අග්‍රාමාත්‍යතුමා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගනී
Posted on January 22nd, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (22) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.

අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය  පල්ලේගම සිරි නිවාස නායක ස්වාමීන්වහන්සේ බැහැ දුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය.

කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්‍ෂා නොකර ජය ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවට මං මාවත් පිළිසකර කරමින් ගල් අතුරා අලංකාර කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බව අටමස්ථානාධිපති අතිපූජ්‍ය  පල්ලේගම සිරි නිවාස නායක ස්වාමීන්වහන්සේ මෙහි දී සිහිපත් කළහ.

අනතුරුව රුවන්වැලි මහ සෑ චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ බැහැ දුටු අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය.  හේමරතන නායක ස්වාමීන්වහන්සේ මෙහි දී සිය දොළොස් වසරක ගී අස්වැන්න ඇතුළත් සඳ මඬල වී” ගීත ග්‍රන්ථය අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන්නූහ. අග්‍රාමාත්‍යතුමා රුවන්වැලි මහ සෑය වැඳපුදා ගත්තේ ඉන් අනතුරුවය.

අග්‍රාමාත්‍යතුමා පසුව සඳහිරු සෑය වෙත ගොස් ආගමික වතාවත්වල ද නිරත විය.

අග්‍රාමාත්‍යතුමා ඉන් අනතුරුව  අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පූජ්‍ය නුගේතැන්නේ ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන්වහන්සේ අග්‍රාමාත්‍යතුමාට ආශිර්වාද කරමින් මෙසේ පැවසූහ.

ත්‍රස්තවාදී ප්‍රශ්නයේ දී ඔබතුමා මේ රට ජය ගන්න කොට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, බේදයක් නැතුව රටේ සියලු දෙනාම එකට එකතු වෙලා එය කළේ. අපේ ජනාධිපතිතුමා, ඔබතුමා මේ රට එක්  සේසත් කරාට පස්සේ එදා සිංහ කොඩි අරගෙන සියලු ජාතීන් එකට පාරට බැස්සා.

මේවා ඉවසගන්න බැරි කොටසක් මේ රටෙත් ජාත්‍යන්තරයෙත් ඉන්නවා. ඒ වගේම දෙමළ මිනිස්සු වුණත් ඔබතුමාට ජනාධිපතිතුමාට ආදරේ ගොඩක් මිනිස්සු  ඉන්නවා. මොනම වෑයමක්වත් නැතිව උතුරෙන් කොච්චර ඡන්ද හම්බ වුණාද ? ඉතින් ඒ අය ඔබතුමාගේ වැඩපිළිවලට කැමතියිනේ.

අපේ අගමැතිතුමනි, ඔබතුමා මේ රටේත්  ජාතියේත් සියලු   ජාතීන් ඒ වගේම සම්මා සම්බුදු සාසනයේත් සියලු අභිවෘද්ධිය හදපු හදන ඉතාමත් උතුම් නායකයා. මේ රටේ මිනිස්සු ඔබතුමාට ගොඩක් ආදරය කරනවා. ජාතිකව හා ජාත්‍යන්තරව හැමදෙනාම ඔබතුමාගේ ආදරයට ලක් වෙච්ච ඉතාමත්ම සුහද සත්පුරුෂයෙක්, ඒ වගේම ඔබතුමා හොඳ මිත්‍රයෙක්. දශක පහක හයක දේශපාලන  ඉතිහාසයේ ඔබතුමා හදවත් වල ජිවත් වෙන්නෙ.ඉතින් ඒක කවුරු හරි විනාශ කරන්න හැදුවත් මොන දැන්වීම් දැම්මත් මුහුණු පොතේ අප්‍රසන්න ප්‍රකාශ කළත් ඒවා ඔබතුමාට වදින්නේ නෑ.

මේ රටේ යුද්ධය කාටවත් ඉවර කරන්න බෑ කියලනේ කිව්වේ.  මට අද වගේ මතකයි   ඔබතුමා මගේ අතින්  අල්ලාගෙන කැබිතිගොල්ලෑවේ දී මගේ අත මිරිකගෙන කිව්වා මම මේක ඉවර කරනවාමයි  කියල.

ඔබතුමා ඒ අධිෂ්ඨානය ගත්තා ඒ අධිෂ්ඨානය අරගෙන මේ රටේ නෙමෙයි ලෝකයේම මිනිස්සු විශ්මයට පත්කරමින් යුද්ධය නිමා කළා. එදා මිනිස්සු හඬා වැටුණේ අපට මොනවත්  එපා අපේ ජනාධිපතිතුමනි, මේ යුද්ධය ඉවර කරල දෙන්න  කියලා. හැබැයි දැන් යුද්ධය කෙරුවද කියලවත් කාටවත් මතක නෑ. එහෙත් අද අපි හැමෝටම පාරක බැහැල යන්න පුළුවන්.

අධිවේගී මාර්ග හදල ඒ වගේම අලුතින් පිබිදීමක් දැන් රටේ හදල තියෙනවා. මේ කොරෝනා වසංගතය කවුරුත් හදපු එකක් නෙමෙයි. මේක අද මුළු ලෝකෙම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනෑ.

ඔබතුමා අපේ ජාතික නායකයා. ඉතින්  අදත් හෙටත් නිවන් දක්නා ජාති දක්නා තුරුත් අපි ඔබතුමාත් එක්ක ඉන්නවා යැයි ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන්වහන්සේ පැවසූහ.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඓතිහාසික මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්වාමීන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්වාමීන්වහන්සේ මෙහි දී අග්‍රාමාත්‍යතුමාට අවවාද අනුශාසනා ලබා දුන්හ.

ඓතිහාසික ලංකාරාම විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍යතුමා උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අනුරාධපුර ලංකාරාමාධිකාරී පූජ්‍ය රැළපනාවේ ධම්මජෝති නායක ස්වාමීන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය.

අනුරාධපුර ලංකාරාමාධිකාරී පූජ්‍ය රැළපනාවේ ධම්මජෝති නායක ස්වාමීන්වහන්සේ අග්‍රාමාත්‍යතුමාට අනුශාසනා කරමින් මෙසේ පැවසූහ.

ශ්‍රී ලංකා මාතාවගේ වාසනාවට යුගයෙන් යුගයට යුග පුරුෂයෝ වාසනාවන්ත පුද්ගලයෝ මේ මාතෘ භූමියේ පහළ වෙනවා. ඒ නිසා මේ යුගයේ  මිහිපිට පහල වෙච්ච රටටත් ජාතියටත් ආගමටත් අවංකවම ආදරේ කරන මිනිස්සුන්ට ආදරේ කරන ජනතාවට ආදරය කරන විශේෂයෙන් දරුවන්ට ආදරය කරන යුග පුරුෂයෙක් තමයි අපේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  පස්වන විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා. වර්තමාන අපේ අග්‍රාමාත්‍යතුමා.

 ඔබතුමා පිළිබඳව ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට අමුතුවෙන් යමක් කියන්න අවශ්‍ය කරන්නේ නෑ.

මහින්ද  රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැතිතුමා කොයි විදිහේ කෙනෙක්ද කියන එක බහ තෝරන හොඳට තේරෙන වයසේ ඉන්න දරුවන්ගේ ඉඳලා වැඩිහිටියො දක්වා ඒ හැමදෙනාගෙම හදවත්වල සටහන් වෙච්ච නමක් තමයි මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ.

මං මේවා හිතට එකඟව කියන්නේ.අද හුඟක් දෙනා නොයෙක් නොයෙක් දේ විවේචනය කළත් අද අපිට මේ රටේ එහා කෙළවරේ ඉඳලා මෙහා කෙළවරට යන්නටත් ඔය කොයි කොයි කාටත් දේශපාලන පක්ෂ ඇති කරගෙන ඒ අයට දේශපාලනය කරන්නත් මේ රටක් ඉතුරු කරලා දුන්නේ තමුන්නාන්සෙ. අපි යුද්ධයෙන් බැට කාපු මිනිස්සු. අපි මෙහෙ හිටපු මිනිස්සු. අපි උතුරු මැද යාපනයට කිට්ටුව වව්නියාවට කිට්ටුව හිටපු මිනිස්සු. එතකොට  මේ  යුද්දෙ බිහිසුණුකම අපිට තදින් දැනුණා. ඉතින් කිසිම කෙනෙකුට මේ යුද්ධය නතර කරගන්න බැරිවෙච්ච වෙලාවෙදි ජනතාවට මම මේ යුද්ධය නතර කරනවා කියල පොරොන්දුවක් දීලා තිස් අවුරුදු යුද සාපය අපේ රටෙන් තුරන් කෙරුවෙ තමුන්නාන්සේයි.

ඒ වගේම අපේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ. ඒ වගේම මේ අයියගෙයි මල්ලිගෙයි ත්‍රිවිධ හමුදාව, පොලිසිය , සිවිල් ආරක්ෂක බලකාය කියන මේ හැමෝගෙම සහයෝගයෙන් තමයි මේ ජයග්‍රහණය කරගන්න පුළුවන් වුණේ. ජයග්‍රහණය  කරගත්තා. ඉතින් අපි නිදහසේ ජීවත් වෙනවා. කාටත් අද දේශපාලනය කර ගන්න පුළුවන්කම තියෙනවා. ඊට කලින් අපි දන්නවනේ වේදිකාවල මැරිච්ච හැටි පාරවල් වල මැරිච්ච හැටි. ඇයි මෙව්වා මිනිස්සු අමතක කරන්නේ මෙව්වා ජනතාවට අපි විශේෂයෙන් කියන්නේ මේවා අමතක කරන්න එපා. මේ නාමයන් අමතක කරන්න එපා. උන්නැහේලා මේ රටට ජාතියට සේවය කරන්න ආපු අය. අතපසුවීමක් වැරැද්දක් අපෙන් සිද්ධ වුණා. ඒත් ජනතාව කොහොම කොහොම හෝ ඔබතුමා නැවත කරළියට ගෙනාවනේ. ඒ නිසා ජනතාව ඔබ දෙපළ ගෙනල්ලා අද හොඳ තැනක තියාගෙන ඉන්නවා.

කොරෝනා වසංගත  රෝගී තත්ත්වය ගන්න. මිනිස්සු කෑ ගහනවා. පේන්නැද්ද මේ මිනිස්සුන්ට අපිට විතරක් ද කොරෝනා වසංගතය තියෙන්නෙ ?  අමෙරිකාවට එංගලන්තයට චීනයට හැදිලා ඒ මිනිස්සු පවා උඩුයටිකුරු වෙලා ඉන්නේ. කොහොම හරි තමුන්නාන්සේලා මේ එන්නත අපේ රටට ගෙනල්ලා මේ වෙනකොට ලංකාවෙ බොහෝ දෙනෙකුට එන්නත් තුනම දැන් එන්නත් කරලා අවසානයි. පාසල් දරුවන්ටත් එන්නත් කරා. ඒ හින්දා මේ සියලුම කටයුතු ආර්ථිකය බිඳ වැටිච්ච වෙලාවක තමුන්නාන්සෙලා ඉටු කළා

කොරෝනා නැමැති වසංගතය කාටත් පේනවා. අමුතුවෙන් කියන්න ඕනේ නෑ. කෑගහන්න ඕනෙ නෑ. ආර්ථිකය කඩා වැටුණා. කවුරුත් දන්නවා කවුරුවත් කියන්න ඕනෙ නෑ. විදේශිකයෝ එන්නැත්නම්, අපේ නිෂ්පාදන දේවල් පිටරට යවා ගන්න බැරිනම් ඉතිං අපි කොතනද ඉන්නේ කියලා අපිට තේරෙනවා නේ. ඒ නිසා ඔන්න දැන් ඉතින් අවස්ථාවක් ආවා තුණුරුවන්ගේ පිහිටෙන් ජයසිරිමහ හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ වසරෙ ඉඳල ඉස්සරහට යන්න. මං හිතනවා අපේ ජනාධිපතිතුමාටත් අපේ අග්‍රාමාත්‍යතුමාටත්  මේ තිබුණු හැමදේම සකස් කරගෙන හොඳ ආර්ථිකයක් ගොඩනඟා ගෙන හොඳ ජන ජීවිතයක් මිනිස්සුන්ට සැකෙන් බයෙන් තොරව හොඳින් ජීවත් වෙන්න පසුබිමක් හදලා දෙන්න දැන් අවස්ථාව සැලසිලා තියෙනවා කියලා. ඒ නිසා මේ වසර කිහිපය තුළ මේ සියල්ලම අපි ඉෂ්ට සිද්ධ කර ගනිමු . මිනිසුන්ගේ හදවත් වලට දැනෙන විදිහට යමක් කරන්න යැයි නායක ස්වාමීන්වහන්සේ පැවසූහ.

ආචාර්ය පූජ්‍ය අග්‍රාහැර කස්සප හිමියෝ ද අග්‍රාමාත්‍යතුමාගේ මෙම ආගමික වතාවත්වලට වැඩම කළහ.

මෙම ආගමික වතාවත්වලට අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, උතුරු මැද පළාත් හිටපු අමාත්‍ය එච්.බී සේමසිංහ, අග්‍රාමාත්‍ය බෞද්ධ කටයුතු සම්බන්ධීකරණ ලේකම් ඒ. එම් රත්නායක මහත්වරු ද එක්වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress