අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික තෛපොංගල් උත්සවය
Posted on January 14th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ජාතික තෛපොංගල් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ගොවිතැන් කටයුතු සඳහා සූර්ය දෙවියන්ගෙන් ලැබුණු ශක්තියට කෘතගුණ සැලකීම මුල් කරගනිමින් දමිළ දින දර්ශනයේ පළමු දිනය මෙලෙස සුවිශේෂීත්වයෙන් සැමරීම සිදු වේ.

අස්වනු නෙලා ගැනීම සහ නෙලාගත් අස්වැන්නෙන් පළමු කොටස යොදා පොංගල් කිරිබත සෑදීම මෙම මංගල්‍යයේ චාරිත්‍රයකි.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මෙවර තෛපොංගල් උත්සවය උත්සවශ්‍රීයෙන් සැමරීමට අවශ්‍ය වටපිටාව සකසා තිබිණි.

අරලියගහ මන්දිරයේ පැවැති ජාතික තෛපොංගල් උත්සවය හින්දු සංස්කෘතික අංග වලින් විචිත්‍රවත් වූ අතර අග්‍රාමාත්‍යතුමා සමඟ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ද තෛපොංගල් උත්සව චාරිත්‍ර සමඟ එක්ව සිටියාය.

කලාශූරී වාසුගී ජෙගදීස්වරන් මහත්මියගේ අධීක්ෂණයෙන් එම කලායතනයේ සිසුවියෝ පූජා නර්තනය ඇතුළු නර්තනාංග ඉදිරිපත් කළහ.

අග්‍රාමාත්‍ය ආර්යාව මෙහි දී නව නිර්දේශයට අනුව මුද්‍රණය කළ දහම් පාසල් පොත් දරුවන්ට බෙදා දුන්නාය.

කොළඹ රාමක්‍රිෂ්ණ මණ්ඩලයේ ප්‍රධානී පූජ්‍ය අක්ෂරාත්මානන්ද මහරාජ් ස්වාමි, අග්‍රාමාත්‍ය හින්දු ආගමික කටයුතු සම්බන්ධීකාරක පූජ්‍ය රාමචන්දිරා කුරුකල් බාබු ශර්මා ඇතුළු හින්දු පූජකවරු රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

 ජාතික තෛපොංගල් උත්සවය අවසානයේ හින්දු පූජකවරු අග්‍රාමාත්‍යතුමාට හින්දු චාරිත්‍රානුකූලව ආශිර්වාද එක් කළහ.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අංගජන් රාමනාදන්, සුරේන් රාඝවන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, අග්‍රාමාත්‍ය  කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරන ලේකම් සෙන්දිල් තොණ්ඩමන්, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.උමාමහේෂ්වරන් මහත්වරු ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress