මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට පෙර නාගදීප රජ මහ විහාරය පූජා භූමියක් ලෙස නම් කර සන්නස් පත්‍රය පිළිගන්වන්න – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on January 13th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට ප්‍රථම නාගදීප රජ මහා විහාරය පූජා භූමියක් ලෙස නම් කර ඊට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීම කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රාජ්‍ය වෙසක් උත්සවය – 2022 බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කරමින් ඊයේ (12) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව දැනුම් දුන්නේය.

ගියවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට අපි තීරණය කළේ ඓතිහාසික නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින්. පැවති කොවිඩ් වසංගත තත්ත්වය සමඟ සෞඛ්‍ය අංශයෙන් ලැබුණු උපදෙස් නිසා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නොහැකි වුණා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට ප්‍රථම නාගදීප විහාරය පූජා භූමියක් ලෙස නම් කර සන්නස් පත්‍රය පිළිගැන්වීම කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු නොපමාව සූදානම් කරන්නැයි”අග්‍රාමාත්‍යතුමා අමාත්‍යාංශ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළේය.

කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කූරගල ඓතිහාසික පුදබිම ද පූජා භූමියක් ලෙස නම් කිරීමට අවධානය යොමු කරන්නැයි ද අග්‍රාමාත්‍යතුමා පැවසීය.

රාජ්‍ය වෙසක් උත්සවයට සමඟාමීව වෙසක් බැති ගී සංදර්ශන, දන්සැල්, වෙසක් පහන් කූඩු තරග, පරිසර සංරක්ෂණ වැඩසටහන්, විශේෂ ආගමික වැඩසටහන්, සංස්කෘතික වැඩසටහන්  පැවැත්වීම කෙරෙහි මෙන්ම විහාරස්ථාන,දහම් පාසල් සහ  පිරිවෙන් නගා සිටුවීම පිළිබඳව මෙහි දී සාකච්ඡා විය.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කොළඹ ඇතුළු ප්‍රධාන නගර වල වෙසක් උත්සව සංවිධානය කිරීම  කෙරෙහි අවධානය යොමුකරන ලෙස ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී පැවසීය.

කූරගල පුදබිම පිහිටි බලංගොඩ සහ කල්තොට ප්‍රදේශ ආශ්‍රිතව යටිතල පහසුකම් දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ අග්‍රාමාත්‍යතුමා ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමඟ සාකච්ඡා කර කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙවර වෙසක් උත්සවය සෞඛ්‍ය අංශයේ උපදෙස් මත පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු රජයක් ලෙස අපි සුදානම් කරනවා. පරිසර සංරක්ෂණ වැඩ පිළිවලේදී විශේෂයෙන්  පැළ බෙදාදීම පමණක් නෙමෙයි. ඒ පැළ සිටුවා නිවැරදිව සංරක්ෂණය කරනවාද කියලත් සොයා බලන්න යැයි අග්‍රාමාත්‍යතුමා පැවසුවේය.

රාජ්‍ය වෙසක් උත්සවය – 2022 බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට අදාළව ඊට සමගාමීව ක්‍රියාත්මක වන වැඩසටහන් සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය මෙහි දී පැහැදිලි කළාය.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ  සභාපති පූජ්‍ය මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ ස්වාමීන්වහන්සේ , සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමීන්වහන්සේ, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන  ස්වාමීන්වහන්සේ, රත්නපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය කහවත්තේ සේනින්ද ස්වාමීන්වහන්සේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ සම්බන්ධීකාරක පුජ්‍ය අග්‍රහැරේ කස්සප ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය මෙහි වැඩමකර සිටියහ.

ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල එල්ලාවල, ගාමිණී වලේබොඩ, , බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අමාත්‍යාංශ ලේකම්වරුන් වන අනූෂ පැල්පිට, ආර්.ඒ.ඒ.කේ.රණවක, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් වන එන්.එච්.එම් චිත්‍රානන්ද, කේ.ඒ.ඩී.ආර් නිශාන්ති ජයසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන නීතිඥ චමින්ද කුලරත්න, නිශාන්ත වීරසිංහ, මහාභාරකාර තැන්පත් නීතිඥ ගනේෂ් ධර්මවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, පූජාභූමි අධ්‍යක්ෂ රුචිර විතාන, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ඒ.එම් රත්නායක මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress