කෘෂිකර්ම ඇමතිට ගොවීන්ගෙන් පිළිතුරු – සහල් හිඟයක් ගැනත් අනතුරු ඇඟවීම් (වීඩියෝ)
Posted on January 7th, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

වී කිලෝවක් රුපියල් 75 කට මිලදී ගැනීමේ කටයුතු රජය ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුව ද එම මිලට හෝ ලබාදීමට වී තොග තමන් සන්තකයේ නොමැති බව ගොවීන් පවසනවා.

මේ අතර, යල කන්නයේ මිලදී ගත් වී තොග මේ වන විට අවසන් ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ සඳහන් කළේ වී කිලෝග්‍රෑමයක් රුපියල් 75 කට මිලදී ගැනීම ආරම්භ කර ඇති බවයි.

මේ අතර මහ කන්නයේ වී අස්වනු නෙළීම ජනවාරි 15 වනදායින් පසු ආරම්භ කෙරෙන අතර ඒ අනුව එම අස්වනු මිලදී ගැනීමට සූදානම් බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශකර තිබෙනවා.

මේ අතර සහල් නිෂ්පාදකයින් අනතුරු අඟවන්නේ නිසි කලට වී අස්වනු නොලැබීම නිසා ඉදිරියේදී සහල් මිලදී ගැනීම සඳහාද ජනතාවට පෝලිම්වල රැඳී සිටීමට සිදුවිය හැකි බවයි.

නිසි කලට අස්වනු නොලැබී යාම නිසා ඉදිරියේදී සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුවන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළා.

එහි සභාපති මුදිත් පෙරේරා කියාසිටියේ සහල් නිශ්පාදනයට අවශ්‍ය වී ප්‍රමාණවත් පරිදි මෙතෙක් නොලැබෙන බවයි.

ලබන පෙබරවාරි මස අවසානය වන විට ශ්‍රී ලංකාව තුල විශාල සහල් හිඟයක් ඇතිවනු ඇතැයි ඔහු අනතුරු අඟවනවා.

කිරිපිටි සහ ගෑස්වලට මෙන් සහල් ලබා ගැනීමට ද පෝලිම්වල රැඳී සිටීමට ජනතාවට සිදුවනු ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් 10ක් පමණ ආනයනය කිරීමට රජයට ඇමරිකානු ඩොලර් මිලියන 450කට ආසන්න මුදලක් වැයවනු ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා.

මේ අතර, චීන පොහොර නෞකාව සඳහා ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 6 දශම 7ක මුදල මහජන බැංකුව විසින් හෙට දිනයේ ගෙවීමට නියමිත බවත් වාර්තා වුණා.

මේ අතර පොහොර නොමැතිව ගොවීන් අසීරුතාවට පත්වීමේ සිද්ධි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තවදුරටත් වාර්තා වනවා.

මේ අතර, සේරුවිලදී පැවති රැස්වීමක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේ රසායනික පොහොර තහනම් කිරීමේදී වගා විනාශයන් සඳහා වන්දි ලබාදෙන බව මුලින් පැවසූ කෘෂිකර්ම අමාත්‍යවරයා මේවන විට ගොවි ජනතාවට වන්දි ලබාදීම වෙනුවෙන් කොන්දේසි දමමින් සිටින බවටයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress