක්, පීඩනය කුමක්දැයි හදුනන තරුණ බලකායක්, විදෙස්ගත ශ්‍රී ලාංකික බලසේනාවක්, ශ්‍රී ලංකාව කේන්ද්‍රීයව සිදුකරන චීන සේද මාවත් ව්‍යාපෘතියක් යන කරුණු සියල්ලම එතුමාට මහා ආශිර්වාදයක්ව පවතිනවා.

එතුමා මුහුණ දෙන බරපතල අර්බුදය වන්නේ, දුර්වල ව්‍යාවස්තාදායකයක් හා පසමිතුරු අධිකරණයක් තිබීමයි. එය බලවත් තර්ජනයක් ලෙස දකිනවා. නමුත් එතුමා අතිදක්ෂ රාජ්‍යපාලකයෙකු සේ පවතින තත්වයක කළමනාකරණය කරනවා.

ප්‍රශ්නය: “එතුමා අතිදක්ෂ රාජ්‍යපාලකයෙකු සේ පවතින තත්වයක කළමනාකරණය කරනවා” කියන්න ඔබ දකින විශේෂත්වය කුමක්ද?

පිළිතුර: රට හදන්න එන පාලකයා, රටේ සැබෑ ප්‍රශ්නයන් මොනවාදැයි හදුනාගෙන සිටිය යුතුයි. ඔහු ජනතා ප්‍රශ්න හඳුනා ගත් අයෙක් විය යුතුයි.

මොනවාද මේ විසදිය යුතු ජනතා ප්‍රශ්න කියන්නේ?

හොද පිරිසිදු, වායු ගෝලයක්, පිරිසිදු පානිය ජලය, නිසි ආහාර රටාවක්, ජිවත් වීමට නිවසක්, රැකියාවක්, දරුවන්ට පැහැදිලි දැක්මක් ඇති අධ්‍යාපනයක් හා ඒ හා බැදුන අනාගතයක්, රටේ ඕනෑම තැනක ජිවත්වීමට ඇති අයිතියක්, හා සියල්ලන්ටම සුරක්ෂිත රටක් විතරයි මේ මිනිසුන්ට අවශ්‍ය වන්නේ.

මෙථුමාඅ මේ කරුණු මනාව හඳුනාගත් බවක් පෙනෙනවා. ඒ සඳහාම කටයුතු කරන බවක්ද දකිනවා. එය සාර්ථක ආරම්භයක්.

පොඩ්ඩක් බලන්න විශ්ව විද්‍යාල වරම් ලබන සියලුම සිසුන්ට උසස් අධ්යාපන වරම් හිමිකරදීම යන සංකල්පය දෙස. මෙවර සිසුන් 1,81,127 විස්ග්ව විද්‍යාල වලට ඇතුලත්වීමේ වරම් ලබලා තියෙනවා. මිට පෙර සිදුකල ආකාරයට 30,000 පන විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගෙන කටයුතුකලා නම් ලක්ෂ එකහමාරක් පමණ තරුණයින් පිරිසක් මහා අර්බුදයකට මුහුණ දෙනවා. ඒ තරුණයින් පමණක් නොවෙයි. ඒ දරුවන්ගේ දෙමව්පියන්ද මේ ප්‍රශ්නයට අසුවෙනවා. ඒ අනුව ලක්ෂ 4ක පමණවූ ජනතාවක් මුහුණ දෙන ගැටලුවක් විසදීමටයි මෙතුමා අත ගසා ඇත්තේ. මේ ලක්ෂ 4ක ගණනය කිරීම එක අවුරුද්දකටයි. එතුමාගේ වසර 5ක් කාලය තුලදී කියක්දයි ඔබම ගණන කර බලන්න. මේ අධ්‍යාපනයට දරුවන් නැඹුරු කිරීමෙන් එතුමා අනාගතයේදී මේ රටට උරුම වීමට සිටි, නිකමුන්, අපරාධකාරයන් රාශියක් බිහිවීම නවතාලීමට ගන්නා වූ මේ ක්‍රියාමාර්ගයට මෙරට ජනතාව සහය දිය යුතුයි.

මේ උසස් අධ්‍යාපනය දීම තුල ජාතිවාදයක් හෝ දේශපාලන පක්ෂවාදයක් නැති බව අපි දන්නවා. ඒ නිසා කාටවත් මේ කටයුත්තට එරෙහි වන්න අයිතියක් නැහැ.

ප්‍රශ්නය: මේ රජය බිහිවෙලා මාස දෙකක කාලය තුලදී අධිකරණය සම්බන්ධව විශාල අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. ඒ සම්බන්ධව ඔබතුමා දකින්නේ කොහොමද?

පිළිතුර; විනිසුරු අසුනක සිටිය යුත්තේ, මුඅල් අපේක්ෂාවෙන් කටයුතු කරන මිනිසෙකු නොව පිං බලාපොරොත්තු වෙන් දෙවි කෙනෙකුයි. නමුත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සාම විටෙකම අධිකරණය කියන්නේ දුෂිත ආයතනයක් බව පැහැදිලියි. මෙය බුදුරජාණන් වහන්සේගේ කාලයේත් සිදුවූ ක්‍රියාවලියක්. බයිබලයේ සටහන්වෙන්නේ, අධිකරණයේ දුෂිත කම නිසා කුරුසයට ඇණ ගසා මරා දැමු අහිංසක ජනතාවාදී චරිතයක් සම්බන්ධවයි. මේ ක්‍රියාදාමයම මේ රට තුල වසර 200කට අධික කාලයක් අඛණ්ඩව සිදුවුනා කිසිවෙක් කතා කලේ නැහැ. එය නිවැරදි කිරීම වෙනුවට සුරැකීම පමණයි සිදුකලේ. “අධිකරණයට අපහාස කිරීම” නම්වූ කඩතුරාවට මුවාවී මෙය ඇති තරම් දුෂිත වැඩ කල ආයතනයක්. වසර 1801 සිට 1948 දක්වා වූ කාලය තුල මේ ආයතනය මොනතරම් අපරාධ කන්දරාවක් සිදුකර ඇත්දැයි බැලීමට මෙය හොදම කාලයයි.

ප්‍රශ්නය; අධිකරණය ඔබ කියන තරම් දුෂිත නම්, ගෞරවනීය අධිකරණයක් ගොඩනැංවීමට හැකියාවක් නැද්ද?

පිළිතුර; සැබවින්ම තියෙනවා. නමුත් මම මුලින්ම කීවා සේ විනිසුරු අසුනට දෙවි කෙනෙක් හෝ බුද්ධිමත් රොබෝ කෙනෙක් ස්ථානගත කරන කාලය පැමිණෙන තුරු 100%ක් නිවැරදි වෙන්නේ නැහැ.

ප්‍රශ්නය; හොඳයි මේ පවතින තත්වය තුලදී ඔබ යෝජනා කරන්නේ කුමන ආකාරයේ පිලියමක්ද?

පිළිතුර; පොඩ්ඩක් හොදට හිතන්න! මේ රටේ පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාවටයි. ඔවුන් ඒ පරමාධිපත්‍ය උපයෝගීකරගෙන වසර පහකට විධායකය තෝරනවා., ව්යාවස්තාධායකය තෝරාගන්නවා. රාජ්‍යක් ගොඩ නගන්න අවශ්‍ය කරන ඊලග වැදගත් අංගය වන අදිකරණය සදහා විනිසිරුවරුන් තෝරන්නේ කවුද? ඒ පරමාධිපත්‍ය උරුම ජනතාව නොවේ. මෙතැනදී, ජනතාවගේ පරමාධිපත්‍ය කුමන ආකාරයකින් හෝ උදුරාගෙන ඇති බව ඉතා පැහැදිලියි. කවුද මේ විනිසුරුවරුන්ව තෝරන,  ජනතා පරමාධිපත්යට එහා ගිය බලවේගය. ගැටලුව ඇත්තේ එතනයි.

ප්‍රශ්නය; ඔබ කියන්නේ විනිසුරු වරුන්වත් චන්දයකින් තෝරාගත යුතුයි කියලද?

උත්තරය; ලොකු ගැටලුවක් වගෙයි නේද?
අපි සේවය කලයුත්තේ, අපිව ඒ කටයුත්ත සඳහා තෝරාගන්නා බලවේගය උදෙසායි යන්න සම්බන්ධව ඔබට ගැටලුවක් නැහැ නේද? ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුවම සේවය කල යුත්තේ, තමන්ව බලයට පත්කරන ජනතාව උදෙසායි එයද වසර 5කට ජනතා මතය විමසිය යුතුමය.

ඉතින් අධිකරණය?

ප්‍රශ්නය; ඔබ කියන කරුණ ප්‍රයෝගික නැහැ නේද?

පිළිතුර; සෝවියට් දේශයේ ව්යාවස්තාවට අනුව විනිසුරුවරයෙකුගේ ධුර කාලය වසර 5ක් පමණයි. ඊට පසු ජනතාව කැමතිනම් යලි පත් කිරීම සිදුකරනවා බව සදහන් වෙනවා. මිනිස් සමාජය කියන්නේ එක තැන ඝනිභුත වූ දෙයක් නොවෙයි. කිසිම දෙයක් සදාකාලික නැහැ. හැම දෙයක්ම වෙනස් වෙනවා. කිසිම දෙයක් වෙනස් කරන්න බිය වෙන්න එපා.

අප සමග එක්වුනාට,ඔබට ගොඩාක් ස්තුතියි.

ස්තුතියි.

සම්බන්ධීකරණය චන්ද්‍රසේන පණ්ඩිතගේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress