ජාතික ක්‍රීඩා දින සුබාශිංසනය
Posted on July 30th, 2021

නාමල් රාජපක්ෂ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

සමස්ත ශ්‍රී ලංකාව නියෝජනය වන පරිදි නව ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීමේ උදාර පරමාර්ථය පෙරදැරිව 2021 වසරේ සිට ප්‍රකාශයට පත් කළ ජාතික ක්‍රීඩා දිනය” වෙනුවෙන් සුබාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.

අභියෝග හමුවේ ලොව ජය ගැනීමට ක්‍රීඩාවෙන් ලැබෙන දායකත්වය අති මහත්ය. ජය පරාජය විඳ දරාගන්නා ශක්තිමත් මිනිසෙකු නිර්මාණය කිරීම පමණක් නොව නිරෝගීමත් පුරවැසියෙකු රටේ අනාගතය වෙනුවෙන් නිර්මාණය කිරීම ද අප සැමගේ වගකීමකි.

ඩන්කන් වයිට් මහතා ඔලිම්පික් තරගාවලියක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනාදුන් දිනය සිහිපත් කරමින් ජාතික ක්‍රීඩා දිනය” ප්‍රකාශයට පත් කිරීමට ලැබීම මා ලැබූ භාග්‍යයක් කොට සළකමි.

ජාතික ක්‍රීඩා දිනය මගින් රටට මෙන්ම ලෝකයට පණිවුඩයක් ගෙන යා හැකි වන්නේ අදාළ දිනය තේමා කරගනිමින් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා අප ඉටු කරන ලබන සුවිශේෂී කාර්යය භාරයේ ප්‍රතිඵල දීර්ඝ කාලීනව බිම් මට්ටම දක්වා ගලා යාම තුළය.

ක්‍රීඩාවට ලැදි නිරෝගිමත් ජනතාවක් රටට බිහිකිරීම මෙන්ම වෘත්තිය මට්ටමින් ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට වටිනාකමක් ලබාදීම අප සතු වගකීමකි. ඒ වෙනුවෙන් පසුගිය කාලය තුළ පෙර නොවු විරූ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අපට හැකිවිය.

එපමණක් නොව ක්‍රීඩාව සම්බන්ධයෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීම උදෙසා ඒ සම්බන්ධයෙන් හසල අත්දැකීම් ලත් පිරිසක් සම්බන්ධ කරගැනීමට හැකිවීම ද මේ දක්වා අප ලබා ඇති ජයග්‍රහණයකි.

එක් ක්‍රීඩාවක් වෙනුවට ක්‍රීඩා රැසක් ජනතාව අතර ජනප්‍රිය කිරීමට අපි පසුගිය කාලය තුළ අඩිතාලම දමා ඇත්තෙමු. එහි ප්‍රතිඵල අනාගතයේ දී රටට හිමිවනු ඇත.

ඒ නිසා ජනප්‍රිය නොවන ඇතැම් තීන්දු තීරණ මතින් වුවද ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව අද දිනයේ මම ඔබට සිහිපත් කරමි. 

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලව අනුව යමින් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමට ඇවසි දිරි දෙන අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයට මාගේ ප්‍රණාමය පුද කිරීමට ද මෙය අවස්ථාවක් කරගමි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ක්‍රීඩා සම්බන්ධයෙන් විවිධ සීමා පැනවී තිබිය දී වුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවෙමින් ක්‍රීඩාවන්හි නිරතවීම නිරෝගී ජාතියකට අත්‍යවශ්‍ය වේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ක්‍රීඩාවේ උන්නතිය උදෙසා විශාල කැපකිරීමක් කරන පුහුණුකරුවන් ඇතුළු සියලු දෙනා සිහිපත් කිරීමට ද මම මෙය අවස්ථාවක් කරගමි. ඔබගේ කැපකිරීම් මා හොඳින් දන්නා අතර ඒ වෙනුවෙන් කළ යුතු කාර්යය භාරය නිසි ලෙස ඉටු කිරීම මම ප්‍රමුඛත්වයෙහි ලා සළකමි.

රටක් නිරෝගී ජාතියක් ලෙස ලොව විරාජමාන කිරීම උදෙසා ජාතික ක්‍රීඩා දිනය ඔස්සේ කරනු ලබන සියලු අභිමතාර්ථයන් සඵල වේවා! යැයි සුබ ප්‍රාර්ථනා කරමි.

නාමල් රාජපක්ෂ

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress