ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසික දරුවන්ට රුපියල් මිලියන 21ක් වටිනා පරිගණක 700ක් සහ අන්තර්ජාල සබඳතා ලබාදෙයි.
Posted on September 15th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය.

ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසික දරුවන්ට රුපියල් මිලියන 21ක් වටිනා පරිගණක 700ක්  සහ අන්තර්ජාල සබඳතා ලබාදෙයි.

රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශය ම එක්ව දරුවන්ගේ අනාගතය පිළිබදව විශ්වාසයක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුයි.

– තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –

ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසික දරුවන්ට පරිගණක හා අන්තර්ජාල පහසුකම් ලබාදීමේ සංකේතාත්මක අවස්ථාවට එක්වෙමින් අද (15) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

පවතින වසංගත තත්ත්වය හමුවේ දරුවන්ට මාර්ගගත අධ්‍යාපන අභියෝගය ජයගැනීමට සහායවීම සහ දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම පරිගණක සහ අන්තර්ජාල පහසුකම් ලබාදීම සිදුවේ.  

ඒ අනුව, මෙරට සියලු ම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසිකව සිටින දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් පුඵල් කිරීම  සඳහා රුපියල් මිලියන 21ක් වටිනා පරිගණක 700ක්  සහ අන්තර්ජාල සබඳතා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත සංකේතාත්මකව ප්‍රදානය කිරීම අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී  සිදුවිය.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා ව්‍යාපාරික ප්‍රජාවෙන් කළ ඉල්ලීමකට අනුව Star Lanka Shipping සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කැප්ටන් ඒ.බෙනාජි මහතාගේ සම්බන්ධීකරණයෙන් පහත ආයතන විසින් මෙම සද්කාර්යය උදෙසා සිය දායකත්වය සපයා ඇත.

  • Star Lanka Shipping Pvt Ltd                                 
  • Maersk Lanka Pvt Ltd
  • GTB Steel Cooperation Pvt Ltd
  • Trident Cooperation Pvt Ltd
  • Fairfirst Insurance Pvt Ltd
  • Viswak Plywood Pvt Ltd
  • Union Assurance Pvt Ltd
  • A One Computers Pvt Ltd

මීට අමතර ව ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ සියලු ළමා සංවර්ධන මධ්‍යස්ථාන වෙත අන්තර්ජාල සබඳතා ලබාදීම සිදුවිය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

ඔබ මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ ලබා දුන්නු දායකත්වය පිළිබඳ ව අපි සතුටු වෙනවා ඒ වගේම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා මෙයට සම්බන්ධ වූ පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ප්‍රජාවට.

අපි නිරන්තරයෙන් කතා කරනවා රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් එකට එක්ව කටයුතු කරන්න ඕනේ කියන කාරණය පිළිබඳ ව.

ඒ වගේම ප්‍රායෝගික ව එහි ප්‍රතිඵල අපේ දරුවන් වෙත යනවද නැද්ද කියන කාරණය පිළිබදවත් නිරන්තරයෙන් අපි සාකච්ඡා කරනවා.

අද පියල් නිශාන්ත ගරු අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයත්, පෞද්ගලික අංශයේ ව්‍යාපාරික පිරිසත් එකතු වෙලා මේ කරන්නා වූ කර්තව්‍යය අවශ්‍ය ම මොහොතක අපේ දරුවන්ට ලැබුණු මහගු අවස්ථාවක් ලෙස අපි විශ්වාස කරනවා.

තොරතුරු තාක්ෂණය සමග නවීකරණය එකතු ව අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරගෙන යන අවස්ථාවක ඒ සදහා අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය විය යුතුයි කියන තැන අපි ඉන්නවා.

මේ වැඩසටහන හරහා දිවයින පුරා පිහිටා තිබෙන ළමා සංවර්ධන මධ්‍යස්ථාන 379 ක නේවාසික ව අධ්‍යාපනය ලබන දරුවන් 10,632 කට සෘජු ප්‍රතිලාභ ලැබෙනවා. කොවිඩ් 19 වසංගතයත් එක්ක දරුවන්ගේ මග හැරුණු අධ්‍යාපන කටයුතු නැවත සාමාන්‍ය තත්ත්වයට රැගෙන ඒමට මෙය වඩාත් ප්‍රයෝජනවත් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග අද අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස ගරු අධ්‍යාපන ඇමතිතුමා සහ රාජ්‍ය අමාත්‍යතුමන්ලා විශාල අභියෝගවලට මුහුණ පා තිබෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වෙද්දි වසර එක හමාරක පමණ කාලයක් පාසල් වහලා තිබෙන්නේ.

සාමාන්‍ය පෙළ, උසස් පෙළ ලියන දරුවන්ට මොකද වෙන්නේ. ප්‍රතිඵල කවදාද එන්නේ. විශ්ව විද්‍යාලයට කවදාද යන්න පුලුවන් වෙන්නේ. මේ දරුවන්ගේ අනාගතයට මොකද වෙන්නේ. එතනින් ඊට පස්සේ ප්‍රශ්නෙ එන්නේ මට.

පාසල් අධ්‍යාපනය අවසන් කරන දරුවා තරුණයෙක් බවට පත් වුණාම මොකක්ද කරන්නේ. වෘත්තීය පුහුණුවට, කාර්මික පුහුණුවට, විදේශ රැකියා වෙළදපොලට යොමු කරනවාද, ව්‍යවසායකයෙක් බවට පත් කරනවාද යනුවෙන් හැමදෙනාගේ ම අනාගතය පිළිබදව අවිශ්වාසයක් ගොඩ නැගුණු කාල සීමාවක් මේ ගෙවෙන්නේ.

ගෝලීය වසංගතයක් හරහා එවැනි අවිශ්වාසයක් ගොඩනැගෙනකොට රජයත්,  පෞද්ගලික අංශයත් එකට එකතු වෙලා ඒ දරුවන්ගේ අනාගතය පිළිබදව විශ්වාසයක් ගොඩ නගන්න අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කළ යුතුයි.

අද මෙම වැඩසටහන එවැනි කාර්යයක්. අධ්‍යාපනය හදාරන ළමුන් 10,632 කට මෙමගින් ප්‍රතිලාභ ලැබෙනවා වගේම ඒ තුළ මේ රටේ අනාගතය ගොඩනගන්න පුලුවන් අවකාශය නිර්මාණය වෙයි කියලා අපි විශ්වාස කරනවා.” යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරුන් සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සුධීර නිලංග විතාන යන මහත්ම මහත්මීන් ඇතුඵ නිලධාරි පිරිසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress