රවීන්ද්‍ර විජේගුණවර්ධන සහ රාජිත, තමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට නිශ්ශංක සේනාධිපතිගෙන් චෝදනා (වීඩියෝ)
Posted on June 1st, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

හිටපු නාවික හමුදාපතිවරයෙකු වන රවීන්ද්‍ර විජේගුණවර්ධන හා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය දියත් කළ බව ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් සොයාබැලීම ස්ථාපනය කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

/>2015.01.15 සිට 2019.11.16 දක්වා සිදුවූ බව කියන දේශපාලන පලිගැනිම් සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සාක්ෂි දුන්නේ දෙවන දිනටයි.

එහිදී නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමට උපකාර කරන්නේ නම් තමාට නඩු නොපවරන බවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහුගේ ලේකම්වරයෙකු මාර්ගයෙන් තමාට යෝජනා කළ බවයි.

එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු තමාගෙන් පලි ගැනීමට ක්‍රියා කළ බවද සේනාධිපති මහතා ජනාධිපති කොමිසම හමුවේ පැවසුවා.

රාජිත සේනාරත්න මහතා විසින් එවකට ඇවන්ට්ගාඩ් නෞකාව තිබූ ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලවා තමාට බලපෑම් කළ බවද ඔහු ජනාධිපති කොමිසම හමුවේ පෙන්වා දුන්නා.

නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කළේ, ගාල්ල මහේස්ත්‍රාත්වරයා සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඇවන්ට්ගාඩ් සමාගම නීත්‍යානුකූල බවට ප්‍රකාශ කර තිබියදී එම නියෝග නොතකා එම්.වී. මහනුවර නෞකාව නාවික හමුදාව යටතට ගත් බවයි.

එවකට නාවික හමුදාපති වූ රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා මීළඟ තනතුර අපේක්ෂාවෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග එක්ව තමා ඝාතනය  කිරීමට සිදුකළ උත්සහයක් පිළිබඳවද ඔහු අනාවරණ කළා.

2015 වසරේ දෙසැම්බර් 31 වැනිදා හිටපු නාවික හමුදාපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂකයින් දෙදෙනෙකු 9mm වර්ගයේ ගිනි අවි සමඟ තමාව ඝාතනය කිරීමට පැමිණි බවත්, තම ආරක්ෂකයින් හේතුවෙන් එම උත්සාහය වැළකී ගිය බවත් ඔහු ප්‍රකාශ කළා.

නිශ්ශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ පැවසුවේ, ඊට අදාළ CCTV දර්ශනද සමග තමා මිරිහාන පොලීසියට පැමිණිලි කළද මෙතෙක් විමර්ශන සිදු නොවූ බවයි.

ඉන් අනතුරුව ඇවන්ට්ගාඩ් සමාගමට අදාළව තමා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කඳවූ බවත්, එහිදී විමර්ශන සිදුකළ නිලධාරීන් දෙදෙනා විසින් මෙම සිද්ධියේ කිසිදු ගැටලුවක් නොමැති බව තමාට පැවසූ බවත් ඔහු ප්‍රකාශ කළා.

ඇවන්ට්ගාඩ් සභාපතිවරයා පෙන්වා දුන්නේ, ඉන් අනතුරුව රාජිත සේනාරත්න මහතා ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් තමා නැවතත් අල්ලස් කොමිසම හමුවට කැඳවූ බවයි.

ඉන් අනතුරුව දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය අධ්‍යක්ෂ ජනරාල් ධුරය හෙබවූ සමයේ විමර්ශන සිදුකළ නිලධාරීන් දෙදෙනා තමාට තර්ජනය කළ බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට මුදල් දී තිබේදැයි පරීක්ෂා කළ බවත් නිශ්ශංක සේනාධිපති මහතා පැවසුවා.

එහිදී නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා විමසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදල් දුන් බවට ඔවුන් ප්‍රශ්න කළේද යන්න පිළිබඳවයි.

අදළ නිලධාරීන් එසේ සිදුකළ බව පැවසූ ඇවන්ට්ගාඩ් සභාපතිවරයා, ගෝනියක දාලා රුපියල් මිලියන 200 ක් දුන්නා කියා දිවුරුම් ප්‍රකාශයක් ලබාදුනහොත් තමා නඩුවලින් මුදාහරින බවට යෝජනා කළ බවද ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළා.

මෙහිදී ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාවක් ලැබුණේද යන්නයි.

වසර 2 ක සිට ලිපි 8 ක් පමණ යොමු කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ නිල නිවසේදී හමුවූ බවත්, ඊට එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද සහභාගී වූ බවත් නිශ්ශංක සේනාධිපති මහතා පැවසුවා.

ඇවන්ට්ගාඩ් සමාගම නාවික හමුදාවට පවරා ගැනීමෙන් පසු රුපියල් බිලියන 10 ක පමණ ආදායමක් රටට අහිමි වී ගැන තමා ජනාධිපතිවරයාට පෙන්වා දුන් අවස්ථාවේදී ඇවන්ට්ගාඩ් සමාගම යළි ආරම්භ කරන ලෙසට ඔහු උපදෙස් දුන් බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා.<

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress