බ්‍රිතාන්‍යයේ දකුණු ආසියාව භාර ඇමති ජනපතිගේ මූණට ම කියපු දේ
Posted on January 20th, 2022

 තාරක සම්මාන්  මව්බිම දැන්

මානව හිමිකම්, සංහිඳියාව සහ යුක්තිය හා වගවීම පිළිබඳව ප්‍රගතියක් ලබා ගැනීමේ අවශ්‍යතාව තමන් ශ්‍රී ලංකා රජයට අවධාරණය කළ බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා පවසයි.

අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා අද (ජන. 20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, දේශගුණික විපර්යාස සහ කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට ලක්වූ ආර්ථිකය යළි නගා සිටුවීම ඇතුළු ගෝලීය අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ බව ය.

I met President @GotabayaR ???????? to discuss global challenges including climate change and economic recovery from #Covid19. I emphasised the need for GoSL to make progress on human rights, reconciliation, and justice and accountability, in line with the UN HRC process and the SDGs. pic.twitter.com/QZ23K3Ij00— Lord (Tariq)Ahmad of Wimbledon (@tariqahmadbt) January 20, 2022

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා පැවසූ බව ය. 

තවදුරට ත් එය ශක්තිමත් කිරීමට ප්‍රායෝගික සහ අරමුණු කරා ළඟා විය හැකි ක්‍රමවේදයක් අනුව ඉදිරියට යාමෙන් මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකාවට ඇති සියලු ගැටලු නිරාකරණය කර ගත හැකි වනු ඇති බවට ඒ මහතා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.

දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉන්දියානු සාගර කලාපය, මධ්‍යම ආසියාව, පොදු රාජ්‍ය මණ්ඩලය සමග සහයෝගීතාව ඇති කිරීම සඳහා ක්ෂේත්‍ර රැසක වගකීම් පැවරී ඇත්තේ තාරික් අහමඩ් සාමිවරයාට ය.

එමෙන් ම, එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමග අවබෝධයෙන් කටයුතු කිරීමට ඇති කැමැත්ත ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ත් ඒ සඳහා ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපතිවරයා එහිදී තාරික් අහමඩ් සාමිවරයාගෙන් ඉල්ලා සිට ඇත. 

 තාරක සම්මාන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress