සහරාන්, පුත්තලම මද්‍රසා පාසල් ළමුන්ට විදුහල්පති ඉදිරියේම අවි පුහුණුව ලබා ඇති බව හෙළිවෙයි (වීඩියෝ)
Posted on June 20th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වූ සහරාන් හසීම් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසල් ළමුන්ට විදුහල්පති ඉදිරියේම අවි පුහුණුව ලබා ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඒල එම සිසුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශවලට අනුවයි.

එම ප්‍රකාශ ඇතුළත් විශේෂ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

ඉකුත් වසරේ පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන වාර්තාවක් පෙරේදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහි සඳහන් වූයේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගනිමින් විමර්ශන සිදුකරනු ලබන නීතීඥ හිජාස් ඕමර් හිස්බුල්ලා සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝ විමර්ශනයක් සිදුකරමින් පවතින බවයි.

මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව නීතීඥ හිජාස් ඕමර් නැමැත්තාගේ ජාතික හැඳුනුම්පත් අංකයට අදාළව ජංගම දුරකථන අංක 7ක් සහ ඒවා භාවිත කර තිබූ ජංගම දුරකථන 9ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවා.

එම දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් සැක සහිත දුරකථන සම්බන්ධතා සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් අනාවරණවන කරුණු අනුව දීර්ඝ විමර්ශනයක් පවත්වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ.

මෙම නීතීඥවරයා විසින් සාමාජිකත්වය හා සභාපතිත්වය දැරූ සේව්ද පර්ල් සොසයිටි නැමති සංවිධානය මගින් පුත්තලම අල් සුහරියා මද්‍රසා විද්‍යාලයට යොමුකර තිබූ ළමුන් 24 දෙනෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවා.

ඉන් ළමුන් 10 දෙනෙකු හෙළිකර ඇත්තේ නීතීඥ හිජාස් මද්‍රසා පාසලට පැමිණ අන්‍ය ජාතීන් හා ආගමිකයන් කෙරෙහි වෛරයක් ඇතිවන ආකාරයේ දේශණ පවත්වා පුහුණුවීම් සිදුකර ඇති බවටයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙය වූ මොහොමඩ් කාසිම්, මොහොමඩ් සහරාන්, ඉල්හාම් මොහොමඩ් ඊබ්‍රහිම් සහ මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නවුෆර් යන අය පාසලට පැමිණ පැය එක හමාරක පමණ කාලයක් වීඩියෝවක් පෙන්වූ බවත් එම වීඩියෝව මගින් ගුවන් හමුදාවෙන් පැමිණ බෝම්බ ගසන ආකාරය සහ මියගිය පුද්ගලයන් වැටී සිටි ආකාරය පෙන්වා සිටි බවද එක් සිසුවෙකු ලබාදුන් ප්‍රකාශවල සඳහන්වනවා.

තවත් සිසුවෙකු ලබාදුන් ප්‍රකාශවල සඳහන්ව ඇත්තේ හිස්බුල්ලා නම් නීතිඥවරයා පැමිණ දේශනයක් පවත්වා ප්‍රොෙජක්ටරයක් ආධාරයෙන් ඊශ්‍රායලය හා පලස්තීනයේ යුද්ධයට සම්බන්ධ වීඩියෝවක් පෙන්වූ බවයි.

ඊශ්‍රායලයේ ක්‍රිස්තියානි පිරිස් අල්ලා සිටින්නේ තමන්ගේ පල්ලි බවත්, ලංකාවේ කතෝලික අයට ප්‍රහාර එල්ල කළ හොත් ඒ අය බියවනු ඇති බවත් නීතීඥ හිජාස් හිස්බුල්ලා පැවසූ බව සිසුවෙකු ලබාදුන් ප්‍රකාශයක සඳහන්වනවා.

අදාළ සිසුවා ලබාදුන් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2018 දෙසැම්බර් මාසයේදී නසීර් නවුෆර් නැමැත්තෙකු පැමිණ තවත් දේශනයක් පැවැත්වූ බවයි.

එහිදී පරිගණකයෙන් තැනූ රොබෝවරයෙකු මරා දමන ලෙස ඔහු පැවසූ බවට ද සිසුවෙකු ප්‍රකාශ ලබාදී තිබුණා.

මිනිස් රූප දෙකක් ගෙන එක් අයෙකු මැරුණහොත් අනෙක් පුද්ගලයා ඉතිරිවන බව කියා ඊශ්‍රායලයේ ඉගැන්වීම් සිදුකර තිබෙන බවද ළමුන් ප්‍රකාශ ලබාදී තිබෙනවා.

වැඩිදුරටත් එම ප්‍රකාශවල දැක්වෙන්නේ අපේ ආගම කතෝලික අයගෙන් බේරාගත යුතු බවත්, කතෝලික ආගමට විරුද්ධව අපි වැඩ කළ යුතු බවත් අදාළ පුද්ගලයා ප්‍රකාශ කළ බවයි.

එම සිසුවා වැඩිදුරටත් පවසා ඇත්තේ 2019 ජනවාරි මාසයේ දිනක පාස්කු ප්‍රහාරය සිදුකල සහරාන් හසීම් සුදු පැහැති KDH වර්ගයේ වෑන් රථයකින් පාසලට පැමිණ දේශණ පැවැත්වූ බවයි.

එහිදී ආගම වෙනුවෙන් පන දිය යුතු බව සහරාන් පැවසූ බවත්, ආගම බේරාගැනීම සඳහා සටන් කිරීමට ධෛර්ය තිබෙන්නේ කාටදැයි විමසා සිටි බවයි.

එහිදී ඇතැම් සිසුන් සටන් කිරීමට කැමැත්ත පළ කළ බවත් ඔවුන් පමණක් රැඳි සිට අනෙක් සිසුන්ට ඉන් ඉවත්වන ලෙස විදුහල්පතිවරයා පැවසූ බව එම සිසුවා ප්‍රකාශ කර තිබෙනවා.

සහරාන් හෂීම්ගේ සොහොයුරෙකුවන මොහොමඩ් රිල්වාන් නැමැත්තා තුවක්කුවක් ගලවා වෙඩි තබන ආකාරය පෙන්වූ බවද සිසුවෙකු ලබාදුන් ප්‍රකාශයක සඳහන්.

එලෙස පාසල් ළමුන්ට ගිනි අවි නැරඹීමට ලබාදුන් අවස්ථාවේ විදුහලේ විදුහල්පතිවරයාද සිට තිබෙනවා.

එමෙන්ම අරාබි ජාතික පුද්ගලයන් 4 දෙනෙකු පැමිණ ළමුන්ට රුපියල් 3000 බැගින් මුදල් පරිත්‍යාගයක්ද සිදුකර ඇති අතර එම අවස්ථාවේ විදුහල්පතිවරයාටද අරාබි මුදල් මිටියක් ලබාදුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිසුවෙකු ලබාදුන් ප්‍රකාශයක සදහන්.

මෙම සිසුන් ලබාදුන් ප්‍රකාශ අනුව මරාගෙන මැරෙන බෝම්බකරුවන සහරාන් හෂීම්ට අමතරව ඉල්හාම් මොහොමඩ්, මොහොමඩ් ඊබ්‍රහිම්, මොහොමඩ් ජෙෆ්රි ෆාතිමා, නීතීඥ හිජාස් හිස්බුල්ලා, මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් සහ තවත් පිරිසක් වරින්වර මද්‍රසා පාසල්වලට පැමිණ වැඩමුළු හා දේශන පවත්වා ඇති බවට කරුණු හෙළිව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress