RANJANGATE SCANDAL – රන්ජන්ගේ හඬ සාම්පල ලබාගැනීම යළි දැනුම් දෙනතුරු නවතී
Posted on January 23rd, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හඬ සාම්පල ලබාගැනීම සඳහා නැවත දැනුම්දෙන තුරු රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් නොකරන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයා වෙත නියෝග කර තිබෙනවා.

මන්ත්‍රීවරයා අධිකරණ නියෝගයකට අනුව අද දිනයේදී රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මැගසින් බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද දිනයේ මන්ත්‍රීවරයා රස පරීක්ෂක වෙත ඉදිරිපත් නොකරන ලෙසත්, ඒ සඳහා දිනයක් ඉදිරියේදී ලබාදෙන බවත් අධිකරණය දැනුම් දී ඇති බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශ කළ පරිදි ඔහු විසින් ආන්දෝලනාත්මක හඬ පට කිසිවක් මේ දක්වා සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දී නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අද ප්‍රකාශ කළා.

ඒ, කතානායකවරයාගේ නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පෙරේදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් තමන් හඬ පට සභාගත කරන බව සඳහන් කළා.

එදින පාර්ලිමේන්තු කටයුතු අවසාන වනතුරුත් කිසිදු හඬපටයක් ඔහු පාර්ලිමේන්තුවට භාරදී තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, ඊයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර අදාළ හඬ පට භාරදෙන්නේ දැයි විමසුවා.

නමුත් ඊයේ පස්වරු හය වනවිටත් කිසිදු හඬ පටයක් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට භාර දී තිබුණේ නැහැ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress