මෙවර ඇසළ පුර පසළොස්වක පොහෝ දින යොවුන් ශීල සමාධි ජාතික වැඩසටහන බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේදී.
Posted on July 23rd, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උදාර සංකල්පයක් අනුව ක්‍රියාත්මක යොවුන් ශීල සමාධි ජාතික වැඩසටහන් මාලාවේ හත්වැනි වැඩසටහන මෙවර ඇසළ පුර පසළොස්වක පොහොය යෙදුණු අද (23) දින බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේදී පැවත්විණි.

තරුණ පරපුර සුගතිගාමී කරවීම පෙරදැරි කරගනිමින් රට පුරා සියලු විහාරස්ථානවල සෑම පසොළොස්වක පොහොය දිනකදී ම තරුණ තරුණියන් ශීල සමාධියෙහි පිහිටුවීම හා දාන ශීල භාවනා වැඩසටහන්වලට යොමු කිරීම යොවුන් ශීල සමාධි  ජාතික වැඩසටහනේ අභිමතාර්ථයයි.

ඒ අනුව, තරුණ පිරිස සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව අද පෙරවරු 06.00ට බෙල්ලන්විල රාජ මහා විහාරාධිකාරි ශාස්ත්‍රපති බොරලැස්ගමුවේ පේමරතන හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

පෙ.ව.06.30 සිට පෙ.ව.07.00 දක්වා බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති, කඩුගන්නාව පාරමිතා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ හා සිංගප්පූරුවේ ප්‍රධාන සංඝ නායක, අතිපූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් විසින් පොහෝ දින අනුශාසනාව සිදුකළහ.

අනතුරුව පෙ.ව.08.00 සිට පෙ.ව. 08.50 දක්වා ගෞරවාර්හ ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමි සහ ගෞරවාර්හ මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ධර්ම සාකච්ඡාව පැවැත් වූහ.  මෙම ධර්ම සාකච්ඡාව මහාචාර්ය ආරියපාල පෙරේරා මැතිතුමන්ගේ මෙහෙයවීමෙන් පැවත්වුණු අතර, මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මැතිතුමන් ද ඊට සහභාගී විය.

ඉන් අනතුරුව පෙ.ව.09.00 සිට පෙ.ව. 10.00 දක්වා සිල් සමාදන් වූ පිරිසට අරලියගහ මන්දිරයේ සිට විසුරුවා හරින ලද ධර්ම දේශනාවට සවන්දීමේ අවස්ථාව හිමිවිය.

දිවුල්පිටිය ශ්‍රී බෝධිරාජාරාමාධිපති ගෞරවාර්හ ශ්‍රාස්ත්‍රපති ඕකන්දයායේ බුද්ධසිරි හිමියන් විසින් පෙ.ව. 11.00 ට සිල් සමාදන් වූ පිරිස සමග බුද්ධ පූජාව තැබුහ.

ප.ව.01.15 සිට ප.ව. 02.15 දක්වා සාරනාත් බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ගෞරවාර්හ තලාවේගම සද්ධාතිලක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් භාවනා වැඩසටහන පැවැත්වූහ.

ප.ව.03.00 සිට ප.ව. 04.00 දක්වා ධර්ම සංග්‍රහය ඇසුරින් දහම් පැන විසඳුම් හරහා සිල් සමාදන් වූ පිරිස සමග එක්ව ධර්ම ගැටලු හා පිළිතුරු පිළිබඳ සාකච්ඡා කිරීම ගෞරවාර්හ ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමි විසින් සිදුකළහ.  රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සභාපති එම්.බී.කේ. දිසානායක මැතිතුමන් සහභාගි විය.

ප.ව.04.00 සිට 05.00 දක්වා ඉංග්‍රිසි මාධ්‍යයෙන් ධර්ම දේශනය රත්මලාන පරමධම්මචේතිය  පරිවේණාධිපති, ගෞරවාර්හ ආචාර්ය මාඉටිපේ විමලසාර නායක හිමිපාණන් විසින් සිදුකළහ.

ප.ව.05.00 සිට 05.30 දක්වා සිල් සමාදන් වූ පිරිස දම්සක්පැවතුම් සූත්‍ර දේශනාවට සවන්දීමේ අවස්ථාවත් හිමි විය.

ප.ව.05. 30 සිට 06.00 දක්වා වූ ආශිර්වාද අධිෂ්ඨාන පුජාවෙන් අනතුරුව මෙවර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් බෙල්ලන්විල රජ මහා විහාරයේ පැවති යොවුන් ශීල සමාධි ජාතික වැඩසටහන නිමාවට පත්විය.

මෙවර බෙල්ලන්විල රජ මහා විහාරයේ පැවති යොවුන් ශීල සමාධි ජාතික වැඩසටහන දැහැමි සමාජයකට මං පෙත් විවර කිරීමේ අදිටනින් සියලුම කොවිඩ් – 19 මාර්ගෝපදේශවලට සහ පවතින සංචරණ සීමාවලට යටත්ව පැවත්විණි.

මෙම යොවුන් ශීල සමාධි ජාතික වැඩසටහන බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික තරුණ සේවා සභාවේ මෙහෙයවීමෙන්  රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සම්බන්ධීකරණය ඇතිව ජාතික වෙළඳ හා ව්‍යවසායකත්ව සම්මේලනයේ ක්‍රියාකාරී දායකත්වයයෙන් සහ පහන්සිත් පදනමේ සහය අනුග්‍රහය ඇතිව යොවුන් ශීල සමාධි පදනමේ සංවිධායකත්වයෙන් සිදු විය.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress