කොරෝනා ආසාදිත චීන කත සුව අතට හැරෙන ලකුණු – තවත් චීන ජාතිකයෙකු අදත් IDH රෝහලට ඇතුළත් කෙරේ
Posted on January 28th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරසය ආසාදිත වූ චීන කාන්තාව මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බව අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායාතනය පවසනවා.

>එහි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා සිටියේ තවත් දින දෙකකින් පමණ ඇය රෝහලෙන් පිටත් කර යැවීමේ හැකියාවක් පවතින බවයි.

විශේෂ සංකූලතා නොමැතිවීම හේතුවෙන් ඇයගේ තත්ත්වය යහපත් අතට පත්වෙමින් පවතින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා

පසුගිය 19 වනදා මෙරට සංචාරයක් සඳහා කොරෝනා වෛරසය මුල්වරට වාර්තාවූ හුබෙයි ප්‍රාන්තයේ සිට දිවයිනට පැමිණ ඇති ඇය කටුනායක, සීගිරිය, මහනුවර, නුවරඑළිය, අහුන්ගල්ල යන ප්‍රදේශවල හෝටල්වල නවාතැන් ගෙන තිබූ බව වාර්තාවනවා.

ඒ අනුව ඇය සංචාරය කළ ප්‍රදේශවල පිහිටි හෝටල් පරීක්ෂාවට ලක් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ සඳහන් කළේ

චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි 43 හැවිරිදි චීන ජාතික මෙම කාන්තාව තවත් පිරිසක් සමඟ දිවයිනට පැමිණ තිබුණා.

කෙසේ වෙතත්, එම කාන්තාව මෙරටින් පිටව යන අවස්ථාවේදී ඇති වූ උණ රෝගී තත්ත්වයක් හේතුවෙනුයි අංගොඩ අයි.ඞී.එච්. උණ රෝහලට ඇතුළත් කෙරුණේ.

එහිදී ඇයට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු කර ගනු ලැබුවා.

මේ වන විට ඇය ජාතික බෝවන රෝග විද්‍යායාතනයේ නිරෝධායනය කර සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදිත වූ චීන කාන්තාවගේ තවත් සාම්පල කිහිපයක් විශේෂ පරීක්ෂාවක් සඳහා විදේශ රටකට යොමු කිරීමට ද කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත් මේ පිළිබදව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසට ජනතාවට සෞඛ්‍ය අංශ දැනුම් දීමක් සිදුකරනවා.

මේ අතර කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙකු අද දහවල් අංගොඩ පිහිටි අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද දහවල් උණ සහ කැස්ස හේතුවෙන් මොහු රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණි බවයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරමින් බලපිටිය රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට හෝටල් සේවිකාවක්ද අංගොඩ පිහිටි අයි.ඞී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමුකර තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress