ක්‍රීඩාව ගොඩනැගීමේ මූලික අඩිතාලම පාසල් හා ග්‍රාම නිළධාරී කොට්ඨාශ මට්ටමින් ලබාගන්නවා. – අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –
Posted on July 8th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

ක්‍රීඩාව ගොඩනැගීමේ මූලික අඩිතාලම ගතයුත්තේ පාසල්  හා ග්‍රාම නිළධාරී කොට්ඨාශ මට්ටමින්  බවත් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඉතා සමීපව කටයුතු කර නැවත වතාවක් පාසල් ක්‍රීඩාව ආරම්භ කරන බවත්  ඊයේ (07) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල ප්‍රදේශයේ පැවති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා පැවසීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.

පැහැදිලිව කියන්න අවශ්‍යයි ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධව අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ක්‍රීඩා සංගම්වලටත් අපි දැනුවත් කරලා තිබෙනවා කිසිසේත් විනය කඩ කිරීම් වලට සමාව දෙන්න පුලුවන් කමක් නැහැ කියලා. විනය ප්‍රධානකොට ගෙන ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල අපි හදන්න අවශ්‍යයයි.

අම්මා කෙනෙක් දරුවෙක් ක්‍රීඩාවට එවන්නේ බලාපොරොත්තුවක් ඇතිව. අම්මා තාත්තා විශ්වාස කරනවා දරුවා ක්‍රීඩකයෙක් බවට පත් වෙනකොට ඒ දරුවාගේ විනයත් හැදෙයි කියලා.

සමාජයේ ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කරයි කියන විශ්වාසේ ඔවුන්ට තිබෙනවා. ඒ දේවල් ආරක්ෂා කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ.

මේ වෙනකොට අපි මහේල ජයවර්ධන මහතා ප්‍රමුඛ ක්‍රීඩා කවුන්සිලය එකතුවෙලා ඉහළ දක්ෂතා සහිත ක්‍රීඩකයින්ගෙන් සපිරි සංචිතය සමග ගිවිසුම්ගත වෙලා තිබෙනවා. ක්‍රීඩකයින් 60 කට වැඩි ප්‍රමාණයක් මෙම ගිවිසුම හරහා අප සමග සම්බන්ධ වී තිබෙනවා. ඔවුන් සදහා සාධාරණ ගෙවීමක් අපි කරනවා.

ඉදිරියේදී කනිෂ්ඨ සංචිතය ගිවිසුම්ගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ක්‍රීඩාව දියුණු වෙන කොට ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ යොමු වන විට ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ යනවා. එය ක්‍රීඩා ආර්ථිකයේ කොටසක්.

ක්‍රීඩා ආර්ථිකය ගොඩ නගන්න නම් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩ නගන්න අවශ්‍යයයි. අපි පළාත් මට්ටමින් ජයග්‍රහණය කළාම ඇති, ජාතික මට්ටමින් ජයග්‍රහණය කළාම ඇති කියන මානසිකත්වයෙන් මිදිලා ජාත්‍යන්තර ජයග්‍රහණ කරා අපේ ක්‍රීඩකයෝ අපි අරගෙන යන්න ඕනේ.

ක්‍රීඩකයා ක්‍රීඩා කරන කාල සීමාව තුළ තමන්ගේ විනය ආරක්ෂා කරගෙන ආදර්ශමත් ක්‍රීඩකයෙක් බවට පත් වුවහොත් ඔහුට අනාගතය ගොඩනගා ගත හැකි සැළැස්ම අපි හදනවා.

පසුගිය වසර ගණනාව පුරා අපි දැක්කේ නැහැ එවැනි වැඩ පිළිවෙලක්.  ක්‍රීඩක ක්‍රීඩිකාවන් රට වෙනුවෙන් තරග කරලා ජයග්‍රහණ ලබා ගෙන ක්‍රීඩාවෙන් සමු ගත්තාම ඔවුන්ව රැක බලා ගන්න වැඩසටහනක් තිබුණේ නැහැ.

අපි ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය සම්බන්ධ කරගෙන ක්‍රීඩකයින්ගේ වෘත්තීය නිපුණතාවය හා ක්‍රීඩකයාගේ ව්‍යවසායකත්වය වැඩි දියුණු කරන්න මේ සියලුම පැතිකඩවල් ආවරණය කරන්න සැළසුම හදලා තියෙන්නේ. අනාගතයේදී ක්‍රීඩකයින්ට හොද අධ්‍යාපනයක් වගේම ව්‍යවසායකයන් ලෙස රට තුළ කටයුතු කිරීමේ අවස්ථාව උදා කර දෙන වැඩ පිළිවෙළ මේ වන විටත් ආරම්භ කරලා තිබෙනවා.

වර්තමානයේ දෙමව්පියන් දරුවන්ව ක්‍රීඩාවට යොමු කරන්නේ නැහැ ඔවුන්ගේ අනාගතය අදුරු වෙයි කියලා. වර්තමානයේ ක්‍රීඩාවට යොමු වන දරුවන්ගේ අනාගතය මොන වගේ වෙයිද කියලා.

අපි දෙමව්පියන්ගෙන් ආදරයෙන් ඉල්ලන්නේ තමන්ගේ දරුවා ක්‍රීඩාවට යොමු කරන්න.

විශේෂයෙන්ම ක්‍රීඩාවට යොමුවීම තුළ කායික හා මානසික සුවය දරුවාට ලැබෙනවා. කොවිඩ් 19 වසංගතය නිසා ගෙවල්වලට හිරවෙලා ඉන්න දරුවන්ට ගෙදර සිට ව්‍යායාම කරවන්න, තනිවම ව්‍යයාම කරන්න, ශරීර සුවතා කටයුතු සදහා යෙදෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අවසර ලබා දී තිබෙනවා. තනි තනිව සිදු කරන ක්‍රීඩා සදහා පුහුණුවීම් කරන්න අවසර ලබා දීලා තිබෙනවා.

එවිට මානසික සුවය, කායික සුවය සමග සෞඛ්‍යසම්පන්න දරුවෙක් බිහිවෙනවා වගේම අපිට හැකියාව ලැබෙනවා ඒ තුළ ජාත්‍යන්තරය ජය ගත හැකි ක්‍රීඩකයන් බිහි කරන්න.

නිරෝගී සම්පන්න දරුවෙක් බිහි කළොත් පමණයි ලොවක් දිනාගන්න ක්‍රීඩකයෙක් අපිට හදන්න පුලුවන්.

අද ක්‍රීඩාව වෙනදාට වඩා වෙනස්.  ක්‍රීඩා කරන පසුබිම හාත්පසින්ම වෙනස්. අද ක්‍රීඩා ආර්ථිකය රටේ ගොඩ නැගෙනවා. ඒ තුළ තමන් වෘත්තීමය ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා පමණක් නොවෙයි මේ සැළැස්ම තුළ ඔබේ දරුවාට පුලුවන් වෘත්තීය පුහුණුව, කාර්මික පුහුණුව, නිපුණතා සංවර්ධනය හරහා ඉදිරියට යන්න.

ක්‍රීඩකයින්ට ව්‍යවසායකයින්වීමේ අවස්ථාව තිබෙනවා. තමන්ගේ පාසල් අධ්‍යාපනය නොකඩවා කරගෙන යන්න පුලුවන්.

ලෝකය ජයගත් ප්‍රවීණ වෘත්තීමය ක්‍රීඩකයින් ඉන්නවා ක්‍රීඩාවට අමතරව තමන්ගේම ව්‍යාපාර, වෘත්තීන් කරගෙන ආර්ථික අතින් ද ශක්තිමත් වුණ. මේවා ආදර්ශයට ගන්න ඕනේ.

ක්‍රීඩාවට යොමු වන දරුවන්ගේ අනාගතය ජයගැනීමට අවශ්‍ය සැළසුම අපි හදලා ක්‍රියාත්මක කරගෙන යනවා. අපි කළ යුත්තේ දෙමාපියන් සමග එකතුවෙලා දරුවන්ව ක්‍රීඩාව සදහා යොමු කිරීමයි.

ක්‍රීඩාව ගොඩ නගන්න අවශ්‍ය මූලික අඩිතාලම ගත යුත්තේ පාසල් මට්ටමින් හා ග්‍රාම නිළධාරී කොට්ඨාශ මට්ටමින්. අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඉතා සමීපව කටයුතු කරලා නැවත වතාවක් පාසල් ක්‍රීඩාව ආරම්භ කරන්න කටයුතු කරනවා.

ලබන වසරේ ජනවාරි මස සිට ග්‍රාම නිළධාරී කොට්ඨාශ හරහා ගමේ ග්‍රාම නිළධාරී හා සෙසු රාජ්‍ය නිළධාරීන් සම්බන්ධ කර ගනිමින් ක්‍රීඩාවට දක්ෂ තරුණ පිරිස් හදුනා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. කොට්ඨාශ, දිස්ත්‍රික්ක, පළාත් සංචිත හරහා ජාතික දක්වා තරුණ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට ගෙන ඒමේ දීර්ඝකාලීන සැළැස්ම  ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress