දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ නිර්මාණ ඇතුළත් “කඩතුරාව” අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි
Posted on October 15th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ජාත්‍යන්තර සුදු සැරයටි දින සැමරුමට සමඟාමීව දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ නිර්මාණ ඇතුළත් කඩතුරාව” නිර්මාණ ග්‍රන්ථය එළිදැක්වීම අද (15) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ ප්‍රකාශනයක් ලෙස එළිදකින මෙම ග්‍රන්ථය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වනු ලැබුවාය.

ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිත්තෙන් දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් වෙනදාට පැවැත්වෙන සුදු සැරයටි පා ගමන හා සැමරුම් දින උත්සවය කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර සංවිධානය කර නොමැත.

ඒ වෙනුවෙන් දෘශ්‍යාබාධිත නිර්මාණකරුවන්ගේ දීප ව්‍යාප්ත කෙටිකතා සහ පද්‍ය රචනා තරගයක් පවත්වා ඉන් තෝරාගත් නිර්මාණ  ඇතුළත් කරමින් කඩතුරාව” නමින් නිර්මාණ ග්‍රන්ථයක් මෙසේ ප්‍රකාශයට පත් කර ඇත.

ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමා මෙහි දී දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතාට සුදු සැරයටියක් පිරිනැමුවේය.

මෙම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන,සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්දන රණවීර ආරච්චි මහත්ම මහත්මීහු සහ අන්ධ ජන සේවා මණ්ඩලය සහ දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ සංගම් නියෝජනය කරන එහි නියෝජිතයෝ එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress