බෞද්ධ ජනරජ ප්‍රවාදය – 54 වැනි කොටස- ‍දේපළ හිමිකමට ඥානයක්
Posted on January 24th, 2022

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

වර්තමානයෙහි අප රටෙහි නීති ගැටලු විශාල ප්‍රමාණයක් ඉස්මතු වී ඇත්තේ දේපළ හිමිකම, භුක්තිය, පවරාදීම සහ බදුදීම වැනි කරුණු ආශ්‍රිතව ය. සුරක්‍ෂිත සහ සැපපහසු ජීවිතයක් ගතකිරීම වෙනුවෙන් ද අනාගත පැවැත්ම තහවුරු කරගැනීම වෙනුවෙන් ද දේපළ හිමිකරගැනීමට සහ ඒවා නිරවුල් ලෙසින් පවත්වාගෙන යෑමට මිනිස්සු යොමුවෙති.

මෙ ලෙසින් හිමි කරගන්නා දේපළ ත්‍රිපිටකය තුළ නිධාන” ලෙසින් ද දක්වා තිබෙයි. ඛුද්දක නිකාය අටුවාවේ ඛුද්දකපාඨ තුළ විග්‍රහ කෙරෙන ප්‍රථම ගාථා වර්ණනාව තුළ එවැනි නිධාන සතරක් ගැන කියැවෙයි. එනම් ථාවර (ස්ථාවර), ජංගම, අංගසම සහ අනුගාමික වශයෙනි. රන්, රිදී, කුඹුරු, ඉඩම්, නිවාස යනාදිය ස්ථාවර නිධාන ලෙසින් එහි විස්තර කෙරෙයි. ඇත්, ගව, අස්, එළු, කුකුල් වැනි දෑ ජංගම නිධාන වෙයි. ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ දැනුම අංගසම නිධානය වෙයි. දාන, ශීල, භාවනාදී පින්කම් තුළින් උපයාගන්නේ අනුගාමික නිධානය වෙයි.

දේපළ නීතිය විසින් ආවරණය කෙරෙණුයේ ස්ථාවර සහ ජංගම සම්පත් ය. බුද්ධිමය දේපළ උපදින්නේ අංගසම නිධානයෙන් වුව ද නිෂ්පාදනයෙන් පසුව එහි ස්වරූපය වෙනස්වෙයි. (මූලික ස්වරූපයෙන් ගත් කල අංගසම නිධානය යනු සොර සතුරන්ට, රජ මැතිඳුන්ට ගත නොහැකි; ගින්නට හෝ ජලයට බිලි නොවන සම්පතකි).

පොදුවේ ගත් කල දේපළක් යනු රාජ්‍යය සතු සම්පතකි. රාජ්‍යය සන්තක යම් භූමි කොටසක් සහ ඒ ආශ්‍රිත අනෙකුත් සම්පත් යම් කෙනකු විසින් හිමිකරගැනීමෙන් එය පුද්ගලික දේපළක් බවට පත්වෙයි. එයට අමතරව, යම් යම් අයට බුද්ධිමය දේපළ හිමිකරගැනීමේ හැකියාව ද පවතියි. මෙම හිමිකම තහවුරු කළ යුත්තේ කෙ ලෙසින් ද, එම තහවුරුකිරීම වලංගු විය යුත්තේ කොපමණ කාලයකට ද යනාදී කරුණු දේපළ නීතිය තුළින් ආවරණය විය යුතු ය.

කිසියම් පුද්ගලයකු විසින් යම් දේපළක් භුක්තිවිඳීමට ලබාගන්නා සින්නක්කර අයිතිය සදාකාලික හිමිකමක් නොවේ. මහරජ ඔබ මේ පොළොවේ භාරකාරයා මිස හිමිකරු නොවන බව අවබෝධ කරගන්නැ”යි මිහිඳු මහරහතන්වහන්සේ විසින් දෙවනපෑතිස් රජතුමන් හට ලබාදුන් අනුශාසනාව ගැන අපි සැවොම දනිමු. මෙම ඔවදන ජනරජයේ වසන සියලු දෙනාට ම අදාළ වෙයි. අපගේ ජීවිත කාලය ද සීමාසහිත එකකි. කිසිදු අනතුරකට මුහුණ නොපා, කෙතරම් නීරෝගීව ජීවත් වුව ද වයස අවුරුදු අසූවක් හෝ ඒ ආසන්න කාලයක දී මෙ ලොවින් සමුගැනීමට අප හට සිදුවෙයි.

තම ජීවිත කාලය තුළ වෙහෙස මහන්සි වී උපයාගන්නා දේපළක් දරු මුණුපුරන්ට හිමිකරදීමේ අභිප්‍රාය ද අප හට වෙයි. මෙයට අදාළ සංස්කෘතික පුරුදු ද අප විසින් සළකා බැලිය යුතු වේ. මුණුපුරු පරම්පරාවෙන් (දරුවන්ගේ දරුවන්ගෙන්) ඔබ්බට හිතන අය, ඒ අයට දේපළ පවරාදීමට වෙහෙසෙන අය අප සංස්කෘතියෙහි නැති තරම් ය. තුන්වැනි පරම්පරාව වැඩිහිටියන් බවට පත්වෙන විට පළමු පරම්පරාවේ අය වයස්ගත වී අවසානය ය. එවැනි අය සිතන්නේ උඩින් කී දාන, ශීල, භාවනාදී පින්කම් තුළින් උපයාගන්නා අනුගාමික නිධාන ගැන පමණකි. තව ද, තුන්වැනි පරම්පරාවෙන් ඔබ්බට යන විට දරු – මුණුපුරු උරුමයට හිමිකරගත් දේපළ අයිතිය අහිමි කරගන්නා බවක් ද අපි අත්දැක ඇත්තෙමු.

එහෙයින් යම් අයකු විසින් වෙහෙස මහන්සි වී තහවුරු කරගත් ස්ථාවර දේපළක හිමිකාරීත්ව කාලය තීරණයකිරීමට උක්ත සංස්කෘතික කරුණු උපයෝගී කරගත හැකි ය. එ කී සංස්කෘතික කරුණ තහවුරු කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් කරනු ලබන සමීක්‍ෂණ සහ ඒ ආශ්‍රිත විධිමත් අධ්‍යයන තුළිනි.

මෙයට අමතරව, ස්ථාවර දේපළ ආශ්‍රිතව සිදුවෙන කාලීන වෙනස්කම් ගැන ද අපගේ අවධානය යොමුවිය යුතු වෙයි. දැන් පවත්නා තාක්‍ෂණය තුළ නිවසක ආයු කාලය අවුරුදු සියයක් පමණ වන බව කියැවෙයි. තව ද, කාලයෙන් කාලයට ඇතිවෙන රුචිකත්වයේ වෙනස්කම් ද මෙයට බලපායි. වර්තමානයේ අප ජීවත්වන නිවාසවල ස්වරූපය ඇතිව තවමත් ගත වී තිබෙන්නේ වසර හතළිහක පමණ කාලයකි. එ ලෙස සිදුවන වෙනස්කම් අනුව පැරැණි නිවාස අත්හැරීමට ද, අලුතින් නිවාස ඉදිකිරීමට ද මිනිස්සු පෙළැඹෙති.

සීමාවක් නොමැතිව ඉඩම් කොටස්වලට බෙදීම නිසා ඇතිවන සම්පත් විනාශය සහ පාරිසරික හානිය ද මෙහි දී සළකා බැලිය යුත්තේ ය. කෘෂිකාර්මික වටිනාකමක් ඇති ඉඩම් යටකොට නිවාස ඉදිකිරීම, ඒවාට ප්‍රවේශ මාර්ග ඉදිකිරීම වැනි කටයුතු නිසා අහිමිවන්නේ රාජ්‍යය සතු සම්පත් ය. මෙම හානිය වැළැක්වීමේ අභිපාය ද නිශ්චිත අයුරින් ප්‍රකාශයට පත්විය යුත්තේ ය.

ජනරජයේ දේපළ නීතිය සම්පාදනය විය යුත්තේ උක්ත සඳහන් සියලු කරුණු සළකා බලා වර්ධනය කරගන්නා දැනුමක් තුළිනි. මෙම දැනුම අදාළ විශේෂඥයන්ට පමණක් සීමාවිය යුත්තක් ද නොවේ. විධිමත් සහ අවිධිමත් අධ්‍යාපන වැඩපිළිවෙළ තුළින් මෙම දැනුම සමාජගතකිරීම මෙ රට දේපළ නීති ගැටලු විසඳීමේ මූලික පියවර වෙයි.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress