අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර නව අධිකරණ සංකීර්ණය සහ වලස්මුල්ල දිසා අධිකරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට
Posted on October 29th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මාතර නව අධිකරණ සංකීර්ණය සහ වලස්මුල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල විවෘත  කරන අවස්ථාවන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) දින අරලියගහ මන්දිරයේ සිට සූම් ඔස්සේ සම්බන්ධ විය.

මාතර කොටවිල ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කරමින් අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත තාක්ෂණයෙන් අග්‍රාමාත්‍යතුමා එහි සමරු ඵලකය නිරාවරණය කළේය.

රුපියල් මිලියන 1286.5ක් වැය කොට ඉදිකළ මාතර නව අධිකරණ සංකීර්ණය සිවිල් අභියාචන මහාධිකරණයක්,මහාධිකරණයක්,දිසා අධිකරණ 4ක්, මහේස්ත්‍රාත් අධිකරණ 2ක් සහ කම්කරු විනිශ්චය සභාවකින් සමන්විතය.

අධිකරණ සංකීර්ණය විවෘත කිරීමට සමඟාමීව නීතිඥ සංගම් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ද මුල්ගල තැබිණි.

අද දින විවෘත කළ වලස්මුල්ල දිසා/මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජය වැය කර ඇති  මුදල රුපියල් මිලියන 66.7කි.

මාතර අධිකරණය විවෘත කරන අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන, අධිකරණ අමාත්‍ය අලි සබ්රි, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නිපුණ රණවක,වීරසුමන වීරසිංහ,කරුණාදාස කොඩිතුවක්කු මහත්වරු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්න මහතා හා මහාධිකරණ විනිසුරුවරුන් සහ මාතර නීතිඥ සංගමයේ මහත්වරු ද එක්ව සිටියහ.

වලස්මුල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල විවෘත  කරන අවස්ථාවට අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ, අලි සබ්රි, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අජිත් රාජපක්ෂ,උපුල් ගලප්පත්ති මහත්වරු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා, විනිසුරුවරුන් ඇතුළු වලස්මුල්ල නීතිඥ සංගමයේ නීතිඥ මහත්වරු එක්වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress