ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින්ගේ විනය පරීක්ෂණයක් අද (25) අනුරාධපුර වයිට් හවුස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
Posted on July 25th, 2021

තිසර සමල් – අනුරාධපුර

අනුරාධපුර දිස්ත්‍රික්කයේ විනය කඩ කල බවට චෝදනා ලක් වූ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින්ගේ විනය පරීක්ෂණයක් අද (25) අනුරාධපුර වයිට් හවුස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විනය කඩ කළ බවට බවට චෝදනාවන්ට ලක් ව ඇති පළාත් පාලන නියෝජිතයින් මෙම විනය කමිටුවට කැඳවා ඔවුන්ගෙන් කරුණු විමසීම සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නායක, කළාවැව ආසන සංවිධායක දුමින්ද දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හොරොව්පතාන ආසන සංවිධායක හිටපු අමාත්‍යය වීරකුමාර දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවච්චිය ආසන සංවිධායක හිටපු අමාත්‍යය තිස්ස කරල්ලියද්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බටහරි ආසන සංවිධාක හිටපු ප්‍රාදේශීය සභා සභාපති නලීන් දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නැගෙනහිර ආසන සම සංවිධායකවරුන් වන හිටපු නියෝජ්‍යය නගරාධිපති ප්‍රේමසිරි හෙට්ටිආරච්චි, හිටපු ප්‍රාදේශීය සභා සභාපති ඩී.පී බන්දුලසේන යන මහත්වරුන් හා විනය කඩ කිරීමේ චෝදනාවට ලක් වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්  සහභාගී වූහ.

විනය කමිටුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින් දිසානායක මහතා,

අද දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව අනුරාධපුරයට පැමිණියා, පසුගිය කාළවකවානුව තුළ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ කටයුතු නොකළ මන්ත්‍රීවරුන් වෙනුවෙන් විනය පරීක්ෂණ සඳහා කැඳවලා තිබුණා,එම මන්ත්‍රීවරුන්ට පවතින චෝදනා සම්බන්ධයෙන් විභාගයට ගැනුනා.

ජාතික සංවිධායකවරයා විදිහටත්, දිස්ත්‍රික් නායකයා විදිහටත්, සංවිධායකවරුන් විදිහටත් අපේ වගකීමක් නෙමෙයි ඔවුන්ට ගන්නා විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණ ගැනීම,ඒක පක්ෂයේ විනය කමිටුව තමයි තීරණය කරන්නේ, ඒක බොහෝම ස්වාධීනව කෙරෙන කටයුත්තක්, අපි බලාගෙන ඉන්නවා විනය කමිටුවේ තීරණය මොකක්ද කියලා, සංවිධායකවරුන් විදිහට, පක්ෂයේ නියෝජතයෝ විදිහට අපි පක්ෂය පැත්තෙන් පහුගිය කාළවකවානුව තුළ, ඒ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් සහ පක්ෂයට ලබා දුන් දායකත්වය පිළිබඳව  අපේ පැත්තෙන් අපි කරුණු දැක්වූවා අද, රට පුරාම මෙය ක්‍රියාත්මක කෙරෙනවා.අපි මධ්‍යම කාරක සභාව විදිහට තීරණය කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ දැනටත් කටයුතු කරන සියලු මන්ත්‍රීවරුන් අපි ආරක්ෂා කර ගත යුතුයි කියන ගමන්ම,  හැැබැයි කවුරුන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මේ වෙන කොට කටයුතු කරන්නේ නැත්නම් ඒ අවස්ථාව  තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම අපේක්ෂකයෙකුට ලබා දිය යුතුයි කියන තීන්දුවේ තමයි අපි ඉන්නේ.

හෙට (25) පෙරවරු 11.00 ට ජනාධිපතිතුමන් සමඟ සාකච්ජාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව ලබා දී තිබෙනවා.හෙට (25) උදේ පක්ෂ සභාපතිවරයා සමඟ සාකච්ජා කරනවා මොනවාද අපි සාකච්ජා කරන්නේ කියලා. පොදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණත් එක්ක සන්ධාන ගතවීමේදී , අපි ගිවිසුම් කීපයකින් ගිවිසුම් ගත වෙනවා, එකක් අපි පොදු ජන පෙරමුණත් එක්ක,ඒ වගේම එවකට ජනාධිපති අපේක්ෂකතුමා විදිහට වර්ථමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ ගිවිසුම් ගත වෙලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය ජනාධිපතිතුමන්ට සහය දක්වන්නේත්, පොදු ජන පෙරමුණත් සමඟත් සන්ධාන ගත වෙන්නේත්, ඒ නිසා මේ එකඟතාවයන් පදනම් කර ගෙන තමයි මේ සාකච්ජාවන් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ.

අපිට ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිම අවශ්‍යතාවක් නෑ,අපි හදපු ජනාධිපතිතුමා,ඒ වගේම 2/3 ක පාර්ලිමේන්තු බලයක් ලබා ගන්නත්, ජයග්‍රහණය කරපු අය පමණක් නෙමෙයි, පරාද වුණ අපේ සංවිධායකවරුන්, මන්ත්‍රීවරුන් පවා දායක වෙලා තියෙනවා.ඒ නිසා අපි හදාගත්ත ආණ්ඩුවක් පෙරලන්න හෝ  වෙනස් කරන්න කිසිම අවශ්‍යතාවක් නෑ, නමුත් අපිට වගකීමක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1994 ඉඳන්  විශාල කාළයක් ආණ්ඩු කරපු පක්ෂයක් විදිහට මේ සන්ධානය ඇතුලේ රට හරි පාරට ගෙනියන්න හා ආණ්ඩුව හරි පාරට ගෙනියන්න එකේ වගකීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙනවා.ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට හැම තිස්සේම අදහස් දක්වන්නේ, යම්කිසි කාරණාවකදී අඩුපාඩුවක් පෙන්වලා දෙන්නේ, එහෙම නැත්නම් අඩුපාඩුවක් ගැන කථා කරන්නේ ආණ්ඩුව විවේචනය කිරීමක් හෝ ආණ්ඩුවෙන් එළියට බැහීමක් නෙමෙයි.ආණ්ඩුවේ පාර්ශවකාරයෙක් විදිහට අපිට  ආණ්ඩුව නිවැරදි මාර්ගයේ ගෙන යාමේ වගකීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙනවා.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමන්ගේ නිවසේ දැරියක් පිලිස්සී මිය යාම හා එම දැරිය අපයෝජනයට ලක්වීමේ සිද්ධිය ගත්තම, ඒක රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ වැඩ කරන කෙනාද? දුමින්ද දිසානායකගේ නිවසේ වැඩකරන කෙනාද කියන එක මත නෙමෙයි තීන්දු ගන්න ඕන, විශේෂයෙන්ම බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවන්න පුලුවන්කමක් නෑ,ඒ ආකාරයෙන් කවුරු මෙහෙකාර සේවයේ හිටියත් ඒ අයට ලිංගික හෝ වෙනත් ආකාරයක හිංසනයක් සිදු කරන්න කිසිවකුටවත් අයිතියක් නෑ,ඒ නිසා රිෂාඩ් බදියුදීන් කියන නමත් එක්ක මේක පටලවා ගන්නේ නැතිව සාධාරණය, නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපි කියනවා.ඒක රිෂාඩ් බදියුදීන්ටත් පොදු වෙන්න ඕන, දුමින්ද දිසානායකටත් පොදු වෙන්න ඕන, ඒක සාමාන්‍ය මනුස්සයකුටත් පොදු වෙන්න ඕන,ඒ සාධාරණය ඒ දරුවන් වෙනුවෙන්, මෙහෙකාර සේවය කරන දරුවන් වෙනුවෙන් ඒ නීතියේ සාධාරණය ඉෂ්ඨ විය යුතුයි.ඉතිහාසයේ ප්‍රභලයන්ට, ආණ්ඩු පක්ෂයේ ඉන්න කොට නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා චෝදනාවක් තියෙනවා.හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පුද්ගලයා මත නෙමෙයි නීතියේ සාධාරණය සියලු රට වැසියන්ට දෙන්න ජනාධිපතිතුමන් කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress