කමාන්ඩෝ සෙබළුන්ට ප්‍රතිකාර කිරීම
Posted on June 16th, 2021

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

යුද හමුදා රෝහලේ සේවය කරන කාලයේදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන් සහ නිලධාරීන් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා මා වෙත යොමු කල බව කිව යුතුය. කමාන්ඩෝ රෙජිමේන්තුවේ එක් නිලධාරියෙකුට මම වසර ගනනාවක් ප්‍රතිකාර කලෙමි. ඔහු පැරෂූට් පිම්මකදී වැරදීමක් සිදු වීමෙන් බිම වැටී ඔහුගේ මොලය තුවාල (TBI – Trumatic Brain Injury)  වී තිබුණි. ඔහු තුල විශාදය මෙන්ම පෞරුෂත්ව වෙනස්වීම් ද සිදු වෙමින් තිබූ අතර මා ඔහු සඳහා මූලික වශයෙන්  ප්‍රජානන ප්‍රතිකාර (Cognitive Therapy ) යොදා ගත්තෙමි. මෙම ප්‍රජානන ප්‍රතිකාර සඳහා මට මාර්ගෝපදේශනය ලැබුනේ වෛද්‍ය ඇලෙක්සැන්ඩර් ලුරියා ගේ සායනික ප්‍රතිකාර පිලිබන විස්තර කියවීමෙනි. වෛද්‍ය ඇලෙක්සැන්ඩර් ලුරියා යනු දෙවන ලෝක මහ යුද්දයේදී මොලය තුවාල වී තිබූ සොල්දාදුවන් සඳහා ප්‍රතිකාර කල ප්‍රකට වෛද්‍යවරයෙකි. මෙම නිලධාරියාගේ සායනික ප්‍රගතිය සෙමෙන් වූවද ඔහු වසර 2-3 ඇතුලතදී යම් සාර්ථකත්වයක් ලබා ගත්තේය.

විශේසඥ වෛද්‍ය කර්නල් එම් මුතුමාල මහතා විසින් මවෙත යොමු කරන ලද තවත් කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරියෙකු  යුද ආතතියට නිරාවරණය වීම නිසා නිතරම තද හිසරදයෙන් පෙළුනේය. ඔහු කමාන්ඩෝ රෙජිමේන්තුවේ ස්වේච්ඡා බළකායේ නිලධාරියෙකු විය. මෙම නිලධාරියා සඳහා EMDR මනෝ ප්‍රතිකාරය ලබා දුන් අතර එමගින් ඔහුගේ තත්වය යහපත් විය.

වරක් කමාන්ඩෝ භටයෙකු මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු ආසන්නයට යාමේදී ත්‍රස්තවාදියා විසින් බෝම්බය පුපුරුවා ගන්නා ලදි. එම පිපිරීම නිසා කිසිදු ශාරීරිකව තුවාලයක් නොවූවද අදාල සෙබලා තුල මනෝ කායික රෝග ලක්‍ෂණ ( Somatoform Disorder) පහල විය. ඔහු නිතරම තදබල පිට කොන්දේ වේදනාවකින් පෙළුනේය. ඔහුව පරික්‍ෂා කරන ලද විශේසඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතා මෙම පිට කොන්දේ වේදනාව සඳහා කායික හේතූන් නොවූයෙන් මනෝ ප්‍රතිකාර සඳහා මවෙත යොමු කරන ලදි. මෙම  කමාන්ඩෝ සෙබලා උදෙසා අප වේදනාව ප්‍රතිග්‍රහ කර ගනිමින් භාවනා කිරීමට යොමු කරන ලදි. යම් ආකාරයක් වේදානුපස්සනා භාවනාවක් වන මෙම ක්‍රමය වර්තමානයේ වැඩි දියුණු කරන ලද්දේ මැසචූසෙස්ට්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ඇමී වොච් හෝල්ට්ස් විසිනි. පසුව මා මහාචාර්‍ය ඇමී වොච් හෝල්ට්ස් සමග ” Treating Chronic Pain With Meditation’ යන මාතෘකාවෙන් පරියේෂණ ලිපියක්ද එළි දැක්වූයෙමි. 

මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් මනෝ ප්‍රතිකාර සඳහා මා වෙත යොමු කරන ලද එක් ජේෂ්ඨ කමාන්ඩෝ සෙබලෙකු යුද ආතතිය නිසා ග්‍රස්තීය අක්‍රමතාවකට (Obsessive Compulsive Disoder) ලක්වී සිටියේය. බොහෝ ක්‍රියාන්විත වලට සහභාගි වී තිබූ ඔහු තොප්පිගල ප්‍රදේශයේ ක්‍රියාන්විතයකදී තුවාල ලැබීය. ඉන් පසු ඔහු තුල ග්‍රස්තීය අක්‍රමතාව ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය විය. මෙම සෙබලාට වසරකට ආසන්න කාලයක් මා ප්‍රතිකාර කලෙමි. ඔහු සඳහා ප්‍රති විශාද ඖෂධ මෙන්ම ප්‍රජානන ප්‍රතිකාර සහ චර්‍යාත්මක ප්‍රතිකාර (Behaviour Therapy ) යොදා ගන්නා ලදින් ඔහු ඉතා සැලකිය යුතු සායනික ප්‍රගතියක් ලැබුවේය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress