ජාත්‍යන්තර ගුරු දින පණිවිඩය-
Posted on October 6th, 2020

මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

ලෝකය වෙනස්‌ කිරීම පිණිස භාවිත කළ හැකි වඩාත්ම ප්‍රබලතම අවිය වන්නේ අධ්‍යාපනයයි – නෙල්සන් මැන්ඩෙලා

මෙකී අපේක්‌ෂිත වෙනස සිදු කිරීමේ පෙර ගමන්කරු වන්නේ ගුරුවරයාය. ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල් තැන ගන්නේ ද ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වූ මඟ නොමඟ පසක් කරන මාර්ගෝපදේශකයා ගුරුවරයා වන හෙයිනි.

රටක අනාගතය ‍ගොඩනැගීම උ‍දෙසා හා එම ර‍ටේ දරුවන් යහපත් පුරවැසියන් කිරී‍මේ මහඟු කාර්ය‍යේ පු‍රෝගාමී ‍මෙ‍හෙවරක් ඉටු කරනු ලබන ආදරණීය ගුරුභවතුන් ඇගයීම, ඔවුන්‍‍ගේ කාර්යභාරය මනාව වටහා‍ගෙන ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීම ‍ලෝක ගුරු දිනයේ මුඛ්‍යය පරමාර්ථය ‍වේ.

යුනෙස්කෝ ආයතනය හා ලෝක කම්කරු සංවිධානය එක්ව ලෝක ගුරු ප‍්‍ර‍්‍රඥප්තිය අත්සන් කිරීමට යෙදුණු 1966 ඔක්තෝම්බර් 05 දින සිහිපත් කරමින්, 1994 වර්ෂයේ එක්‌සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්‌කෘතික සංවිධානය විසින් ඔක්තෝම්බර් 05 දින ලෝක ගුරු දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය. වර්ෂ 1994 දී ශ්‍රී ලංකාව තුළ ගුරු-විදුහල්පති සේවාවන් සකසන ලද අතර, ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් වූ දිනය පදනම් කරගනිමින් ඔක්තෝම්බර් 06 දින ලංකාවේ ගුරු දිනය සමරනු ලබයි.

ජීවන අරගලය ජයගන්නට දෙමාපියන් දරුවන්ට ආදරය, කරුණාව, ශක්තිය, ධෛර්ය  ලබා දෙන්නේ යම් සේද, සමාජයේ නොවැටී සිටින්නට අවැසි ආකල්පමය, අධ්‍යාපනික පදනම සපයමින් දරුවෙකුට ලෝකය දකින්නට, ලෝකයේ හිස ඔසවා ජීවත් වන්නට හුරු කරවන්නේ ගුරුවරයාය. එබඳු උදාර වූත්, උතුම් වූත් චින්තනයකින් පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයා ද ගුරුවරයා පමණි.

ජාතියට දැනුම ලබා දෙන්නේ ගුරුවරයාය. ඒ නිසාවෙන් ගුණගරුක පරපුරක් හිමි රටක් ලෙස එකී ගෞරවාන්විත සේවාව සමාජයේ වන්දනීයත්වයට පත් කළ යුතුය. මානව ශිෂ්ටාචාරයේ පෙරගමන්කරුවා වූ ගුරුවරයා හෙටට ගැලපෙන මිනිසා නිර්මාණය කරයි. එම ගුරු දෙමාපියන්ට අප සදා ණය ගැතිය. ඔවුන් සැමරීම අදට පමණක් ලඝු නොවිය යුතුය.

ජීවන ගමනේ මං පෙත් විවිර කරමින් සුවහසක් දූ දරුවන්ගේ නැණස දැල් වූ ගුරු මා පියන්ට මේ දිනය උපහාරයක්ම වේවා යි ප්‍රාර්ථනා කරමි!

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

අග්‍රාමාත්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress