ඒබ්‍රහම් ලින්කන් හා හිටපු මහාචාර්ය ජී. එල්. පීරිස්
Posted on July 8th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

හැඳින්‌වීම

1861 දී ජනාධිපති චන්දය කාලයේ ලින්කන් සිටියේ වහල් ක්‍රමයට පක්‍ෂවය. එහෙත් කාලයත් සමඟ ඔහු ඊට විරුද්‌ධ පරිණාමය වූයේය. ඒ වන විට වහල් ක්‍රමය රැකගැනීමට සටන් කල දකුණේ වහල් හිමියන්ද, ඔවුන්ගේ උදව්වට එන මෙන් තම වහළුන් ගෙන් ඉල්ලන තරමට හෙම්බත්‌වී සිටියේය. සිවිල් යුද්‌ධයේ ආරම්භයේදී ලින්කන්ට තිබූ බලවත්ම ප්‍රශ්ණයවූයේ හරිහමන් යුද හමුදාපතියෙක් හොයා ගැනීමය. දෙපැත්තෙන්ම ලක්‍ෂ ගණනක් මියගිය පසු, යුද් ධය දිණූ පසු ලින්කන් අණකලේ සතුරාට සිය තුවක්කුවද සමඟ ආපසු තම ගංබිම් බලා යන ලෙසටය. වහළුන්ට නිදහස ලබාදීමේ ප්‍රඥප්තියේ තීන්ත වේලිමටත් පෙර, 1865 දී ලින්කන්ව ඝාතනය කරණ ලද්දේ වහල් ක්‍රමය නැතිකිරීම නිසා උරණවූ පිරිස්වල කෙනෙක් විසිනි.

අතිගරු බාලසිංහම්

ලින්කන්ගේ මේ පරිවර්‌තනය මට සිහිකලේ ජී. එල්. පීරිස් මහතා අහම්බෙන් වැටුණ ඔහුගේ දේශපාලන ගමනය. සමහර විට ශිරානි බණඩාරනායක හරහා චන්ද්‍රිකා හඳුනාගෙන, නීලන් තිරුචෙල්වම්, ජයම්පති වික්‍රමරත්නලාද සමඟ රට කැබලි කිරීමේ පැකේජ් ඩීල් වලට, 1995-2000 කාලයේදී හවුල්වූ ඔහු, වික්‍රමසිංහ අගමැති සමයේ ඇන්ටන් බාලසිංහම්ට හිස් එක්‍ෂලන්සි යයි කියා ආමන්ත්‍රණය කරන්නට පවා ඩිප්ලොමැටික් විය. ඔහුගේ ඉල්ලීමට ලංකාවට ආදරය කල ස්කොට් ජාතික පෝල් හැරිස්ට ලංකාවේ පදිංචිවීමට නොදී රටින් පිටුවහල් කල විදේශ ඇමති ඔහුය. පෝල් කල වරද, 2002 සටන් විරාම ගිවිසුම ලෝකයේ ලොකුම පාවාදීම යයි කල ප්‍රකාශයය!

බකල් වුන පෙඩරල් මඟුල නොහොත් රටේ වාසනාව

මේ හැමටම වඩා චමත්කාර ජනක වූයේ, ඔස්ලෝ ගිවිසුම මඟින් ප්‍රභාකරන් විසින් ඊළමක් වෙනුවට පෙඩරල් භාරගෙන, පැරඩයිම් වෙනසක් කලා යයි ජී. එල්. කල උදම් ඇණීමය. නමුත් ප්‍රභාකරන් කලේ ඒ ගැන බාලසිංහම්ට බැණවැදීමය! නොයෙක් ආකාරයේ අවතාර වශයෙන් පෙනී සිටි ඔහු මෑතක් වන තුරුම පෙඩරල් පප්පා කෙනෙක්ම විය. ඉන් පසු සිදුවූයේ 17 දෙනාගෙන් කෙනෙක් වශයෙන්, ජී. එල්. මහින්ද රාජපක්‍ෂ රජයට ඒමය. කරු ජයසූරිය ආපසු ගියත්, ජී. එල්. ගියේ නැත. එතැන් සිට දිගටම ඔහු රැඳී සිටියේ ජාතික ලැයිස්තු වෙන් ආ ඇමති කෙනෙක් වශයෙනි. සජින් වාස් ගුණවර්‌ධනට පිඟන් කඩේට ඇතුල්වූ ගොනෙක් මෙන් හැසිරෙන්නට ඉඩ දෙමින්ම, විදේශ ඇමතිකමේ සිටීමට තරම් ඔහු නිහතමානී විය.

අහිංසක ගාමිණී ලක්‍ෂ්මන්

2015 දී මහින්ද සුළඟ හා ඉන් පසු පොහොට්ටු පක්‍ෂය පිහිටුවීමෙන් පසු හා විශේෂයෙන් ගෝඨාභය ජනාධිපතිවීමත් සමඟ, ලින්කන් වහළුන් නිදහස් කලා මෙන් ජී. එල්. ද පෙඩරල් පීල්ලෙන් එලියට පැන ඇතැයි සිංහලයා සිතුවේය. පෙඩරල් බදාගෙන හොරගල් අහුලන කීප දෙනෙක්ම පොහොට්ටුවේ සිටින බව රහසක් නොවේ. මේ අය නිහඬ බොදු බල සේනාවට හා හාමුදුරුවරුන්ට ඇති භය නිසාය. නමුත් දැන්, සජිත් ප්‍රෙමදාසගේ යාපනේ 13 වන සංශොධන ප්‍රකාශයෙන් හා අගමැති මහින්ද විසින් 13-ඒ හරහා රට බෙදීමේ සජිත්ගේ ජනාධිපති චන්ද ප්‍රකාශණය උපුටා දක්‌වමින් නිකුත් කල නිවේදනයෙන් පසුව, ජී. එල් විසින් පලාත් සභා චන්ද ඉක්මණින්ම පවත්‌වනවා යයි කල ප්‍රකාශණය නිසා සිංහල බෞද්‌ධ ජනයා විමතියට පත්‌වී ඇති බව නිසැකය.

මුන් 225 ම එපා නොහොත් අහක යන නයි කලිසම් සාක්කුවේ දමා ගැනීම

ජී. එල්. වැනි අයෙක් එවැනි ප්‍රකාශයක් කලේ ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ද, බොරු නාස් ලණු (තන්ත්‍ර) වාදය වෙනුවෙන්ද, පලාත් සභා රන් ආකර සේ සළකා වැජඹෙන හොරුන් රැළේ චන්ද හා ධන බලය නිසාද, දෙමළ බෙදුම්වාදීන් සතුටු කොට යම් දෙමළ චන්ද ප්‍රමාණයක්වත් ලබාගත හැකියයි සිතාද, නැතිනම් ඒ නිසා සිංහල චන්ද, විශේෂයෙන් ගෝඨාභය දිනවූ සිංහල බෞද්‌ධ චන්ද අඩුවී යාමේ අවදානමක් ඇතිබව නොදැනද යන සැක මතු වන්නේය. ඔහුද, මේ ලෝකයේ, ලෝභ-ද්වේෂ-මානයෙන් පිරි තවත් එක පංචස්කන්‌ධයක් පමණය. කරුණා අම්මාන් සොල්දාදුවන් මැරීම ගැන හෝ හරීන් ප්‍රනාන්දු කාදිනල්තුමා ගැන හෝ මෙන්, ජී. එල්. ද කටවරද්දා ගත්තාද විය හැකිය. මෙහිදී ඔහු පොහොට්ටුවේ සභාපතිවීම අපට අදාල නැත. ඔහු වැනි අයෙක් සිටිනවා නම් තුනෙන් දෙකක් ලැබුණත් සිංහල බෞද්‌ධයාට වෙන්නේ මුන් 225 ම එපා යන කතාව අවුරුදු 72 කට පසු දිගටම ගෙන යාමය. සිංහල බෞද්‌ධයා 2020 න් පසුව, නැවතත්, හිත හොඳ ගෑණියෙක් වී යාම මය.

ජී. එල්. ගේ වැඩිහිටි/වැඩිදුර අධ්‍යාපනය පිණිසයි

මැරෙණ තුරුම යමෙක් ඉගෙන ගන්නවා යන චීන කියමණ අනුව යමින් ජී. එල්, ගේ අධ්‍යාපනය පිණිස 2011 හා 2013 දී මා ඉංග්‍රීසියෙන් ලියූ 13-ඒ සම්බන්‌ධ දිගු ලිපි දෙකක් මේ සමඟ අමුණන්නේ හුදෙක් සිංහල ජාතියේ අභිවෘධිය පතාය. රට ජාතිය, එක් පුද්ගලයෙකුට හෝ එක් පක්‍ෂයකට වඩා ඉහළය. විශේෂයෙන්ම, චන්දයෙන් තුනෙන් දෙක ලැබුණු පසු අළුත්, මහජන අනුමැතිය සහිත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදන බව රටට පවසා තිබියදී, ඊට පෙර සිදුවිය යුතු 19 සංශොධන මගඩිය ඉවත් කිරීම වෙනුවට, දැනට වලදමා ඇති පලාත් සභා මර උඟුලට පණ දෙන්නට කතා කරන්නේ ඇයි? මධ්‍යම ආණ්ඩුවක් හා ජන මූල සභා ක්‍රමයක් (ජන සභා වශයෙන් ප්‍රාදේශීය සභා?) ගැන ගෝඨාභයගේ චන්ද ප්‍රකාශණයේ ඇති ව්‍යුහයට, නැවත කඩිමුඩියේ පලාත් සභා චන්ද ගෙන ඒමට ජී. එල්. හා දිනේෂ් ගුණවර්‌ධන ප්ලෑන් කරනවාද? චන්ද දායකයාගේ මනස අවුල් කරන්නට හදන්නේ මක්නිසාද? අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කල යුතු වන්නේ, 2009 මැයි 19 දා ජනාධිපති යුද ආඥාවකින් අහෝසි කල යුතුව තිබූ 13-ඒ මර උඟුල නමැති පිළිකාවද සහමුලින්ම උඳුරා දැමීමය.

අගමැතිගේ මාධ්‍ය නිවේදනයේ වැදගත් කොටස මෙසේය:

එක්සත් ජාතික පක්‍ෂයේ 2019 ජනාධිපති අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත්‌කල ප්‍රතිපත්ති ප්‍රකාශණය-
<ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත. එක්ව ගමන යමු>
ජනතාවගේ ව්‍යවස්ථාව (පිටු 15-16)

  1. ඒකීය රාජ්‍ය සංකල්පය අතහැර, නොබෙදුණු හා වෙන් කල නොහැකි රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්‌වීම;
  2. මධ්‍යම ආණ්ඩුව සතු බලතල උපරිම ලෙස පළාත් සභාවලට බෙදා හැරීම;
  3. පළාත් සභා නියෝජිතයින්ගෙන් සදුණ දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් ඇති කොට, මධ්‍යම ව්‍යවස්ථාදායකයේ (පාර්ලිමේන්තුවේ) බලය තවත් සීමා කිරීම;
  4. පාර්ලිමේන්තුවේ මුදල් බලය අහෝසිකොට පළාත් සභා වලට ස්වාධීනව මුදල් රැස්කිරීමට ඉඩහැරීම;
  5. දැනට මධ්‍යම ආණ්ඩුව යටතේ සිටින දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පළාත් සභා යටතට පත් කිරීම;
  6. පළාත් සභා හා මධ්‍යම ආණ්ඩුව අතර ඇතිවන ආරවුල් විසඳීමට වෙනම ව්‍යවස්ථාමය අධිකරණයක් පිහිටුවීම.

මූලාශ්‍රය: ලංකා සී නිව්ස්, ජූලි 5, 2020

පලාත් සභා චන්දය වහාම තියනවා යන පොහොට්ටු පණිවුඩය, දෙමළ ඊළම් දේශපාලකයින්ට දෙන කෝඩ් එක (සිග්නල්) නම් ඉහත සඳහන් කාරණා ගැන බලාපොරොත්තු තැබිය හැක යන්නය. ඒ කතාව ඔවුන් විසින් දෙමළ ජනායාට දී ඔවුන් කියන්නේ ඒ නිසා ඔවුන්ට චන්දය දෙන ලෙසය. මේ නිසා සිදුවන්නේ දැනට ඊළම් විරෝධී ලෙස යාපනේ වර්‍ධනය වන චන්ද (ගෝඨාභය උදෙසා ලැබෙන්නට යන දෙමළ චන්ද) මේ බෙදුම්වාදී දේශපාලකයින්ට ආපසු හැරී යෑමය. මේ නිසා ජී.එල්. ගේ ප්‍රකාශය බරපතල ඉල්ලන් කෑමකි.

පලාත් සභා නම් හෙණ ගෙඩිය

පලාත් සභා සුදු අලියෙක් නොව කළු යකෙකි. දකුණේ සභා හත ගහ මරා ගන්නා දූෂිත, මහජනයාට සත පහකවත් වැඩක් නැති පිස්සන් කොටු නොවීද? නැඟෙනහිර සභාව හිස්බුල්ලාගේ අරාබි රාජ්‍යයකට ඉණිමඟක් නොවුනාද? දයාන් ජයතිලකලා වැනි මාක්ස්වාදී, ක්‍රිස්තියානි කළු සුද්දන් විසින් ඉහලින් වර්‌‌ණනාකල විග්නේෂ්වරන් විසින් රටටත්, ලෝකයටත් එලි කලේ 13-ඒ යනු ඊළම් සඳහා යන පෙඩරල් ඉණිමඟක් බව නොවේද? කොටින්ම කියතොත්, ඔස්ට්‍රේලියාවේ සිට තමන්ටම තුප්පහියා යයි කියා ගන්නා, දෙමළන් ජාතික ගීය ගායනා කල යුතුය යන ව්‍යාපාරයේ සඟවුණු පියාවූ, ගාල්ලේ උපන්, බර්‌ගර් ජාතික, මයිකල් රොබට්ස්ට පවා අන්තිමේදී තේරුණ අන්දමට, ඊළමක් එපා කියන මධ්‍යස්ථ දෙමළෙක් නැත මතය, කොළඹ ඉපදී, කොළඹින් සියළු දේම ලබාගත්, පුත්තු දෙන්නාටම සිංහල ලේලිලා ලබාගත් විග්නේෂ්වරන් ක්‍රියාවෙන්ම ඔප්පු කලේය. 1948 සිට සිංහල ආණ්ඩු දෙමළ සංහාරයක් කරගෙන යනවා යයි කීමටත්, උතුරට බුදු පිළිම එපා, පොල් රා එපා, නිරිත දිග මෝසම් (වාරකන්) සුළං කාලයේ උතුරට ධීවරයින්ට එන්න දෙන්න එපා යයි කීමට තරම් පහත්, දීන මිනිහෙක් බවට ඔහු පත්‌වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ප්‍රජා (තන්ත්‍ර)නාස්ලණුවාදය අනුව යමින් චන්දයක් තබා, වෙස්සන්තර කෙනෙක්‌වී, විග්නේෂ්ට උතුරු පලාත බන්දේසියක තබා පුදකල නිසාය (අවුරුදු 30 ක යුද්‌ධයකින් වූ මානසික හානිය අවුරුදු දෙක තුනකින් සුව කල නොහැකිය. නාසි හානියේ සුව කිරීම් අදටත් කෙරෙමින් පවතී). ඊට කලින් පිළිවෙලින්, ප්‍රේමදාස හා චන්ද්‍රිකා, ප්‍රභාකරන්ට උතුරු පලාත සින්නකර බද්දකට දීමට යෝජනා කලා වැනි විය. හැමදේම සිදුවන්නේ හොඳට වගේ මහින්ද එසේ නොකරන්නට මේ 13-ඒ කෙළියේ තරම රටට එලිවන්නේ නැත. එය දයාන් ජයතිලක ඇමතිද සමඟ වර්‍ධරාජා පෙරුමාල් උ-නැ මහaැමති රටින් පලායාමට වඩා වෙනස්, බෞද්‌ධ අහිංසාව ගනයේ අත්දැකීමක් විය. මේ වන විට විග්නේෂ් දමිළ ජනයා ඉදිරියේ අවලංගු කාසියක් වැනිය.

මීනින්ෆුල් ඩෙවොලූෂන්

රොබට් බ්ලේක්, හිලරි ක්ලින්ටන්, මන්මෝහන් සිං, බෑන්කි මූන් ලා ඒකාලයේ ඉල්ලූ නියමාකාරයේ බලය බෙදීම වනාහි වංක දෙමළ දේශපාලකයින් අතලොස්සකට උ-නැ අගමැතිලා වීමටත්, ඒ හරහා ඊළම් පාරක් කපා ගැනීමක් මිස දෙමළ ජනයා බලවත් කිරීමක් නොවීය. මෙය ඒකාලයේ සිංහල දේශපාලන කළු සුද්දන්නට මෙන්ම දැන් 2020 දී ජී. එල්ටත් නොවැටහීම අභාග්‍යයකි. ඊළම යනු උතුරේ කුලහීන යයි සළකන ජනයා, වෙල්ලාල කුලයට පාවා දීම බවත්, මිලේනියම් ට්‍රෝජන් අශ්වයාගෙන් එලිවෙන අන්දමට සිංහලයාගේ රට විනාශ කිරීමේ උපායක් බවත් මේ වන විට ඉතාමත් පැහැදිලිය. පාස්කු ප්‍රහාරයේදී පවා කතෝලික නොවන, ක්‍රිස්තියානි සුමන්තිරන් කියා සිටියේ ඊට හේතුව මුස්ලිම් සුළු ජන ව‌ර්‌ගයට කරණ අසාධාරණකම් යනුය!

භූගෝල විද්‍යාව, බුද්‌ධාගම හා නීති විද්‍යාව

ඊළම්වාදය පරාද කලයුතු ප්‍රායෝගිකව හා මතවාදීවය. යුද්‌ධය මඟින් පරාජය කලේ ප්‍රභාකරන්වාදය පමණක් නොව, 13-ඒ නම් ජරමරයදය. දෙමළ ජනයාට බලය ලැබෙන්නේ ජන සභා ක්‍රමය යටතේ බිම් මට්ටමින් ඔවුන්ට තීරණ ගැනීමට දීමෙන්‌ය. සිංහල, මුස්ලිම් අයටද එසේමය. ගම-වැව-දාගැබ යන අතීත පාලන ත්‍රිත්‌වය එවැන්නකි. එය පරිසර විද්‍යාවට අනුකූල විය. එපමණක් නොව එය රීසනබල් විසඳුමය. නීති විද්‍යාවේ රීසනබල් යනු බුද්‌ධාගමේ මධ්‍යම ප්‍රතිපදාවය. භූමියේ විවිධත්‌වය හඳුනා ගන්නා භූගෝල විද්‍යවට පටහැනි වුනොත් එතැන රීසනබල් කමක් හෝ මධ්‍යම ප්‍රතිපදාවක් (කොම්ප්‍රොමයිස්) නැත. 13 වන සංශොධනයට විරුද්‌ධ විය යුතු මේ නිසාය.

යම් දමිළ වැසියෙකුගේ පුද්ගලික අවශ්‍යතා (නීඩ්ස්) හා උවමනාවලුත් (වෝන්ට්ස්), දමිළ සමාජයේ පොදු අභිලාශත් (ඇස්පිරේෂන්ස්) අතර වෙනස හඳුනා ගැනීමට පක්‍ෂ දේශපාලකයින් අසමත්‌වීම ඛේදජනකය. ජන සභා මට්ටමෙන් නීඩ්ස් හා වෝන්ට්ස් සපුරා ගත හැකිය. ඒ සඳහා දේශපාලන පූසාරීන් අනවශ්‍යය. එසේ සපුරා ගැනීමට යාමේදී මහජාතියට ඉන් තර්‌ජනයක්ද එල්ල නොවේ. ප්‍රශ්ණය වන්නේ තමන්ගේ පැවැත්ම සඳහා වංක දේශපාලකයින් විසින් ජාතික අභිලාශ කතාවක් ඉදිරියට දැමීමය. එක ජන වර්‍ගයක අභිලාශ, තවත් ජන වර්‍ගයක අභිලාශ සමඟ ගැටෙන විටය. උදාහරණයක් වශයෙන් යුරෝපය කතෝලික/ක්‍රිස්තියානි කර තබාගැනීම ප්‍රංශයේ අභිමතාර්‌ථයය. යුරෝපයේ රටක් වීම තුර්කියේ අභිලාශයය. මෙයට කියන්නේ යා දෙක නොරත රත කියාය. උ-නැ දෙමළ නිජභූමියක් ඉල්ලන අභිලාශය, සිංහලයාගේ සිංහලේට තර්‍ජනයකි. නිජ භූමිය ඉල්ලන අය විශාල පිරිසක් ඉන්නේ නිජ භූමියෙන් පිටවීම තුර්කියේ ජනයාගේ නොව තුර්කි දේශපාලකයින්ගේ ඉල්ලීම සිහිකරවයි.

පලාත් නවයේ බෙදීම රටේ භූගෝල විද්‍යාවට පටහැනි සුද්දාගේ කෘතිම බෙදීමකි. මේ නිසා කලයුතුව ඇත්තේ දැනට ඇති ග්‍රාම නිලධාරී වසම් 14,022, පරිසර සාධක අනුව නැවත මායිම් කිරීමය. ගංඟා ද්‍රෝණි, භූගත ජල ද්‍රෝණි වශයෙන් ඒවා හඳුනාගත යුතුය. එම මායිම් භාෂාව හෝ ආගම හෝ කුලය අනුව නොවිය යුතුය. මෙසේ බිහි කරණ ජන සභා (ජන මූල සභා) එකතු කර පරිසරයට අනුකූල ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශ මායිම් කල හැකිය. උවමනා නම් දැනට ඇති පලාත් නවයේ කෘතිම බෙදීම වෙනුවට රට ගංඟා නිම්න හතකට බෙදිය හැකිය (සිතියම බලන්න). එසේ නැත්නම් දිස්ත්‍රික් 25 ට ගැලපෙන සේ ගංඟා නිම්න 25 කට බෙදිය හැකිය. ලංකාවේ තිබෙන්නේ මධ්‍යම කඳුකරයේ සිට වටේට ගලනා ගංඟා 103 කි. මහවැලි ගඟ හැර විශාල, දිග ගංඟා පද්‌ධති රටේ නැත.

ඉතා කෙටියෙන් මෙහි සටහන් කලේ 13-ඒ පස්සේ දුවන්නට හදනවා වෙනුවට, පලාත් සභා චන්ද වෙනුවට ඒ මුදල් සිංහල හා දෙමළ භාෂා පාසැල්වල ඉගැන්‌වීමට විශාල වැඩපිලිවෙලක් සඳහා යොදා ගැනීමය. මේ සඳහා පරිගණක භාෂා ක්‍රමයක් දැනටමත් පිලියෙල කර එය රටේ පරිගණක වර්‍ධන වැඩ භාර ආයතනයට (අයි.සී.ටී.ඒ.) ඉදිරිපත් කලත්, එහි දූෂිත නිලධාරී කට්ටල යලි යලිත් එය ප්‍රතික්‍ෂේප කලේය!

මේ සමඟ ලින්ක් කර ඇති ලිපි දෙකෙන් හා ලංකාවෙබ් වෙබ් අඩවියෙන් පොතකට සෑහෙන තරමේ විස්තර මේ 13-ඒ මර උඟුල හා ඉන් ගැලවීමේ මඟ වශයෙන් ලියා වාර්‌තා කර ඇත. ඒ සම්බන්‌ධයෙන් රට, ලංකා වෙබ් අඩවියට ණය ගැති වන්නේ සිංහල භාෂාවෙන් මේවා දනගත හැකි වෙන මාධ්‍යයක් ලෝකයේ කොහේවත් සිංහල ජනතාවට නැති නිසාය.

http://www.lankaweb.com/news/items/category/c-wijeyawickrema/

http://www.lankaweb.com/news/items/2013/03/31/bodu-bala-sena-and-llrc-buddhist-self-reliance/
http://www.srilankaguardian.org/2012/02/llrc-recommendations-and-path-of.html

One Response to “ඒබ්‍රහම් ලින්කන් හා හිටපු මහාචාර්ය ජී. එල්. පීරිස්”

  1. ahangama Says:

    I think Dr. Wijayawickrama agrees with the Sajith Premadasa policy.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress