බෞද්ධ ජනරජ ප්‍රවාදය – 47 වැනි කොටස- ‍ඉලක්කගත අධ්‍යාපනය
Posted on December 6th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

දුකින් මිදීම අරභයා ආර්ය මාර්ගයෙහි පියමනින බෞද්ධයා විසින් කළයුත්තේ සිත සැකැසීම, සිත සංහිඳුවීම, සිත එකඟකිරීම සහ සිත අරමුණෙහි පිහිටුවීම යන කාර්යයන් ය. ලෝකෝත්තර විමුක්තිය වෙනුවෙන් නිර්දේශිත මේ වැඩපිළිවෙළ මිනිසුන්ගේ ලෞකික අවශ්‍යතා වෙනුවෙන් ද යොදාගත හැක්කේ ය. සිත සතියෙහි නොපිහිටුවා, අරමුණක් නැතිව කරනු ලබන කටයුතුවලින් සමාජය තුළ මහත් වූ ව්‍යාකූල තත්ත්වයන් නිර්මාණය කරනු ඇත්තේ ය.

රටක පැවැත්ම, අභිවෘද්ධිය තීරණය කරනු ලබන මූලික ම අවශ්‍යතාවක් වනුයේ අධ්‍යාපනයයි. විවිධ මට්ටමේ වන රාජ්‍යයේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් මිනිසුන් පුරුදු පුහුණුකරවීම අධ්‍යාපනයේ මූලික අරමුණක් විය යුත්තේ ය. කාලීනව ඇතිවන එ බඳු අවශ්‍යතා සහ ගැටලු නිවැරැදිව හඳුනාගැනීම ද අධ්‍යාපනයෙන් පෝෂණය කරන ලද සහ හික්මවුණු රටවැසියන්ගේ කාර්යයකි. මෙම කාර්යයෙහි නිරතවිය හැකි විශේෂඥයන් බිහිකිරීම කළයුත්තේ ද ඉලක්කගත අයුරකිනි.

විශේෂඥ දැනුම සහ පරිචය ඇති පිරිස් බිහිවිය යුත්තේ ජාතික මට්ටමින් පමණක් නොවේ. බිම් මට්ටමේ (ග්‍රාමීය සහ නාගරික මට්ටමේ), ප්‍රාදේශීය මට්ටමේ අවශ්‍යතා සහ ගැටලු හඳුනාගත හැකි විශේෂඥයන් ද ඒ මට්ටම්වලින් ම බිහිකරගත යුත්තේ ය. මෙසේ බිහිකර ගතයුත්තේ ආනයනය කරන ලද ප්‍රවාද සහ න්‍යාය ඇසුරින් පමණක් අවශ්‍යතා සහ ගැටලු හඳුනාගැනීමට වෙහෙසෙන විශේෂඥයන් පිරිසක් නොවේ. යම් අවස්ථාවක බාහිර ප්‍රවාද, මතවාද ආදියේ සේවනය ලබන්නේ නම් දේශීය සහ ප්‍රාදේශීය තත්ත්වයන්ට ගැලපෙන පරිදි ඒවා ගැලැපීමේ හැකියාවක් ද එබඳු විශේෂඥයන්ට තිබිය යුතු ය. මෙවැනි විශේෂඥයන් පිරිසක් බිහිකරගැනීම සඳහා අවශ්‍ය වනුයේ ඒ වෙනුවෙන් ම සැකැසුණු ඉලක්කගත අධ්‍යාපනයකි.

ගමකට, ප්‍රදේශයකට සහ ජාතියට අවශ්‍ය කරනුයේ විශේෂඥයන් පමණක් නොවේ. සියලු ආකාරයේ භාණ්ඩ නිපැදවීමේ සහ සේවා සැපැයීමේ හැකියාව ඇති පුහුණු ශ්‍රම බලකායක් ද ඒ සඳහා අවශ්‍ය කෙරෙයි. ඉතාමත් විධිමත් සැලසුමක් යටතේ එවැනි ශ්‍රම බලකාය බිහිකරගැනීමේ හැකියාවක් ජනරජයට තිබිය යුතු ය. මෙම හැකියාව ප්‍රකාශ විය යුත්තේ ද ඒ ඒ ක්‍ෂේත්‍රය ඉලක්ක කරගෙන හඳුන්වාදෙනු ලබන අධ්‍යාපනික වැඩපිළිවෙළ හරහා ය.

හඳුනාගනු ලබන අවශ්‍යතා තෘප්තකරවීමට සහ ගැටලු විසඳීමට හැකි ආකාරයේ නව නිර්මාණ හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ද ජනරජයට අවශ්‍ය වෙයි. පවත්නා සම්පත් ඇසුරින් නව නිර්මාණ කරන, නවෝත්පාදනයේ යෙදෙන පිරිස් බිහිකිරීම ද පෝෂණයකිරීම ද ඉලක්කගත අධ්‍යාපනික කටයුතුවලින් සිදුකළ හැක්කේ ය.

ජනරජයේ ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය පොදු පදනමකින් ලබාදුන්න ද එයින් ඉහළට ලබාදෙන ශික්‍ෂණය ඉතාමත් නිශ්චිත අයුරින් ඉලක්කගත විය යුත්තේ ය. තව ද අඩු වයස්වල සිට ම (එනම්, ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය ලබන අතර ම) ඉලක්කගත විශේෂ විභාගවලට මුහුණදීමේ අවස්ථාව ඇති කළ යුතු වෙයි. භාෂා පරිනත බව, ගණිතය වැනි පොදු විෂයයන්ගේ ප්‍රවීණත්වය මෙබඳු විභාගවලින් සහතික කළ හැක්කේ ය. ප්‍රවීණත්වයේ විවිධ මට්ටම් මැන බලා සහතිකකිරීම වෙනුවෙන් ද මෙම විභාග පැවැත්විය හැකි ය. මෙම විභාග සඳහා සහභාගීවීමේ වයස සහ අවස්ථා ගණන සීමා කළ යුතු නොවේ. ඒ අනුව පොදු අධ්‍යාපනයක් ලබන අතර ම, යම් යම් විෂයයන්ගේ ප්‍රවීණත්වය ලබන අය හඳුනාගැනීමේ අවස්ථාවක් උදාවෙයි.

යහපත් ආකල්පවලින් පිරිපුන්, ගුණවත් රටවැසියන් පිරිසක් බිහිකිරීම ද ජනරජයේ අරමුණක් විය යුත්තේ ය. මේ සඳහා ද ඉලක්කගත අධ්‍යාපන වැඩපිළිවෙළක් අවශ්‍ය වන්නේ ය. පංති කාමර අධ්‍යාපනයෙන් බැහැර වූ විවිධකාර සාමූහික සහභාගීත්ව ක්‍රියාකාරකම් මේ සඳහා යොදාගත හැකි ය. සබකෝලත්වය දුරුකිරීම ද මෙයට අදාළ ය. සංගීතය, නර්තනය, රංගනය, සාමූහික ක්‍රීඩා, ශ්‍රමදාන, ප්‍රාථමික මට්ටමේ සමීක්‍ෂණ කටයුතු යනාදිය සඳහා දරුවන් යොමුකිරීමෙන් මෙය කළ හැක්කේ ය.

අධ්‍යාපනයේ ඉලක්කයට ගෝචරගත යුතු තවත් කාරණයක් වනුයේ දේශප්‍රේමයයි. මොන තරම් ඉහළ අධ්‍යාපනයක් ලැබුව ද තමන්ගේ රටට, ජාතියට ලැදියාවක් නැති අයගෙන් ජනරජයට පක්‍ෂපාතීත්වයක් අපේක්‍ෂා කළ නො හැකි ය. දේශප්‍රේමයෙන් සන්නද්ධවූවන් රටින් පිටව ගිය ද ජනරජය වෙනුවෙන් තමන්ගේ යුතුකම් ඉටුකරනු ඇත්තේ ය. මෙය විධිමත් අධ්‍යාපනයේ සීමාව ඉක්මවා වෙනත් විවිධ වූ ආකාරවලින් ද ලබාදිය හැකි ශික්‍ෂණයකි. සාහිත්‍ය නිර්මාණ, නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට යනාදී විවිධ වූ කලා මාධ්‍ය මේ සඳහා උපයෝගී කරගත හැකි ය.

ජනරජයට අවශ්‍ය වනුයේ මේ ආකාරයෙන් ස්ව-අවශ්‍යතා ඉලක්ක කරගත් නිශ්චිත අධ්‍යාපනික වැඩපිළිවෙළක් විනා විදේශීය ආදර්ශ ඒ ආකාරයෙන් ම අනුකරණය කරමින් ක්‍රියාත්මක කරනු ලබන අත්හදාබැලීම් නොවේ. විවිධ මට්ටම්වල දී ජනරජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වය ඇගැයිය යුත්තේ ඒ හරහා බිහිකරනු ලබන මිනිසුන්ගේ පිරිපුන් බව සහ ප්‍රවීනත්වය තුළිනි. විවිධ වූ කාර්යයන්ගේ නිරතවන පුද්ගලයන්ට සහ ආයකනවලට වගකීම් පැවරෙන ක්‍රම ද මෙම ප්‍රවාදයෙන් යෝජනා කෙරී තිබෙන බැවින් අදාළ ඇගැයීම් සිදුකිරීම අපහසු කාර්යයක් නොවේ.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress