පාද චාරිකාව, ප්‍රයෝජනය සහ ජනප්‍රියවාදයේ ප්රශ්නය..
Posted on April 28th, 2026
– චමිල ලියනගේ. උපුටා ගැන්ම ලංකා ලීඩර්
මෙම සටහන ගැන ඔබ උරන විය හැක. එහෙත් මම මාගේ අදහස ඉදිරිපත් කරමි.
ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ඉතා අසීරු පරිසර සාධක මැද කිලෝමීර් තුන්දහසක් හෝ ඊට ආසන්න ගණනක් පයින්ම වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ ව්‍යායාමය දෙස ඉමහත් සතුටින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් බලා සිටි, ඒ ගැන බොහෝ දෑ ලියා පළ කළ මට, උන්වහන්සේලාගේ ශ්‍රී ලංකාවේ පාද චාරිකාව දැකීමෙන් – නම් කර ඇති පරිද්දෙන් ඒහිපස්සිකෝ – එබඳු සැනසිලිදායක, නිවුනු පහන් සිතක් උපදින්නේ නැත.
මම ඒ ඇයිදැයි කල්පනා කරමි. ඊට හේතුව ඝර්ම කලාපික අපි, බොහෝ විට අත්විඳින්නට ආශා කරන, ඇතැම් රටවල ශීත සෘතුවේ පරිසර සාධක නොවේ. ආලෝකා නම් ලද සුනඛයාද නොවේ. මා සිතන්නේ බෞද්ධයකු ලෙස අප බොහෝ දෙනෙකුගේ සිත් බැඳගත්තේ උන් වහන්සේලාගේ අපේක්ෂාව හෝ කාර්යභාරය (purpose) ය. ඇතැම් ඇමරිකානුවන් බුද්ධශ්රාවකයකු, දුටුවේ පළමුවතාවට විය හැක. එසේම, තමන්ගේ බසින්ම සරළ බුදු වදනක්, ශ්‍රවනය කිරීමෙන්, අන්‍යාගමික හෝ නිරාගමික වූ ඒ මිනිසුන්ගේ වියලි, හිස් හෝ විසිරුනු සිත් වලට යම් ශාන්තියක් දැනෙන්නට ඇත. අස්සජි මහ රහතන් වහන්සේගෙන් ‘යේ ධම්මා හේතුප්පභවා‘ පාඨය ඇසීමෙන් උපතිස්ස කෝලිත පිරිවැජියන්ගේ සිත් පුබුදු වූ තරමින් නොවූවාට ඒ සිදුවීමට සමාන්තර කුඩා සුභවාදී යහපත් සෙලවීමක් හෝ බුදු වදන් නෑසූ ඒ මිනිසුන් තුළ සිදුවන්නට ඇත. එය ඉතාම ප්‍රවේසමෙන්, උපේක්ෂාවෙන් පාගමනින් වඩින ස්වාමීන් වහන්සේලා එකම නිමිත්ත කරගනිමින් නවීන මාධ්‍ය ඔස්සේ විසුරුවා හැරි මාධ්‍ය මෙහෙයුම තවත් ඇමරිකානු හා ඉන් පරිබාහිර ලක්ෂ සංඛ්‍යාත මිනිස් සිත් සතන්, ආමුලිකා ශ්‍රද්ධා සිසිලකින් හෝ ඊටත් ප්‍රාථමික හැගීමකින් තෙමාලන්නට සමත්වූයේය.
බුදු දහමට, ශාසනික කරුණු වලට මුලුමනින්ම ආගන්තුක වූ ඇමරිකාවේ සිට ශ්‍රී මහා බෝධි අංකුරයක් වැඩමවීම මුඛ්‍ය පරමාර්තය කරගනිමින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ වඩින්නේ ශ්‍රී ලංකාවටය. ශ්‍රී ලංකාව යනු සලකන ලද රටේ සමස්ථ ජනගහනයට සාපේක්ෂව වැඩිම බෞද්ධයින් පිරිසක් ජීවත්වන ලොව 5 වන හෝ 6 වන රටය.
මේ සියලු සංඛ්‍යා ලේඛන අනාවරණය කරන්නේ උපතින් බෞද්ධ පිරිස මිස පිලිවෙතින් බෞද්ධ සංඛ්‍යාව නොවේ. මා මෙහිදී පිළිවෙතින් බෞද්ධ යනුවෙන් හඳුන්වන්නේ ජනප්‍රිය බුද්ධාගමේ අන්තයටම ගමන් කළ, ශාක්‍ය වංශිකයන් පවා අභිබවා තථාගතයන් වහන්සේට අයිතිවාසිකම් කියන පිරිස නොවේ. සියලු අගතීන් කැටිව නිමැවුනු ජනප්‍රියවාදී වතාවත් පුරන බෞද්ධයින්ද නොවේ. ග්‍රාම්‍ය උදාහරණයකින් පවසන්නේ නම්, ලංකාවේ ලොම් ගානට බෞද්ධයින් සිටියාට, පිලිවෙතින් බෞද්ධයින් සිටින්නේ අං ගානට ය. උන් වහන්සේ මෙහි වැඩියේ පාගමනින් වැඩම කිරීමට උවත්, අවසානයේ සිදුවී ඇත්තේ ජනප්‍රිය මාදිලියේ වැඩැම්ම්වීමකට මුහුන දෙන්නට ය..!!
මා මේ සටහනට භාවිත කරන, අන්තර්ජාලයෙන් සපයාගත් ඡායාරූපයේ පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ මුහුනෙහි සියුම් කළකිරීමක් දකිමි. ඒ කලකිරීම, උන්වහන්සේ අත්විඳි ජනප්‍රියවාදී නිසාම ආක්රමනශීලී ව්‍යාජ ශුද්ධාව නිසා ඇතිවූ වෙහෙස හා කැළඹීම යැයි සිතමි. දශක ගණනාවක් තිස්සේ ජනප්‍රිය පුද්ගලයන්ට, විශේෂයෙන්ම තම ගෝත්‍රයේ, පක්ෂයේ නායකයන්ට, ලංව සිටීමට, එසේ ලංව සිටීමෙන් ඕලාරික බලපුලුවන්කාරකමක් සුලු වේලාවකට හෝ මමත්වයෙන් යුක්තව ප්‍රදර්ශනය කිරීමට, මන්ත්‍රියා ඇමතියා මාධ්‍යයට කතා කරද්දී පිටුපසින් හිටගෙන රූපරාමුවේ පෙනීසිටීමට, ලංව සිට ඡායාරූප ගැනීමට හුරුකරන ලද සිල්ලර මිනිසුන් මෙන්, උන්වහන්සේ වෙත සමීප ව සිටින, ඇමරිකානු ආදර්ශය සිහිකරමින් අසාර්ථකව අනුකරණය කිරීමට උත්සහ දරණ, විපරීත හැසිරීම් නිසා ඒහිපස්සිකෝ රූපරාමු පිරිසිදු නැත. එක් අතකින් මංගල දිනය දවසේ නිදහසේ සිටීමට නව යුවතිපතීන්ට ඉඩනොදෙන කලබලකාරී ඡායාරූප ශීල්පීන් නිසා එවැනි සංස්කෘතික අවස්ථා විකාරරූපී වන ආකාරය මට සිහිපත්වේ!
(උන්වහන්සේ වෙත ශ්‍රද්ධා බුද්ධි සම්පන්නව සමීපව වන්දනා කරන අතලොස්සක් දෙනා මට කමත්වා! – මේ කියන්නේ ඔබ ගැන නොවේ) ඊටම නොදෙවෙනිව, එක්සත් ජනපදයේ චාරිකාවට බාධා නොවන අයුරින් සලසා තිබූ ආරක්ෂක සැලසුම් සමග බලද්දී වෙනුවට අපේ ආරක්ෂක විධිවිධාන අසාමාන්‍ය ලෙසින් බාධාකාරී හා විකාරූපීය. ඉස්ලාම් අන්තවාදය විසින් බුදු සව්වන් ඝාතනය කළ අග්නිදිග ආසියානු රටක, සන්නද්ධ සොල්දාදුවන් සමග පිඬු සිඟා වඩින භික්ෂූන් වහන්සේ සහිත ඡායාරූප කලකට ඉහතදී අපි දුටිමු.
ඇත්තෙන්ම පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ශ්‍රී ලංකාවේ පාද චාරිකාවක නිරතවිය යුතුද? ඉන් ශ්‍රී ලාංකීය බෞද්ධයාට/රටට හෝ පොදුවේ ශ්‍රී ලාංකිකයාට ලැබෙන ප්රතිලාභ මොනවාද? ශ්‍රී ලංකාවේ ඊලාම් යුද්ධයට පෙර උතුරු පලාතේ උන්වහන්සේලා පාදචාරිකාවෙහි නිරතවූවා නම් පාද චාරිකාව සාරම්මනය. උත්තුංගය!
උන්වහන්සේලා මෙරටට වැඩමවීමේ අරමුණ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ඇමරිකා එක්සත් ජනපදයට වැඩමවීම නම්, ඒ ප්රමුඛ අරමුනට රාජ්‍ය අනුග්‍රහය උපරිමයෙන් ලැබීම වැදගත්ය. මේ ජාත්‍යන්තර බෞද්ධ දූත පිරිස, උතුරු හා නැගෙනහිර පලාත් වෙත නොවඩින්නේ ඇයි? සුලභ වශයෙන් නාමික බෞද්ධයින් ජීවත්වන ප්‍රදේශ පමනක් මේ පාද චාරිකාව විසින් ආවරණය කරන්නේ ඇයි? පින්වත් අහිංසක ස්වාමීන් වහන්සේලාගේ වටිනාකම් දේශපාලනික වශයෙන් හෝ වානිජ වශයෙන් අවභාවිත වන්නේදැයි සාධාරණ සැකයක් පහල වන්නේ මෙවැනි නොගැලපෙන විගඩම් දැකීමෙනි. ආණ්ඩුව පත්වූ වහාම සිදුකල ශ්‍රීමත් දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය, ඉකුත් පෙබරවාරියේ සංවිධානය කළ කළ භාරතයේ ගුජරාට් දේශයෙන් වැඩමවූ සර්වඥ ධාතූන් වහන්සේ කොළඹදී ප්‍රදර්ශනය, ආදියෙන් අපට ගම්‍ය වූයේ, බෞද්ධයාගේ හෝ ශාසනයේ අභිවෘද්ධිය පිනිස එම මහෝත්සව සංවිධානය කරනු වෙනුවට, ජනප්‍රියවාදයෙන් හා මිත්‍යාවෙන් අන්ධවී ඇති, ඕලාරික බෞද්ධයැයි කියාගන්නා පිරස ‘බැලන්ස්‘ කිරීමේ උපාය ලෙස මේ වන්දනීය වස්තූන් අවභාවිත වන බවය.
ඇමරිකානු ජනමනසට මෑත කාලයේදී බරපතලම මතවාදී බලපෑම කළ පුද්ගලයා පූජ්‍ය පඤ්ඤාකර හිමියෝය. මා සිතන පරිදි, ථේරවාදයේ මූලස්ථානය ශ්‍රී ලංකාද්වීපය නම්, අප කළ යුත්තේ අපේරටේ උගත් ධර්මධර විනයධර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසනා හා අනුග්‍රහය මැද, පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ හා තවත් දහස් සංඛ්‍යාත ධර්මධූතයන් වහන්සේලා පුරුදු පුහුනු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමය. මේ අද්විතීය අසාමාන්‍ය ධර්මයේ අවිච්ඡින්න පැවැත්ම තහවුරු වන්නේ එවිටය. ඇමරිකාව හරහා වැඩම කරද්දී අරහත් ධජය, බුදු පුතුන් දුටු, සරල දහම් කරුනක් ඇසූ ඇමරිකානුවන් අතලොස්සක් තුළ හෝ දහම් පිපාසයක් ඇතිවුනි නම්, එය සංසිඳවීම කළ හැක්කේ එවිටය.
යුගමෙහෙවරක නිරත දුර්ලභ ධර්මදූතයාණන් වහන්සේ නමක ලෙසින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් පිළිබඳ මා සිත්හි ඇති ගෞරවය මදකුදු අඩුවන්නේ නැත. එහෙත්, ථේරවාදයේ මූලස්ථානයයි කියාගන්නා මේ රටේ තමන් වහන්සේ දරණ වෙහෙස නිෂ්ඵල නේදැයි උන් වහන්සේටද සිතී ඇති සැටියක්, මේ පින්තූරයෙන් මට පෙනේ.
කිසිවකුටත් රිදවීමට නොලීමි. සමාවන්න!
– චමිල ලියනගේ.