මෙවර අය වැයෙන් වැඩි මුදල් ප්‍රමාණයක් ජීවනෝපාය සංවර්ධනයට වැය කර ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් බිහිකරමින් ජාතික ආර්ථිකය නගා සිටුවීම අපේ ඉලක්කයයි.
Posted on September 27th, 2021

-තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –

2022 වර්ෂයේ අය වැය සම්පාදනය කිරීම සදහා ග්‍රාමීය මට්ටමේ සංවර්ධන යෝජනා ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා මාලාවක් තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) දින පැවැත්විණි.

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, මාතර, දෙවිනුවර, හක්මන යන ඡන්ද බල ප්‍රදේශ ආවරණය වන පරිදි ස්ථාන කිහිපයකදී මෙම සාකච්ඡා සංවිධානය කර තිබූ අතර, මේ සදහා ප්‍රදේශයේ මහා සංඝරත්නය, පළාත් පාලන මන්ත්‍රීවරුන්, තරුණ සංවිධාන, ස්වේච්ඡා සංවිධාන ගණනාවක නියෝජිතයින් සහභාගී වී සිටියහ.

2022 සදහා ප්‍රතිපාදන වෙන් කිරීමේදී සංවර්ධනයේ ප්‍රතිලාභ කඩිනමින් මහජනතාව වෙත ලබා දීම උදෙසා ප්‍රාදේශීය සංවර්ධනය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කිරීමට රජය තීරණය කර ඇති බව මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ විය.

වත්මන් රජය විසින් මෙවර ඉදිරිපත් කරන 2022 වර්ෂයට අදාල අය වැය යෝජනාවලිය වඩාත් සුවිශේෂී වන්නේ ග්‍රාමීය මට්ටමින් සිදු කළ යුතු සංවර්ධන යෝජනා සදහා ප්‍රමුඛත්වය දී රට තුළ නව ව්‍යවසායකයින් බිහි කිරීම වෙනුවෙන් වැඩි මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීම බව අමාත්‍යවරයා සදහන් කළේය.

ඒ අනුව ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවා ජාතික ආර්ථිකයට ශක්තියක් ලබා දීමට රට තුළ දේශීය ව්‍යවසායකයින් බිහි කර නිෂ්පාදන ආර්ථිකයක් හරහා රට  ස්වයංපෝෂිත කිරීමේ බලාපොරොත්තුව ඇතිව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා  නව රජයේ 2022 වර්ෂයට අදාල අය වැය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බව මෙහිදී ප්‍රාදේශීය නියෝජිතයින් දැනුවත් කළේය.

නව රජය පත්වී ඉතා කෙටි කලකින් කොවිඩී 19 දරුණු ගෝලීය වසංගතයට මුහුණ දුන් අතර, එහි ව්‍යාප්තිය වැලැක්වීම සදහා ප්‍රමුඛත්වය ලබාදෙමින් සෞඛ්‍ය අංශ සමග සහයෝගයෙන් වැඩ කරන කළ බවත්,

ලෝකයේ එන්නත්කරණය අතින් ප්‍රමුඛ ස්ථානයක රැදෙමින් සාර්තක ලෙස රට නැවත සාමාන්‍යකරණය දක්වා ගෙන ඒමට වර්තමාන රජයට හැකි වූ බවත් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන ලදි.

කොවීඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද රටේ සංවර්ධන ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට කරගෙන ආ රජය 2022 වසරේදී ග්‍රාමීය සංවර්ධනය මෙන්ම මහා පරිමාණ ව්‍යාපෘති රැසක් සමග සුවිශාල සංවර්ධන ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට සැළසුම් සකස් කර ඇති බව මෙම සාකච්ඡාව අතරතුර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කොරෝනා වසංගතයත් සමග අඩාලව ඇති ග්‍රාමීය සංවර්ධනය නැවත නගා සිටුවීමට පළාත් පාලන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයින් සදහා තමන්ගේ කොට්ඨාශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙවර අය වැයෙන් ලක්ෂ 40 ක මුදලක් ලබා දීමට කටයුතු කර ඇති බවත්,

මීට අමතරව දිවයින පුරා ග්‍රාම සේවා වසම් සියල්ලටම ලක්ෂ 30 බැගින් ප්‍රතිපාදන හිමි වන අතර එම ප්‍රතිපාදන ගමේ පොදු කටයුතු සංවර්ධනය හා ව්‍යාවසායකයින් නගා සිටුවීමට ප්‍රමුඛත්වය ලැබෙන ලෙස යෝජනා ඉරිදිරිපත් කරන ලෙස ද මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයෙකු හට තමන්ගේ මැතිවරණ බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සදහා ලක්ෂ 1000 ක මුදලක්ද, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු උප සභාපතිවරයෙකු හට රුපියල් ලක්ෂ 200 ක මුදලක්ද වෙන් වන බව මෙහිදී ප්‍රකාශ විය.

ඒ අනුව කොවිඩ් 19 වසංගතය තුළින් පැන නැගුණු කෙටි කාලීන අභියෝග සදහා විසදුම් සෙවීම මෙන්ම ආර්ථික වර්ධනය සදහා ප්‍රාදේශීයව පවතින බාධාවන්ට විසදුම් ලබා දීමට මෙමගින් අපේක්ෂා කරන බවත්,

දැඩි මූල්‍ය විනයක් සහිත ක්‍රමවත් ආර්ථික කළමනාකරණයක් තුළ සියලු අභියෝග ජය ගැනීම ඒකායන අධිෂ්ඨානය කරගනිමින් සංවර්ධන වැඩසටහන් සදහා ප්‍රතිපාදන වෙන් කොට ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ බලාපොරොත්තුව බවත්,

ඒ අනුව පහත සදහන් ක්ෂේත්‍ර ඔස්සේ ග්‍රාම නිළධාරී වසම්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අය වැය යෝජනා ලබා දීමේ සාකච්ඡාවේදී ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය දැනුවත් කරන ලදි.

ජීවනෝපාය සංවර්ධනයට 40% ක් ද, පොදු යටිතල පහසුකම් සංවර්ධනයට 40% ක් ද, පරිසර හා තිරසර සංවර්ධනටය 10% ක් ද, සමාජ සුභසාධන හා සමාජ සංවර්ධනය වෙනුවෙන් 10% ක් ද ලෙසින් මෙවර අය වැයෙන් වෙන් වන මුදල් ප්‍රතිපාදන යෙදවීමට කටයුතු සැළසුම් කර ඇති අතර,

මෙවර අය වැයෙන් වෙන් වන මුදල් ප්‍රතිපාදන යන්ත්‍ර සූත්‍ර/ උපකරණ බෙදා දීම සදහා වැය නොකර, පුළුල් ලෙස අධ්‍යනය කර සකස් කරන ලද ජීවනෝපාය ව්‍යාපෘති යෝජනා සදහා ලබා දීමට කටයුතු කරන ලෙස මෙම සාකච්ඡාවට එක් වූ ග්‍රාමීය නියෝජිතයින්ට අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

මෙහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

පක්ෂයක් විදියට ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ ලබා ගත හැකි සියලුම ජයග්‍රහණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත්තා.

සමූපකාර ඡන්දයේ සිට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් සමග රටේ විධායක ජනාධිපති දක්වා බලයක් ජනතාව අපිට ලබා දී තිබෙනවා.

ඒ ජනතා විස්වාශය රකින්න අපි බැදී සිටිනවා. බිද වැටුණු ආර්ථිකය නගා සිටුවා ජනතාවට වූ පොරොන්දු ඉටු කරලා තමයි අපි ඊලග මැතිවරණයට යන්නේ. එම සංවර්ධන ඉලක්ක ජය ගැනීමට අපිට හොද සැළැස්මක් තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යාංශ 10 ක් ඒකාබද්ධ වෙලා ග්‍රාමීය ආර්ථිකය ගොඩ නගන්න සුවිශාල කාර්යයක් සිදු කරනවා. ව්‍යාපෘති වාර්තා සකස් කර ඒ ඒ ග්‍රාම නිළධාරී කොට්ඨාශ වල එම වැඩසටහන් ක්‍රියාත්මක කර අධීක්ෂණ කටයුතු සිදු කරගනෙ යනවා.

ව්‍යාපාර ආරම්භ කිරීම සදහා ලක්ෂ 05 ක් අවශ්‍යනම් එම මුදලද, ලක්ෂ 15 ක් අවශ්‍යනම් එම මුදලද අපි ලබා දෙන්න කටයුතු සූදානම් කර තිබෙන්නේ. වඩා හොද ව්‍යාවසායකයෙක් බිහි කරන්න අවශ්‍ය මුල්‍යමය ශක්තිය අඩුවක් නොමැතිව අපි ලබා දෙන්න සූදානම්.

මෙම වැඩපිලිවෙල හරහා ග්‍රාමීයව ව්‍යවසායකයින් බිහි වෙනවා වගේම ජාතික ආර්ථිකයට ද එය ශක්තියක් වෙනවා.

එක් ග්‍රාමසේවා කොට්ඨාශයකට එක් ව්‍යවසායකයෙක් බිහි වුණොත් අලුතින් ව්‍යවසායකයින් 14,000 ක්  රට තුල බිහි වෙනවා. ඔවුන් හරහා රැකියා අවස්ථා බොහෝමයක් නිර්මාණය වෙනවා.

මේ කටයුතු සාර්ථක කර ගැනීම සදහා මෙවර අය වැයෙන් ලැබෙන ප්‍රතිලාභවලින් 40% ක් ජීවන උපාය සංවර්ධන වැඩවලට යොදවන්න උපදෙස් ලැබී තිබෙනවා.

ගමේ හා නගරයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති මේ ලැබෙන ප්‍රතිලාභ වලට අමතරව ඒ ඒ අමාත්‍යාංශ හරහා සිදු කරනවා. 

දැනටමත් රටේ  මාර්ග පද්ධතිය කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීමේ වැඩසටහන යටතේ සිදු වෙනවා. එයින් දැනට වැඩ ආරම්භ කරලා තිබෙන්නේ 20% යි. ඉතුරු 80% වැඩ ආරම්භ කරද්දි ඔබේ ප්‍රදේශයේ මාර්ග ටිකත් කාපට් වේවි. අය වැය හරහා ලබා දෙන ප්‍රතිපාදන ගමේ පාරවල් හදන්න යොදවන්න අවශ්‍යය නැහැ කියන එක මම පෙන්වලා දුන්නේ.

ඒ වගේම වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ ගම්වල වැව් ප්‍රතිසංස්කරණය කරනවා. සැමට පානීය ජලය ව්‍යාපෘතිය යටතේ ගම්මානවල පානීය ජල ගැටලුව සදහා විසදුම් ලබා දෙනවා.

ගමට පිටියක් වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ හරහා ගමේ ක්‍රීඩා පිටි සංවර්ධනය වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා, පළාත් පාලන අමාත්‍යාංශ හරහා අනෙකුත් සංවර්ධන වැඩ සිදු කෙරෙනවා.

මේ වැඩසටහන් සදහා ඔබ නායකත්වය දෙන්න. ගමේ ජනතාව ඔබව විස්වාශ කරලා ඡන්දය ලබා දුන්නා. අපිට සහයෝගය දුන්න, නොදුන්න සියලුම දෙනා මේ කටයුතු සදහා එකතු කර ගන්න.

ගමේ සංවර්ධනය විය යුතු අංශ පිළිබදව සාකච්ඡා කරන්න. ඒ සදහා දළ ඇස්තමේන්තුවක් සමග යෝජනා අපිට ඉදිරිපත් කරන්න.

මේ වන විටත් මාතර දිස්ත්‍රික්කය තුළ රුපියල් බිලියන 206 ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකයි. හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ රුපියල් බිලියන 195 ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකයි.

මෙයට අමතරව ඉදිරි වසර 05 ඇතුලත හදුනාගත් නව සංවර්ධන ව්‍යාපෘති 12 ක් හරහා මාතර දිස්ත්‍රික්කයට රුපියල් බිලියන 200 ට වඩා වැඩි ආයෝජනයක් කරන්න අපි සැළසුම් කරලා තිබෙනවා.

විපක්ෂයට අවශ්‍යය රට වහන්න. ගමේ ජනතාව ජීවත් වෙන්න, දරුවෝ පාසල් යන්න, ජනතාව රැකියා සදහා යන්න අවශ්‍යය නැහැ ඔවුන්ට.

කරට අත දාගෙන උද්ඝෝෂණ පවත්වන්න විපක්ෂයට පුලුවන්. අහිංසක මනුස්සයෙක් කඩයක් ඇරියොත් කොවිඩ් ව්‍යාප්ත වෙනවා කියලා මාධ්‍ය ඉස්සරහා කෑ ගහනවා.

අපි එන්නත්කරණය සාර්තකව සිදු කරලා කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර සෞඛ්‍ය අංශයේ මාර්ගෝපදේශයන් අනුව රට සාමාන්‍යකරණය යටතේ විවෘත කර සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ කරනවා.

දිළිදුකම තුරන් කොට ඔබ සැම බලාපොරොත්තු වන ආර්ථික දියුණුව මෙන්ම සංවර්ධිත හා ස්වයංපෝෂීත රටක් නිර්මාණය කරන්න නව වසරේ අය වැයෙන් ලැබෙන ප්‍රතිලාභ නිසි ලෙස කළමණාකරණය කර වැඩ කටයුතු කරමු යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාවට ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, කංචන විජේසේකර, මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක යන මහත්වරුන් ඇතුලු ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ නියෝජිතයින් පිරිසක් සහභාගී විය.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,

සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය,

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress