පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ 2021.11.22 දිනැති 2255/5 අංක දරන ගැසට් නිවේදනය පිළිබඳව මතුව ඇති ගැටළු පිළිබඳ කරුනු පැහැදිලි කිරීම
Posted on November 23rd, 2021

The Secretary Agriculture Graduate’s Association of the Sri Lanka Agriculture Service

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ  2021.11.22 දිනැති 2255/5 අංක දරන ගැසට් නිවේදනය පිළිබඳව මතුව ඇති ගැටළු පිළිබඳ කරුනු පැහැදිලි කිරීම

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක වර්ග 05ක් භාවිතය තහනම් කරමින් නිකුත් කර තිබු 2014.12.22 දිනැති 1894/4 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් 2021.11.22 දිනැති 2255/5 අංක දරන නව ගැසට් නිවේදනයක් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කර ඇත. එය නැවත පළිබෝධනාශක මෙරටට ගෙන ඒම සඳහා ලබා දුන් අවසරයක් නොවන බව පැහැදිලි කරුණකි.

·       ඉහත සඳහන් 2014.12.22 දිනැති 1894/4 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් ලෙස හඳුන්වනු ලබන සක්‍රිය රසායන ද්‍රව්‍ය අන්තර්ගත වන පලිබෝධ නාශක ද්‍රව්‍ය විකිණීම සහ භාවිතය අනුරාධපුරය, පොළොන්නනරුව, කුරුණෑගල, මොණරාගල, දිස්ත්‍රික්ක තුල හා බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය, රිදිමාලියද්ද සහ කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල තහනම් කරනු ලැබුවා.

·       නමුත් 2016.12.28 දිනැති 1999/33 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් ලෙස හඳුන්වනු ලබන සක්‍රිය රසායනික  ද්‍රව්‍ය අන්තර්ගත වන පලිබෝධ නාශක සම්බන්ධයෙන් නිකුත් කර ඇති සියලුම බලපත්‍ර අවලංගු කර ඇත. එහෙයින් අදටත් බලාත්මක වන්නේ 2016.12.28 දිනැති 1999/33 දරන අති විශේෂ ගැසට් නිවේදනය වන අතර ඉහත සඳහන් පලිබෝධ නාශක ආනයනය තහනමේ කිසිදු වෙනසක් නැත.

·       එසේම 2018. 09. 13 දිනැති 2088/57 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ග්ලයිෆොසෙට් වල්නාශකය සීමා කරන ලද පළිබෝධනාශකයක් (වල්නාශකයක්) ලෙස වර්ගකර ඇති අතර 2018.10.02 දිනැති 2019/13 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් එය තේ සහ රබර් වගාවන් සඳහා පමණක් භාවිතා කලයුතු බවට සීමා කර ඇත. 

·       මෙම කරුණ තවදුරටත් පැහැදිලි කළහොත් 2014.12.22 දිනැති 1894/4 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය බලාත්මකව පවතින අවස්ථාවක 2018.10.02 දිනැති 2019/13 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම තාක්ෂණික ගැටළුවකට මුල පිරීමකි. භාවිතය තහනම් කර ඇති ප්‍රදේශයක පවතින තේ හෝ රබර් වගාවක් සඳහා ග්ලයිෆොසෙට් භාවිතා කිරීමට අවශ්‍ය වුවත් 2014.12.22 දිනැති 1894/4 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් එය අවුරා ඇත.

·       එම හේතුව නිසා 2016.12.28 දිනැති 1999/33 දරන අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කිරීම සිදු කර ඇති අතර 2255/5 අංක දරන නව ගැසට් නිවේදනය  2018 වර්ෂයේ නිකුත් කලයුතු ගැසට් පත්‍රයක් වුවත් රජයේ ක්‍රියාවලියන්ගේ තිබෙන ප්‍රමාදයන් නිසා 2021.11.22 දින මුද්‍රණය වී ඇති බව පෙනේ. 

මෙම කරුණු පිළිබඳව හරි හැටි සොයා බැලීමක් සිදුනොකර කෘෂිකර්ම අමාත්‍යතුමා විසින් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් වරයා ධූරයෙන් පහකලයුතු බවට සිදුකරන ලද ප්‍රකාශය දැඩි ලෙස හෙලාදකින අතර මෙම තීරණය වහාම නිවැරදි කරන ලෙස අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සියළුම බලධාරීන්ට බලකර සිටිමු. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress