තවත් ණයක් ගන්න බැසිල් සැරසෙයි (වීඩියෝ)
Posted on January 28th, 2022

Courtesy Hiru News 

පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට රජය සාකච්ඡා කරමින් සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ලන්ඩන්හි ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත මුදල් අමාත්‍ය බැසිල් රාපපක්ෂ සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

ශ්‍රී ලංකාවට මේ වසරේ ඩොලර් බිලියන 6.9ක ණය ගෙවීම ඉතා දුෂ්කර බවත් ඖෂධ, අමුද්‍රව්‍ය, ඉන්ධන ඇතුළු සියල්ල සඳහා මුදල් සොයාගැනීමට සිදුවන බවයි මුදල් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබුණේ.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට යළි සාකච්ඡා කරන බව ද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශකර තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාව මේ වසරේ ගෙවීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට අදාළ ණය සම්බන්ධයෙන් සහනයක් ලබාගැනීම සඳහා එම බැඳුම්කරහිමියන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

සියලු පාර්ශ්ව සමඟ සියලු විකල්ප සඳහා උත්සාහ දරන බව සඳහන් කර ඇති මුදල් අමාත්‍යවරයා, ණය පැහැරහැරීමෙන් වැළකී ආර්ථික අර්බුදය සමනය කිරීමට වෑයම් කරන බවද පෙන්වා දී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට ද රජය අදහස් කරන බවත් එම සාකච්ඡා ඉදිරියට යමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබූ තවත් විශේෂ කරුණක්.

බැඳුම්කර හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන සාකච්ඡා කරන්නේදැයි නැඟූ පැනයට බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ, එවැනි දෙයක් සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවන බවයි.

ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සඳහන් කරන්නේ බෙලීස්, සැම්බියාව සහ ඉක්වදෝරය වැනි රටවලට පසු ශ්‍රී ලංකාව ද වසංගත තත්ත්වයෙන් පසු සිය ස්වෛරී බැඳුම්කර ණය පැහැර හරින රටක් බවට පත්වනු ඇතැයි බොහෝ ආයෝජකයින් මත පළ කරන බවයි.

චීනයෙන් සහ ඉන්දියාවෙන් අමතර ආධාර ලබාගෙන සංචාරක හා අපනයන ක්ෂේත්‍ර හරහා විදේශ මුදල් සංචිත ඉහළ නැංවීමෙන් රටට මෙම ඉරණම වළක්වා ගත හැකි යැයි ශ්‍රී ලංකා බලධාරීන් ද අවධාරණය කරන බව එම පුවත්පත පවසනවා.

ශ්‍රී ලංකාවට මේ වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක ණය ගෙවීම ඉතා දුෂ්කර තත්ත්වයක් බව තමන් දන්නේ යැයි සඳහන් කරන මුදල් අමාත්‍යවරයා ඖෂධ, අමුද්‍රව්‍ය, ඉන්ධන ඇතුළු සියල්ල සඳහා මුදල් සොයා ගැනීමට සිදුවන බවත් සඳහන් කර තිබුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress