ඒකීය ශිරි ලංකා මොන බම්බුවටද?
Posted on July 19th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

හැඳින්‌වීම

උඩරට සිංහල, පහතරට සිංහල, මලබාර් (දෙමළ), මුස්ලිම් යනුවෙන් සුද්දන් විසින් ජන ව‌ර්‌ග කොටස් සිටි රටක, ඉදිරිපෙල නායකයින් වුයේ කල්තියාම ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ හා බෙදා පාලන රීතියෙන් පල නෙලාගත් දමිළයින් පිරිසය. පොන්නම්බලම් දෙබෑයෝ එහි මුදුන් පෙත්තේම සිටියේය. එහෙත්, චන්ද බලය ව්‍යාප්තවීම ඇරඹීමත් සමඟ මේ නායකකම වැඩිකල් තබාගත නොහැකි බව ඔවුන්ට වැටහුනේය. මේ නිසා 1923-24 කාලයේ, අරුණාචලම් පොන්නම්බලම් හා සිංහල ක්‍රිස්තියානි නායකයින් අතර ඇතිවූ විරසකයෙන් පසු, දෙමළකම (ටැමිලක්කම්) නමැති දෙමළ ජාතිවාදී ව්‍යාපාරය මතුවිය. මෙය නොයෙක් කරණම් ගසා, 2009 මැයි 19 දා ප්‍රභාකරණන්ගේ මිණිය සොයාගැනීමත් සමඟ යුදමය වශයෙන් අවසාන විය.

1976 වඩුකෝඩ්ඩේ යුද ප්‍රකාශයට පෙර හා පසුවද, දෙමළ පැත්තෙන් මේ ව්‍යාපාරය පීල්ල උඩ යන කෝච්චියක් මෙන් හෙමින් හෙමින් නොනැවතී එකම ඉලක්කයක් කරා ඉදිරියටම ගියේය. සිංහල දේශපාලකයින්ගේ පැත්තෙන් මීට දැක්‌වූ ප්‍රතිචාරය, කුල භේදයටද යටවූ, ආත්මාර්‍ථකාමී, වැනෙන සුළු, දියාරු, වංක, අබෞද්‌ධ ගමණක් විය. උදාහරණයක් වශයෙන්, සිංහල රාජ්‍ය භාෂාව කිරීම යුක්ති සහගත වූ අතර, එහිදී සිංහල නොදන්නා දෙමළ ජනයාට, ආණ්ඩුව හා ගණුදෙණු කිරීම සඳහා, සිංහල ඉගෙන ගැනීමට සාධාරණ කාලයක් හා අවස්ථා ලබා නොදීම අබෞද්‌ධ, මුග්‌ධ ක්‍රියාවක් විය. අගමැති බණ්ඩාරනායක, ජේ. ආර් හා ඩඩ්ලි යන තුන්‌දෙනා ඊට වගකිව යුතු විය. මෙහිදී මතක් කරගත යුතු කරුණක් නම්, ක්‍රිස්තියානි චෙල්වනාගම්ලා මෙන්ම, මේ තුන් දෙනාද හැදුනේ, වැඩුනේ, ක්‍රිස්තියානි මවගේ/පියාගේ අභාශය යටතේ බවය. මොවුන් ධම්මපදය, මධ්‍යම ප්‍රතිපදාව හෝ පන්සිය පනස් ජාතක පොත ගැන හෝ අනාගාරික ධ‌ර්‌මපාලතුමා කිව්වේ කුමක්දැයි වත් නිසිලෙස දැන සිටියා නම්, සර් ජෝන්, ඔලිවර් ගුණතිලක හෝ සමතැන් එන්. එම්. පෙරේරලාට වඩා වෙනස් නායකයින් වන්නට ඉඩ තිබුණේය.

ලෝකයම තුෂ්ණිම්භූත කරමින් ලබාගත්, 2009 මැයි ජයග්‍රහණයෙන් පසුවත්, දැන් 2020 දීත්, සිංහල දේශපාලකයින් බොහෝදෙනා ගායනා කරන්නේ පරණ බයිලාමය. වැල්ලවත්තේ පදිංචිව සිටිමින්, එම්. කේ. ශිවාජිලිංගම්ට ඉහත දැක්‌වෙන බම්බු කතාව (ට්‍ර‌ැත් විත් චමුදිත, ජූලි 14) කිසි චකිතයක් නැතිව ප්‍රසිද්‌ධියේ කිව හැකි වන්නේ සිංහල දේශපාලකයින්ගේ නිවට ස්‌වභාවය ඔහු තේරුම්ගෙන ඇති නිසා නොවේද? දැන්වත්, ධර්‌මපාල දර්‍ශණය ගැඹුරින් සළකා නොබලන්නේ මන්ද යන්නට පිළිතුර පක්‍ෂ දේශපාලකයාගේ හුදු ආත්මාර්‌ථකාමී බව යන්නය. මේ නිසා දැනට සිංහලයාට ඇති එකම බලාපොරොත්තුව ජනාධිපති ගෝඨාභය අළුත් පාරක ගමන් කරාවිය යන්නය. උතුරේ, ශිවාජිලිංගම්-සුමන්තිරන්-විග්නේශ්වරන් විරෝධී බලවේගයක් හා ඊට සමාන්තරව, සිංහල බෞද්‌ධ-දෙමළ හින්දු සහයෝගීතාවයක් ගොඩ නැඟෙමින් පැවතීම ශුභදායී උපනතියක් වන අතර, වතුකරයේද මෙය සිදුවෙමින් පවතී.

ලංකාව ඒකීය රාජ්‍යයක් නොවේ

මේ ඒකීය කතාව ශිවාජිලිංගම්ගේ බම්බුවෙන් එහාට ගිය එකකි. සිංහලයා රවටන දේශපාලකයින් නොදන්නා හෝ උවමනාවෙන්ම සඟවන සත්‍යය නම් 13 සංශොධනයට පසු ලංකාව තවදුරටත් ඒකීය රටක් නොවේය යන්නය. සුප්‍රිම් උසාවියෙන් දුන් තීරණය නිතියකින් මිස අවලංගු කල නොහැකිය. මේ නිසා දැන් 2020 දී වත් බෞද්‌ධ ජනාධිපති වරයෙක් වන ගෝඨාභය විසින් කලයුතු හේතු-ඵල න්‍යාය අනුව, රෝගය හා රෝග නිධානය හඳුනාගෙන. ලංකාව, සිංහල-දෙමළ-මුස්ලිම් දේශපාලකයින්ගේ නොව, මහජනයාගේ ඒකීය රජ්‍යයක් කිරීමය. මෙහිලා මෙතෙක් වෙන ජනාධිපතිවරුන්ට නොතිබූ ඔහුට ඇති අධ්‍යාත්මික ශක්තිය වන්නේ, ඔහු සිය තනතුරේ දිවුරුම් දුන් ආකාරය හා ඒ අවස්ථාවේදී කල ඓතිහාසික කතාවය. එවැන්නක් කල හැක්කේ අවංකව, බෞද්‌ධයෙකු ලෙස අභියෝගවලට මුහුණ දුන් හා මුහුණ දීමට ආත්මශක්තියක් ඇති පංචස්කන්‌ධයකට පමණය. විද්‍යාත්‌මක ලෙස හා රීසනබල් ලෙස සිතන අයෙකුටය. බුද්‌ධ ධර්‌මය මේ දෙකටම අනුකූලය.

හිඟන්නාගේ තුවාල

දෙමළ-සිංහල පක්‍ෂ දේශපාලක කළුසුද්දන් අතර ඇති මේ ඊනියා දෙමළ ප්‍රශ්ණය, හිඟන්නාගේ තුවාලය වැනි යයි කියා ඇඟ බේරාගන්නට තවදුරටත් ඉඩක් නැත. ඊට හේතුව, 2012 මැයි මාසයේ බිහිවූ බොදු බල සේනාව විසින්, සිංහලයාව, විශේෂයෙන් සිංහල බෞද්‌ධයාව, හිත හොඳ ගෑණුන් ලෙස සැලකූ සමය අවසාන කලයුතු බව, නිද්‍රාශීලීව සිටි ජනතාවට පෙන්‌වා දීමය. බෞද්‌ධ ප්‍රභොධයක් ඇතිකර අකාලයේ වියෝවූ ගංගොඩවිල සෝම හිඳුන්ට මෙම සැලකිල්ල පෙන්‌වා දීම අපහසු වූයේ බණ මඩුවකදී එය කිව නොහැකිවූ නිසා විය යුතුය.

අලි මදිවාට හරක් නොහොත් ශාරියා භීතිකාව

ලංකාවේ ජනයා දිගටම දරිද්‍රතා මට්ටමේ තබා ගැනීමේ පක්‍ෂ දේශපාලකයින්ගේ උපක්‍රමයත්, ගම-නගර-නිවස මට්ටමෙන්ම මිනිසුන් පක්‍ෂ පාට අනුව බෙදා තබා ගැනීමත්, සමාජය පුරා පවතින විෂම චක්‍රය හෙවත් දේශපාලකයා-නිලධාරියා-එන්.ජී.ඕ.කාරයා යන කල්ලි තුනෙන් සමන්‌විත <දුෂ්ට ත්‍රිකෝණයත්> අන්කිසිවක් නොව, තවත් හිඟන්නාගේ තුවාලමය. භාෂාව නිසා වෙන්කරගත් වෙනම භූමි ප්‍රදේශයක් යන දෙමළ ඊළම් අර්බුදයට වෙනස්‌ව, 1920 ගණන් වල සිටම හැමෝගේම ඇස්‌වලට වැලිගසා පැල කර දළුලා, ලියලී, ලෝක ඉස්ලාම් ශාරියා-වහාබි-ඉහ්වාන් ආක්‍රමණය සමඟ, මේ වන විට ලංකාවට ඇති භූගෝල විද්‍යාත්‌මක තර්‍ජනයක් නම් හතු පිපෙන්නාක් මෙන් දිවයින පුරා විසිරී ඇති අන් එකදු පවුලකින් වත කිලිටි නොවුණ, ශුද්‌ධ මුස්ලිම් ගම්මාන රටාවය. බණ්ඩාරගම, අටළුගම එක් උදාහරණයක් පමණය. ගමේ පල්ලි වලද අමතර කඩු, කිනිසි ගබඩා කාමර ඇත! මේ සියල්ල මැති ඇමතිලාගේ රාජ්‍ය අනුග්‍රහය යටතේ වීමද ලෝකයේම විශේෂ කරුණකි.

මතවාදී මඳුරුවන් හා වතුර වලවල්

තේ හැන්ඳක් තරම් වතුරේ වුවත් ඩෙංගු බිත්තර රැකෙනවා මෙන්, ඊළම් හා ශාරීයා වාද ජයගත හැක්කේ ඒ මඳුරු වලවල් මතවාදයෙන් කඩා බිඳ හිස් කිරීමෙන් පමණය. කුරිරු ත්‍රස්තවාදයක් යුද්‌ධයෙන් ජයගත්තත්, අදටත් ශිවාජිලිංගම්ලා කොළඹ පදිංචිවී සිට ගෙනම වහසිබස් දොඩන්නේ එය නොකෙරෙන නිසාය. පලාත් සභා නමැති මර උඟුල වෙනුවට, ඊට යටකරණ රටේ සීමිත සම්පත් සිංහල-දෙමළ ඉගැන්‌වීමට, ජන සභා (ජන මූල සභා) හරහා දේශපාලකයාගේ මැදිහත්‌වීමෙන් තොරව සම්පත් ගම සංවර්‌ධනයට කෙළින්ම යොදාගැනීම ඇස් පියාගෙන වුවත් කල හැකි දේ වුවත්, එය සිදු නොවන්නේ කුමක් නිසාද? ගෝඨාභය පාලනයක් යටතේ මෙය වෙනස්වේවිද?

බේත් පෙති ඇඟිලි තුඩු වලින් අල්ලා ගැනීම

රටේ සිදුවිය යුතු, කලයුතු දේ අනන්ත අප්‍රමාණය. අබලන්‌වූ ඒ දණ්ඩෙන් ඇල දොල හරහා ලෙඩ්ඩු ගෙනයන ගම් වල සිට වැසිකිලියක්, වතුර බොන්නට ලිඳක් නැති පාසැල් වලින් පටන් ගෙන ඩිස්පැන්සරියේ බේත් පෙති ග්ලවුස් නැතිව දාඩිය ඇඟිලි වලින් අල්ලන, පාරේ කාරා කෙළගසන මිනිසුන් ද‌ක්වා මේ රට අශීලාචාර කලේ කවුද? ඉතියෝපියාවේ පවා බේත් පෙති ගණන් කර කුප්පියට දාන්නේ ලී හෝ ලෝහ පතුරකිනි. උදාහරණයක් වශයෙන් මේ ඩිස්පෙන්සරි බේත් පෙති ඇල්ලීමේ කතාව එක දොස්තර සංගමයකින් වත් පෙන්‌වා දී තිබේද? නීතිඥයින් අසරණ මිනිසුන් ගසාගෙන කෑම හෝ ගුරුවරු ලමයින්ට තම ටියුෂන් පන්තියට එන්නට බල කිරීම මෙවැනි දේ පොලොවේ ඇති තණකොළ මෙන් මිනිසුන් එදිනෙදා මුහුණ පාන දේය.

එහෙත් ඒ ගැන ඔවුන්ගේ කිසි උනන්‌දුවක් නැත්තේ ඒ තරමටම ඔවුන් භෞතික, මානසික හා අධ්‍යාත්මික වශයෙන් පිරිහී ඇති නිසාය. අන් කෙනෙකුට අසාධාරණයක් සිදුවෙනු දකිණ විට තබා (ගුඩ් සමාරිටන්) තමන්ගේ අයිතිය ගැනවත් ඔවුන් උදාසීනය. වැටත් නියරත් ගොයම් කා ඇති තරම ගැන දැනට එලිවන්නේ, නාකොටික් පොලිස්, බන්‌ධනාගාර, වනාරක්‍ෂක නිලධාරීන්ගේ හොරවැඩ වලින් ය. තව මොන තරමේ නැස්පත්ති සිදුවෙමින් පවතිනවා ඇද්ද? සංස්කෘතික ඇමති ජයවික්‍රම පෙරේරා විසින් බදුදුන් කුරුණෑගල භුවනෙකභාහු රාජමණ්ඩප යේ අරක්කුබාර් තබාගෙන යාම ඉදිරියේ ඇස්වසාගෙන සිටි පුරාවිද්‍යා නිලධාරීන් හා සජිත් විසින් සංස්කෘතික අරමුදලට විදීම මේ පරිහාණියේ තවත් පැත්තක් පමණය.
ඌරාගේ මාළු ඌරා පිටම කැපීම

1971, 1988 ජේවීපී ක්‍රියා හා 2019 නාගානන්ද කොඩිතුවක්කුගේ යෝජනාව, පවතින ක්‍රමය විප්ලවයකින් වෙනස් කිරීමේ අදහසය. ඊට පෙර, 1956-59 දී අසාර්‌ථක වූයේ පවතින ක්‍රමයක් කොනිත්තා වෙනස් කිරීමේ අසංවිධානාත්මක උත්සාහයය. ගෝඨාභය ජනාධිපති වීම හා ඉන්පසු දැන් සිදුවන්නේ පවතින ක්‍රමය ඒ තුලින්ම කණපිට පෙරලීමේ දෛනික අරගලයය. මෙහිදී මතුවන දුෂ්කර, භාධා, කකුලෙන් ඇදීම් එමටය. පරණ මන්ත්‍රී සෙට් එකටම ආයිත් නොමිනේෂන් දීලා නේද යන්න චන්දයෙන් බලය ලබාගැනීම පිණිස කලයුතුවූ රැවුලත්, කැඳත් දෙකම රැක ගැණීමකි. කෛයිරාටික උගතුන් නොව, ජාති මාමක උගතුන් පිරිසක් හරහා පාර්ලිමේන්තුවට අළුත් වයින් ඇති අළුත් බෝතල් යැවීමය. මේ මඟින් ඌරු මාළු කැපීමය. එහි ආරම්භය වූයේ දේශපාලකයෙක් වෙනුවට නිලධාරියෙක් ජනාධිපති ලෙස තෝරා ගැනීමය. පරණ මන්ත්‍රීලා හෝ සිරිසේන මහතා හෝ තරහ කරගෙන එය අපහසු වන්නේය

පක්‍ෂ වලින් එහා ගිය ව්‍යවස්ථා යෝජනා

යහපාලන කාලයේදී සිදුවූ දේවල් ගැන සිතන විට, වෙන රටක නම් සිදුවන්නේ මිලිටරි එක බලය අල්ලා ගැනීමය. මේ වාරයේදී සිදුවූ විශේෂ දෙයක් නම් ඩොලර් එන්.ජී.ඕ. නඩවල නාඩගම්වලට වෙනස් ආකාරයට, හාමුදුරුවරු මැදිහත්‌ව අළුත් ආණ්ඩුක්‍රම යෝජනා සම්මත කර රට ඉදිරියේ තැබීමය. ගෝඨාභය ජනාධිපතිවූ පසුද එය සිදුවිය. යුතුකම සංවාද කවයද මෙවැනි යෝජනා මාලාවක් නොබෝදා ඉදිරිපත් කලේය. මේ හැම සිංහල ජාතිකවාදී යෝජනාවලටම පොදු කරුණක් වූයේ බිම් මට්ටමින් ජනතාව බලවත් කිරීමත් හා ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් තිබීමත්‌ය. මෙම කාරණා දෙකේදීම, මේවා ක්‍රියාත්මක වන්නේ භූමිය මත, පොලෝ තලය උඩ නොවේද යන්න අමතකවූවා සේය. භූගෝල විද්‍යාව ඉගෙනගත් උපාධිධාරින් එක් අයෙක් වත්, වියත් මඟේවත් සිටියේ නැද්ද? විශ්ව විද්‍යාලවල ඉන්නා දුසිම් ගණන් භූගෝල විද්‍යා ආචාරීන්ට වත් දේශ-පාලනයේ භූගෝල විද්‍යාව අමතක වූවිට ඔවුන්ගෙන් බිහිවන ගෝලයින් ගැන කවර කතාද?

විශාල කෘතිම නිජ භූමිය හා පුංචි පුංචි ශාරියා බලකොටු

චෙල්වනායගම්ගේ ව්‍යාජ-කෘතිම නිජ භූමිය, භූගෝල විද්‍යාවට පටහැනිවූ දෙයක් වූ අතර, දැන් ශාරියාවාදයට තෝතැන්නක් වෙමින් පවතින මුස්ලිම් ජනාවාස (ගම්) සෑම විටම වාගේ බිහිවී තිබෙන්නේ ස්වාභාවික ජනාවාස බිහිවීමේ විධිය වන ගඟක්, ඇලක්, කලපුවක්, තෙත්බිමක් හෝ අඩුතරමින් වගුරු බිමකට හෝ පුරන්‌වූ වෙළ් යායකට හෝ යාබදවය.කාන්තාර කර්‌කෂ සම්භවයක් ඇති ඔවුන්ට මේවා ස්වාභාවික ක්‍ෂේම භූමි විය. මෑතක සිට මෙය වෙනස් වෙමින් යන්නේ අරාබි තෙල් ඩොලර් හරහා අළුත් කෘතිම අරමුණකින් පාරවල් දෙපස ඉඩම් මිලට ගැනීමේ ශාරියා ව්‍යාපාරය නිසාය. එහිදී වුවත් යම් මානව භූගෝල විද්‍යාත්‌මක සාධක (ඊසි ඇක්සස්, බිස්නස් ඔපර්චුනිටි වැනි) ක්‍රියාත්‌මක වන්නේය. මහ පාරවල දෙපැත්ත අල්ලා ගත හොත් යම් දවසක කඩු කිනිසි බලයෙන් වුවත්, සිංහලයා පාරෙන් පිටිපස ගම් වල කොටුකර තැබිය හැකිය!

කැලෑව වෙනුවට ගස් දැකීම

දැන් අළුතෙන්ම සජිත් ප්‍රේමදාසගේ අළුත්ම පොරොන්‌දුව නම් ඔහු අගමැතිවූ වහාම රටපුරා ග්‍රාම හා නගර රාජ්‍ය පිහිටුවන බවය. මේ කතාව දේශපාලකයින්ගේ පරණ කතාවක් බවවත් ඔහු නොදණී! ඔහුගේ පියාගේ කටු නොකැරකෙණ ඔරලෝසු කණු වලින් නිමවූ ගම් උදාව එක් උදාහරණයකි. මේ ගම හම ගැහීමේ ව්‍යාපාරය යහපාලන සුමන්තිරන්-ජයම්පති ව්‍යවස්ථාවේද තුන්වන පාලන මට්ටම ලෙස සඳහන් විය. ජාති මාමක නව යෝජනාවලදි හා ගෝඨාභය ප්‍රකාශණයේදීද ඇඟවුණේ පලාත් සභා නම් බොරුව වෙනුවට ජන මූල සභා ක්‍රියාවට එනවා යන්නය. මෙම රචනාවේ අරමුණ නම් මේ ජන මූල සභා සංකල්පයෙන් මීට වඩා බොහෝ දේ ඉෂ්ට කරගත හැකි බව පෙන්වා දීමය. නැතහොත්, නොයෙක් ගස් දිහා බලමින් ගොස් කැලෑව අමතක නොකල යුතුය යන්න පැහැදිලි කිරීමය. හැමෝටම පෙනී-පෙනී නොපෙනන දේශපාලන භූගෝල විද්‍යා (political geography) රහසක් එලිකිරීමය.

ජන මූල සභාවල භූමි ප්‍රදේශය කුමක්ද?

රටේ භූමිය, පරිපාලන ඒකක කෙතරම් සංඛ්‍යාවකට බෙදා තිබේද? මේවායේ සීමා මායිම් භාෂාව, ආගම, කුලය යන නිර්‌ණායක වෙනුවට ඒවා නොසළකන, ස්වාභාවික මායිම් විය නොහැකිද? අපේ රටේ පැවතියේ ගම-වැව-දාගැබ යන සෑම විටම ජල මූලාශ්‍රයක් මත පදනම්‌වූ පරිසර විද්‍යාත්මක, සමාජ-ආර්ථික ත්‍රිත්‌වයක් නොවේද? පණ්ඩුකාභය රජතුමා මුළු දිවයිනේම ගම් සීමා මායිම් කොට එක්සේසත් කලා යන්නෙන් අදහස් වන්නේ මේ සංකල්පයේ ආරම්භයද? දැනට ලංකාවේ ගම් 40,000 ක් පමණ තිබේ යයි සැළකේ. ප්‍රේමදාස ජනාධිපති විසින් 4,000 සිට 14,000 දක්‌වා වැඩිකල ග්‍රාම සේවා නිලධාරීන් වසම් 14,022 ක් දැනට ලකාවේ ඇත. මේවා රටේ ඇති කුඩාම සිවිල් පරිපාලන ඒකකය. මීට කිට්ටු තවත් සිවිල් ඒකකයක් නම් රටේ චන්ද මධ්‍යස්ථානය (පෝලින් ස්ටේෂන්ස්). 2019 ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික් 22 ක තුල මේවා 12,845 විය. මේවා නම් චන්ද කාලයේ අවශ්‍යතා අනුව අවස්ථානුකූලව අඩු වැඩි කල හැකිවන්නේය.

මෙම ග්‍රාම සේවා වසම් වල සීමා මායිම්, පරිසර විද්‍යා-ජලජ විද්‍යා (ඉකොලොජි-හයිඩ්‍රොලොජි) සාධක අනුව නැවත ලකුණු කල නොහැකිද? සෑම දෙනාගේම ඇස් අන්‌ධව ගොස් ඇත්තේ මේ දේශපාලන භූගෝල විද්‍යා රහස පිළිඹඳවය. රටේ සාමය හා මනා පාලනය සඳහා එති ඇති වැදගත්කම පසුගිය අවුරුදු 72 ක තුලම වැටහී ඇත්තේ අතලොස්සක් පමණක් දෙනාටය. එයද අප දන්නේ ඉඳහිට ඉංග්‍රීසි පත්තරයක පලවන ලිපියක් මඟින් ය. අළුතෙන් හිතනවා, අළුත් පිරිසක් පාර්ලිමේන්තුවට යවනවා යන කියමනේ සැබෑ තේරුම මෙවැනි දේ අනුව අළුත් ගමණක් යෑම නොවේද? මෙසේ මෙම ග්‍රාම සේවා නිලධාරී වසම් ස්වාභාවික (නැචුරල්) මායිම් සහිත වනසේ නැවත බෙදුවොත්, එහි සංඛ්‍යාව 14,022 ට වඩා බෙහෙවින් අඩුවනවා නිසැකය. දැනට මෙම පහලම රාජ්‍ය සිවිල් පාලන ඒකකයක් තුල ස්ථිර, පූර්‌වකාලීන සේවකයින් 6 දෙනෙක් සිටී. මේ අනුව රටේ එම සංඛ්‍යාව 84,000 කට වැඩිය.

බේස් ලයින් පාර

බේස් ලයින් පාර කියන්නේ මුළු රටම මැණ බලා සිතියම් ගත කිරීම සඳහා යෙදූ මුල් ත්‍රිකෝණයේ බේස් එක වශයෙන් සුද්දා විසින් ලංකා පොලොවේ ගැසූ ඉරටය. ඕනෑම රටක් අල්ලා ගන්නා ඕනෑම බලයක් විසින් මුලින්ම කරන්නේ ඒ රට් භූමිය, සම්පත් දැනගැනීම පිණිස සිතියම් සැදීමය. මිනින්දෝරු දෙපාර්‌තමේන්තුව යටත් විජිතයේ පරණම ආයතනයන වූයේ ඒ නිසාය. රතු ඉන්දියන්වරුන්ගෙන් ඇමෙරිකාව අල්ලාගත් විට එහි සුද්දන් කලේද එවැන්නකි. මීට ලෝකයේම පවතින හේතුව නම් කාර්යක්‍ෂම ලෙස රටක් සූරාකෑම හෝ ප්‍රයෝජනයට ගැනීමේ මුල් පියවර එය නිසාය. එහෙත් 1948 නිදහසෙන් පසු ලංකාවේ කළු සුද්දන්ට, රටෙන් ප්‍රයෝජන ගැනීමට, සුද්දා පිළියෙල කල සිතියම් වත් යොදාගැනීමට, දැණුමක්, දැකුමක් හෝ ඕනෑකමක් නොවීය. සුද්දා එකතුකර දී ගිය විදේශ විනිමය ටික මුලින්ම කා දමා, අතගැසූ හැමදේම මිස්මැනේජ්මන්ට් කිරීම හරහා අදවන විට මුළු රටම කොට උඩ යවා ඇත.

භූගෝල විද්‍යාවට පටහැනි වන නීති පැණවිය නොහැක.

යම් රටක පාලක පිරිස් ඒ රටේ භූගෝල විද්‍යාවට එරෙහිව ක්‍රියා කලොත් ඉක්මණින්ම හෝ ප්‍රමාදව එහි අනිසි විපාක භුක්ති විඳිනවාමය. කඳු නායයාම, ගංවතුර, නියං යනු සරල නිදසුන්‌ය. කොරෝනා යනු ස්වභාව ධ‌ර්‍මයට හා බෞද්‌ධ දර්‌ශණයට පටහැනිව යාමේ කොසොල් රජතුමාගේ සීන දාසැය සැබෑ වීමකි! මෙම විෂය සම්බන්‌ධයෙන් මීට පෙර ලියූ ලිපි විශාල සංඛ්‍යාවක් ලංකාවෙබ් වෙබ් අඩවියේ සුරක්‍ෂිත කර ඇත. ඒ නිසා මෙහිදී කෙටියෙන් සළකා බලන්නේ ලංකාවේ ග්‍රාම සේවා වසම්, ස්වාභාවික මායිම් සහිත වනසේ නැවත බෙදීමෙන් රටේ ප්‍රශ්ණ විසඳීමට උපකාර වන්නේ කෙසේද යන කරුණය.

  1. මෙම සීමා නිර්‌ණය කිරිම කරන්නේ භෞතික හා ජල විද්‍යා සාධක අනුව නිසා එය රටේ පරිසර කළමනාකරණයට අනුකූල වේ. සෑම අළුත් ග්‍රාම සේවා වසමක්ම ස්වාභාවික (නැචුරල්) පරිසර ඒකකයකි. මේ නිසා තිරසර සංවර්‌ධනය අරමුණු හා ගැටුම් අවම වේ.
  2. සෑම වසමක්ම, ගංඟා ශාඛාවක්, ඇලක්, දොලක්, වැවක්, ජල උල්පතක්, භූගත ජල ද්‍රෝණියක් වන නිසා, ස්වාභාවික මායිම් තිබීමේ රීතිය කඩ නොකර ඒවා පරිපාලන අවශ්‍යතාවය අනුව එකතු කරගත හැකිය. මෙහි ඇති සිතියම විශාලම පරිමාණයෙන් (දැනට තිබෙන පලාත් නවයේ මට්ටමෙන්), ගංඟා ද්‍රෝණි ප්‍රදේශ හතක් ලෙස කල හැකි එවැනි එක් කිරීමකි. මෙය දිස්ත්‍රික් 22 ක් සමඟ ගැලපෙන සේද අනුගත කල හැකිය.
  3. දිසාපති, ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම සේවා නිලධාරී යන සිවිල් බෙදීමට අමතරව, මේ ඒකක එකතුකර, වෙනත් නොයෙක් රාජ්‍ය ඒකකවල මායිම් වශයෙන්ද යොදා ගැනීමෙන් (පොලිස්, වනාන්තර, වාරි මාර්‍ග, ගොවි ජන සේවා, සෞඛ්‍යය, අධ්‍යාපන යනාදී වශයෙන්) දැනට ඇති ව්‍යාකූල මායිම් රටාව සරල කර ගත හැකිය. ඒ ආයතන අතර අන්තර්-සම්බන්‌ධතා කාර්යක්‍ෂමවේ.
  4. විශේෂයෙන් ගංඟා හරහා වැටී ඇති දේශපාලන බෙදීම්, ඒ දේශපාලන ඒකක අතර ජලය බෙදාගැනීමේ වැනි ක්‍රියාවලදී ගැටුම් ඇතිකිරීම ලොව පුරාම දක්නට ලැබෙන සිද්‌ධියකි. එවැනි ඒකක එක් විශාල ඒකකයක් කිරීමෙන් ගැටළුව ඒ තුලටම අවශොශනය වේ.
  5. දිවයිනේ තෙත් කලාපය හා වියළි/ශුෂ්ක කලාප අතර පුරාණ වැව් නටබුන් විසිරී ඇති (වාරිමාර්‍ග) සිතියමක් දෙස බලන විට, ග්‍රාම සේවා ඒකක ජල විද්‍යාව අනුව හඳුනාගැනීමේ සාධාරණකම මතුකර පෙන්වන්නේය.
  6. බිම් මට්ටමින් ජනයාට බලය පැවරීම හෙවත් ඒ කාලයේ රොබට් බ්ලේක්, හිලරි ක්ලින්ටන්, මන් මෝහන් සිං හා බැන්කිමූන් විසින් කී මීනින්ෆුල් ඩෙවෙලූෂන් (නියම ලෙසම බලය බෙදීම) සඳහා යෝග්‍යම භූමි ඒකකය වන්නේ මෙවැනි නැචුරල් බෙදීමකින් යුත් ජන මූල සභා (ජන සභා) යන්න අවිවාද ජනකය.
  7. එවැනි බෙදීමක සැඟවුණු අගය නම් ජාති, භාෂා, ආගම්, කුල වශයෙන් සිතීමේ ප්‍රවනතාවෙන්, චෛතසික හිරගෙයින්, ඔවුන්ව ක්‍රමයෙන් මුදාලීමය. ඊට හේතුව එවැනි ආකාරයට බෙදූ දේශපාලන ඒකක තවදුරටත් රටේ නැති වීමය. මෙය සිදුකරණතාක්, හැමදෙනාම සිංහල හා දෙමළ ඉගෙන ගත්තත්, ජාතිවාදී විෂබීජය නම් විනාශ වන්නේ නැත.
  8. රටේ යම් ප්‍රදේශවල මෙම ඒකක, 90% ක් ම එක් භාෂාවක්, එක් ආගමක් සහිත වූ වත් එම ඒකකයකට රටේ සෙසු ජන කොටස් වලට තර්‍ජනයක් වෙන ආකාරයේ තීරණ ගැනීමට ඉඩක් නොලැබේ (නිදසුණක් වශයෙන් යාපනය, ටැමිල්නාඩ් සමඟ හෝ සයින්දමරුදු ඇමෙරිකන් ඉන්‌දු-පැසිපික් බලධාරීන් සමඟ).
  9. උතුරු හා නැඟෙනහිර පලාත් සභා සම්බන්‌ධයෙන් දැනට ඇති ලොකුම ප්‍රශ්ණය නම් සිංහලයාට, දෙමළ ටැමිල්නාඩ් හරහා විය හැකි අනතුරය. යම් අංශ වලින් දෙමළ ඇස්පිරේෂන්ස් (පුද්ගල අවශ්‍යතා හා ඕනෑකම් වෙනුවට දේශපාලකයින් සිය පැවැත්ම සඳහා ගේන දෙමළ හා මුස්ලිම් අභිලාශ කතාව) ලඟා කර ගැනීම සඳහා සීමාව පැන නොයන, රීසනබල් ඉඩක්ද මේ අනුව සළසා ගත හැක්කේ කුඩා නැචුරල් භූමි ඒකක නිසා සිංහලයාගේ බිය තුරන් වන නිසාය.
  10. සිංහල වෙනුවට ශ්‍රී ලාංකික කියා උප්පැන්න සහතිකයේ ලිවීම වැනි යෝජනා වෙනුවට දිවයිනේ ඇති සංස්කෘතික විවිධත්‌වය උකහා දැක්‌වීමට භාධාවක් මේ නිසා නැතිවේ.
  11. ලංකාවේ කාටවත් වෙන්කල නිජභූමි නැත යන්න සිංහල ජනයාට පමණක් නොව දෙමළ ජනයාටද අදාල බව ඒත්තු ගැන්‌විය හැකි වන්නේ මෙසේ නැචුරල් ග්‍රාම සේවා වසම් ලෙස රට මායිම් කිරීමෙන් පමණය.
  12. මුස්ලිම් ශාරියා-ඉහ්වාන් වාදයට අනුව රටපුරා ශුද්‌ධ මුස්ලිම් බලකොටු බිහිකිරීමේ ව්‍යාපාරයටද පිළිතුර, එය නැචුරල් බවුන්ඩරීස් නමැති භාධකය මඟින් මොට කිරීමෙනි.
  13. මෙවැනි ජන සභා මායිම් කිරීමේ ක්‍රමයක් මඟින් පලාත් සභා නමැති මර උඟුලෙන් ගැලවී, අවශ්‍ය නම් ප්‍රාදේශීය ලේකම් හෝ ප්‍රාදේශීය සභා මටටමෙන් දේශපාලන ඒකක පිහිටු විය හැකිය.
  14. මධ්‍යම රජය සඳහා මන්ත්‍රීන් තේරිමේ මැතිවරණ කොට්ඨාශද මෙම ග්‍රාම සේවා ඒකක එක් කිරීමෙන් සදාගත හැකිය. එපමණක් නොව යම් ආකාරයේ දෙවන මන්ත්‍රණ සභාවක් අවශ්‍ය නම් (ඇමෙරිකාවේ සෙනේට් සභාවට සමාන) මෙම ජන සභා වල සභාපතිලාගේ චන්දවලින් 100-200 අතර සාමාජික පිරිසක් තෝරාගත හැකිය.
  15. ඒකීය රාජ්‍යයක්, රටට එකම නීතියක් යනු නිකම් හිස් කතා පමණක් නොවන්නට නම්, භූමිය මත එය තහවුරු කල හැකි ආකාරයේ දේශපාලන ඒකක ස්ථාපිත කල යුතුමය. මේ සමඟ ඇති ගංඟා ද්‍රෝණි හතේ සිතියම දෙස බැලුවොත් ඉන් රටේ හැම ප්‍රදේශයකටම මුහුදු වෙරළක්ද ලැබේ. භූමි ප්‍රමාණය අතින් බොහෝ දුරට ප්‍රදේශ හත එක හා සමානය.
  16. බහු ආගමික, බහු ජාතික සමාජයක් සිංහල මහජාතියේ සෙවනැල්ල යටතේ පැවතිය හැක්කේ මෙවැනි නැචුරල් ඒකක සංකල්පයක් මඟින් පමණක් මිස විදේශ බලපෑම් හරහා නොවේ.
  17. ලංකාවේ පවතින්නේ භාෂාව හෝ ආගම අනුව ඇති විෂමතාවයක් නොව, භූමිය මතුපිට ඇති සම්පත් වල අසාමාන්‍ය බෙදීයාමත්, එසේ විසිරී ඇති සම්පත් භාවිතයට ඇති ඒ ඒ ස්ථානයේ/අවකාශයේ (ලොකේෂන්, රීජන්, ස්පේස්) හැමදෙනාටම සමාන ඉඩ ප්‍රස්ථාවක් නොලැබීම හා එසේ ලබාදිමට පාලක පන්තිය දිගින් දිගටම අසමත් වීම නිසා හැමදෙනාම මුහුණ පaaැති විෂම දරිද්‍රතාවය යන්න භූමිය දෙස මෙවැනි භාෂාවෙන්/ආගමෙන් තොර ප්‍රවේශයකින් එලිවෙන්නේය.
  18. සුද්දන් විසින් දුන්, කෝල්බ්‍ර‌ෑක් සූත්‍රයෙන් ගැලවීම, හෙවත් දිවයින සුද්දන්ගේ වාසිය හා සූරාකෑම සඳහා 1832 න් ආරම්භවී කල භූමි මායිම් ක්‍රමය ඉවත් කිරීමට නිසිකාලය දැන් පැමිණ තිබේ. මෙය කිරීමට තුනෙන් දෙකේ චන්දයක් වත් අවශ්‍ය නැත! අවශ්‍ය වන්නේ මානව හිමිකම්කාරයින්ගේ ඝොෂාවක් එන විට, ඊට බෞද්‌‌ධ රාජ්‍ය ප්‍රතිපත්ති අනුව මුහුණ දීමේ කැපවීම හා ශක්තිය පමණය.
  19. මෙම නැචුරල් ග්‍රාම සේවක නිලධාරී වසම් විසඳුමට (1) ලංකාවේ අනාදිමත් කාලයක සිට පැවත ආ ගම-වැව-දාගැබ යන ත්‍රිත්‌වය (මොඩලය), (2) කුඩා භූමි ඒකක පිළිඹද ෂුමාකර් (1973), කර්ක්පැට්‍රික් සේල් (1980) යන අය විසින් ලෝකයට දායාද කල ස්මෝල් ඊස් බියුටිෆුල් අදහස්, (3) නිතී විද්‍යාවේ එන රීසනබල් ඩොක්ට්‍රින්, (4) ප්‍රජාතනත්‍රවාදයේ තිබෙනවා කියන කොම්ප්‍රොමයිස් එකකට ඒමේ සම්ප්‍රදා (5) භූගෝල විද්‍යාවේ එන රීජනල් කන්සෙප්ට් හා ස්පේෂියල් ඩයිවර්සිටි හා (6) මොන්ටෙස්කි විසින් සිරස් ලෙසට නොව පෘතුවි තලය මත හරස් අතට (වර්‌ටිකල් නොව හොරිෂොන්ටල්) සමස්ත බලය විසිරුවා බෙදා හැරිය යුතුය යන අළුත් විවරණය, යන සියල්ල අන්තර්‌ගතය. මෙහිදී විෂ්මය ජනක හා ආශ්ච‌ර්යමත් කරුණ වන්නේ මේ සියල්ල බුදුදහමේ ඉගැන්‌වෙන මධ්‍යම ප්‍රතිපදාවේ හා චතුරාර්ය සත්‍යයේ අන්තර්‌ගත වී තිබීමය. කොසොල් රජතුමාගේ සීන දාසැයේ කියා තිබූ මේ බෞද්‌ධ දේශපාලන විද්‍යාව, ලෝකයටම ඔප්පු කර දුන්නේ කොරෝනාව මඟිනි.

සියළු සත්වයෝ (මිනිසා පමණක් නොව සතා-සිව්පාවා, ගස්-ගල් වලට පවා) නිදුක්වේවා, නිරෝගීවේවා, සුවපත්වේවා යයි කුඩා කාලයේ සිටම සිය දරුවන්ට උගන්වන, පන්සිය පනස් ජාතක කතා පොතෙන් හැඩ ගැස්වූ ජීවන රටාවක් තිබුණ හා තවමත් තිබෙණ රටකට, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය යනාදී කන් පිනවන නම් අත් වැසුම් දමා ගෙන ලෝකය සූරා කණ අළුත් ධනවාදී, අධිරාජ්‍යවාදී වෘකයින් විසින් දැන් කෙණහිළිකම් කරන්නේ, පාඩම් කියා දෙන්නට එන්නේ, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් විසින් පෙන්‌වා දුන් පරිදි බුදු අම්මෝ සිංහලයින් වෙනුවට ඕ මයි ගෝඩ් කළු සුද්දන් විසින් අවුරුදු 72 ක් පුරාම රටට කල නැස්පත්තිය නිසාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress