අග්‍රාමාත්‍යතුමා “අමාදම් සිසිලස” 212වැන්නට එක්වෙයි
Posted on July 23rd, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සෑම පුන් පොහෝ දිනකම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 212 වැන්න ඇසළ  පුන් පොහොය යෙදෙන අද (23) දිනයේ නුවරඑළිය අගමැති මැදුරේදී පැවැත්විණි.

පළමුව අග්‍රාමාත්‍යතුමා මල් ,පහන්, සුවඳ දුම් පූජාකර අනතුරුව ධර්ම දේශනාව සඳහා වැඩම කළ අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උප සභාපති , අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ  සභාපති , උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝ නායක පණ්ඩිත නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන්ට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළේය.

ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදාදීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම  අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව පැවැත්වේ.

මෙම ධර්ම දේශනා මාලාව බාධක ,කම්කටොලු සහ  ජීවිත තර්ජන මැද අග්‍රාමාත්‍යතුමා සහ අග්‍රාමාත්‍ය ආර්යාව විසින් අඛණ්ඩව පවත්වාගෙන පැමිණි බව දේශකයානන් වහන්සේ ධර්මදේශනාව ආරම්භයේදීම කරුණු පෙන්වා දුන්හ.

“ඔබතුමා මේ රටේ රාජ්‍ය පාලකයා වශයෙන් මේ රටේ අසරණ දුක්විදින අප්‍රමාණ මිනිසුන්ගේ සියලු දුක්ඛ  දෝමනස්සයන් දරාගෙන මේ රටේ කාටවත් හිතන්න බැරි තරම් මහා විශාල පරිවර්තන යුගයක් ආරම්භ කරලා අදත් ඒ යුගයේ අරුණාලෝකය විඳින වකවානුවක ලෝකයම වසංගත තත්ත්වයකින් වෙළාගෙන තිබෙන කාල වකවානුවක  මේ රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීමට දිවා රාත්‍රී දෙකේම අතිගරු ජනාධිපතිතුමාත් සමඟ අත්වැල් බැඳගෙන කරන උත්කෘෂ්ඨ සේවය මේ  ඉතිහාසයේ කිසිදිනෙක  නොමැකෙන සේවාවක්.

 ඒ වගේම තමයි අපි දන්නවා විපත් ඇතිවන සෑම කාලයකදීම  ඔබතුමා තමයි ඒ හැමදේකටම මුහුණ දුන්නේ. තිස්  අවුරුද්දක් කාටවත් අවසන් කරන්න බැරිවුණු යුද්ධය සාර්ථකව අවුරුදු තුනයි මාස ගණනකින්  ඔබතුමා නිමාවට පත්කළා. ඒවගේම තමයි කාටවත් හිතාගන්න බැරි තරම් සංවර්ධන යුගයක්, අපිට හීනයක්ව තිබුණ ඔය අධිවේගී මාර්ග ඒ වගේම ගුවන්තොටුපොළවල්, වරායවල් වගේම මේ රටේ දුප්පත් අසරණ මිනිස්සුන් වෙනුවෙන් කරපු මහා උත්කෘෂ්ඨ සේවය  සදා අනුස්මරණීය  මහා උත්තුංග සේවාවක්” යැයි නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියෝ සිහිපත් කළහ.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පැවති අමාදම් සිසිලස” 212 ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අමාත්‍ය සී.බී.රත්නායක, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහත්වරු  ඇතුළු සීමිත පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress