අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා කොවිඩ් එන්නත්කරණ ඩිජිටල් කාඩ්පත (Smart Digital Vaccine Certificate) හඳුන්වාදෙයි – අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –
Posted on July 10th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධණ රාජ්‍ය අමාත්‍යංශය.   

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලබාදෙන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් මෙරට ජනතාව වෙනුවෙන් අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා කොවිඩ් එන්නත්කරණ ඩිජිටල් කාඩ්පත (Smart Digital Vaccine Certificate) හදුන්වාදීම ඊයේ (09) දින සෞඛ්‍ය අමාත්‍යංශයේ දී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඒ අනුව එහි පළමු අදියර වශයෙන් මෙම මස ජපානයේ ටෝකියෝ නුවර ඔලිම්පික් උළෙල සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලාංකික කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් කපිල ජීවන්ත මහතා වෙත පළමු කොවිඩ් එන්නත්කරණ ඩිජිටල් කාඩ්පත ලබාදීම අමාත්‍යතුමන් විසින් සිදු කළේය.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය ව්‍යාප්තිය පාලනයට නොයෙකුත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සෞඛ්‍ය අංශ සමග එක්ව එන්නත්කරණ වැඩසටහන් දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

සෞඛ්‍ය අමාත්‍යංශය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසායකත්ව සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව සකස් කොට ඇති අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා මෙම කොවිඩ් එන්නත්කරණ ඩිජිටල් කාඩ්පත (Smart Digital Vaccine Certificate) සඳහා වූ අයදුම් පත්‍රය එන්නත් මාත්‍රා 02ම ලබාගත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට නුදුරේදී ම සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන්  බාගත කරගත හැකියි.

මෙම එන්නත්කරණ ඩිජිටල් කාඩ්පතෙහි එන්නත් ලබාගත් පුද්ගලයාගේ නම, වයස, හැදුනුම්පත් අංකය, එන්නත ලබාගත් දිනය, ලබාගත් එන්නත් වර්ගය සහ කාණ්ඩ අංකය ඇතුළත් වේ.

මෙම කොවිඩ් එන්නත්කරණ ඩිජිටල් කාඩ්පත ශ්‍රී ලංකා රජයෙන් නිකුත් කරන අතර, මෙහි ඇති සුවිශේෂිත්වය නම් කේත ක්‍රමය (QR Code) හරහා ලෝකයේ ඕනෑම තැනක සිට නිරවද්‍යතාවය තහවුරු කරගත හැකිවීමයි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ උද්ගතව ඇති අභියෝගයන්ට මුහුණදෙමින් පිළිපැදිය යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවීමේදී ජාතික සහ ජාත්‍යන්තර  වශයෙන් දෛනික කටයුතුවල නියැලෙන  ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා මෙම කොවිඩ් එන්නත්කරණ ඩිජිටල් කාඩ්පත (Smart Vaccine Certificate) සෞඛ්‍යමය කටයුතුවලදි මනා පහසුවක් ගෙනදෙයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ICTA ආයතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික යෂ්වන්ත් මුත්තෙට්ටුවගම යන මහත්වරුන්  ඇතුළු නිලධාරී පිරිසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධණ රාජ්‍ය අමාත්‍යංශය.    

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress