සමෘද්ධිලාභී පවුල් හට රු.5000/ දීමනාව – 2021. 04. 11
Posted on April 11th, 2021

සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය.  

අතිගරු ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,

අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභී හා සමෘද්ධිලාභී පවුල් හට රු.5000/ දීමනාව හදිසි තීරණයෙන් සමෘද්ධි සේවකයින් වෙත වු පීඩාව පිළිබඳව.

සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවට පෙර සමෘද්ධි හා අඩු අදායම්ලාභී පවුල් වෙත රු.5000/ දීමනාවක් ලබා දීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය දැනුම් දෙමින් මුදල් අමාත්‍යාංශයෙහි මාධය අංශය හා අග්‍රාමාත්‍ය  කාර්යාලය විසින් නිකුත් කරන ලද අප්‍රේල් 10 වැනි දිනැති චක්‍රලේඛ අංක PTF/03-21 යන ලිපිය හා බැදේ,

ඒ අනුව ඔබ විසින් ගන්නා ලද හදිසි තීරණය ක්‍රියාවට නැංවීමේදී එය ගම්මට්ටමින් ක්‍රියාවට නංවන සමෘද්ධි සේවකයින් බරපතල ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බව අප සංගමය ඔබ වෙත මෙයින් කාරුණික අවධානයට යොමු කරවමු.

ආර්ථික වශයෙන් පීඩාවට පත් ජනතාවට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් යම් සහනයක් සැලසීමට ආණ්ඩුව ගත් තීරණය අප සංගමය අගය කර සිටින්නෙමු. සෑම වර්ෂයකම අප්‍රේල් 13 හා 14  සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවන බව අප රටට නවමු අත් දැකීමක් නොවන අතර මෙම වැඩ සටහන පූර්ව සැලසුම් කර තිබුනේ නම් සහන අපේක්ෂා කරන ජනතාව හා සමෘද්ධි සේවකයින්ද මෙයින් පීඩාවට පත් නොවනු ඇති බව කණගාටුවෙන් වුවද අප සංගමය මෙයින් පෙන්නා දෙන්නෙමු.

රු.5000/ දීමනාව ලබා දෙන බවට ජනමාධ්‍ය ඔස්සේ පුර්ව ප්‍රචාරය කර ඇතත් දිවයින පුරා මෙම දීමනාව ලබා දීමට රු.බි.20 ආසන්න මුදලක් අවශ්‍ය වන අතර එම මුදල් සමෘද්ධි බැංකු වෙත අප්‍රේල් 12 පෙර ලබා දෙනවාද? මුදල් ලබා දෙන ක්‍රමවේදය කුමක්ද? පිළිබදව මෙතෙක් ප්‍රකාශ කර නොතිබීම තුල සමෘද්ධි බැංකු පරිපාලනය බරපතල අනාගත මුල්‍ය ගැටලුවකට ඇද දමනු ඇති බව අපගේ විශ්වාසය වේ.

තවද #COVID-19 (#කොරෝනා වෛරසය) හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධි සහනාධාරලාභීන් හා අඩු ආදායම්ලාභීන් හට ජීවන තත්වය සමනය කිරීම උදෙසා මීට පෙර කාණ්ඩ 10 වෙත රු.5000/ දීමනාව ලබා දුන් අතර මෙවර එය කාණ්ඩ 07 සීමා කිරීම තුල සමෘද්ධි සේවකයින් හා ජනතාව අතර ගැටුම් නිර්මාණය වන බැවින් මෙම කාර්යය හදිසියේ 12 හා 13 දින සිදු කිරීමට නොහැකි බැවින්, සැලසුම් සහිතව ඉදිරියේදී සිදු කිරීමට අවශ්‍ය කාලය සලසා දෙන ලෙස අප සංගමය සියලු සේවකයින් වෙනුවෙන් මෙයින් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චාමර මද්දුම කළුගේ,
ප්‍රධාන ලේකම්.
සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress