කනදරාව ගොවි බිම්
Posted on February 8th, 2022

තිසර සමල් – අනුරාධපුර

රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර කනදරාව ගොවි ජනපදයේ යාය 02 ප්‍රදේශයේ 06 ඇළ හා 05 ඇළ ප්‍රදේශයේ ගොවි බිම් වෙත ගොස් වී වගාවන් හී තත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණයක ඊයේ (07) පස්වරුවේ නිරත විය.

රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා හමුවට, අමාත්‍යයවරයාගේ නිවසට කනදරාව ගොවි ජනපදයේ ගොවීන් පිරිසක් ඊයේ (07) පෙරවරුවේ පැමිණ අමාත්‍යයවරයා හමුවී කියා සිටියේ රසායනික පොහොර නොමැතිව තම වගාවන් විශාල ලෙස හානී සිදුව ඇති බවයි.මේ වන විට යූරියා මිටියක් රුපියල් 20 000 ක් පමණ වන බවද ඔවුන් අමාත්‍යයවරයාට පැවසීය. වගාවන් සඳහා විශාල මුදලක් වැය කළ තමන්ට පොහොර නොමැතිකම හේතුවෙන් වගාවන් විශාල ලෙස හානි සිදුව ඇති බවත්, එම හානිය බලන්නට නිළධාරියකු හෝ බළධාරියකු නොපැමිණි බවද ඔවුන් පැවසීය.

අමාත්‍යයවරයා ගොවීන්ගෙන් විමසා සිටියේ මම අද ආවොත් බලන්න පුලුවන්ද යූරියා ගහපු එවායි, කාබනික පොහොර ගහපු ඒවායි යනුවෙනි” ගොවීන් එහිදී කියා සිටියේ එන්න ඕන වෙලාවක අපි පෙන්වන්නම් යනුවෙනි.

ඒ අනුව ඊයේ (07) පස්වරුවේ අමාත්‍යයවරයා අදාල ගොවි බිම් වෙත ගිය අතර,එහිදී ගොවීන් අමාත්‍යයවරයා වෙත පෙන්වා දුන්නේ රජය මගින් ලබා දුන් උපදෙස් අනුව කාබනික පොහොර යොදමින් සිදු කළ  තම වී වගාවන්හී අස්වැන්න පසුගිය කන්නයන්ට වඩා  50% කින් පමණ අඩු වී ඇති බවයි. මෙම කන්නයේ රසායනික පොහොර යොදා සිදු කළ වගාවන් කීපයක්ද අමාත්‍යයවරයා නිරීක්ෂණය කළ අතර, ඒවායේ හොඳ අස්වැන්නක් පවතින බවද ගොවීන් එහිදී අමාත්‍යයවරයාට පෙන්වා දුන්හ.

කාබනික පොහොර යෙදු බව පැවසූ මාස 02 ක් අවසන් වූ වෙල් යායක ගොයම් පැළ වර්ධනය නොවී ඇති අයුරු දැක ගත හැකි වූ අතර, ගොවීන් එම ගොයම් පැළ හා වී කරල් අමාත්‍යයවරයාට පෙන්වමින් මෙවර අස්වැන්න 50% කින් පමණ අඩු වී ඇති බව පැවසීය. සාමාන්‍යයෙන් පසුගිය කන්නයේ අක්කරයකින් වී බුසල් 100 කට වඩා වැඩියෙන් ගත් බවත්,  මේ මේ පාර බත්වත් කන්න හම්බෙන්නේ නෑ අපිට.අපි රජයට කිසිම බරක් නැතිව ජීවත් වුණේ, අපි හානියටම පත් වුණා.රජයෙන් කිව්ව විදිහට රජයෙන් දුන්න පොහොර ඔක්කොම ගැහුවා යැයි ගොවීන් අමාත්‍යයවරයාට පැවසීය.

අක්කරයක් වගා කරන්න, හාන්න 13000 ක් යනවා, බිත්තර වී වලට රුපියල් 9000 ක් විතර වියදම් කරනවා, නියරවල් රහින්න, නියරවල් බඳින්න, වපුරන්න කම්කරු කුළිය යනවා, හරියට බැලුවොත් කපන්නේ පාගන්නේ නැතිව රුපියල් 50 000 ක් විතර යනවා, භූතයා ගහන්න රුපියල් 13 000 ක් යනවා.අපි කියන්නේ මේ වියදම් ටික බලලා අපිට සාධාරණ වන්දියක් දෙන්න කියලා.

ඔවයින් තමා අපි ළමයින්ගේ අධ්‍යාපනයට, මළ ගෙවල් මගුල් ගෙවල් වලට, පිංකම් , ගෑණීගේ-ළමයින්ගේ බෙහෙත් හේත්, මරණාධාර සමිති සමාගම් වලට මේ ඔක්කොටම තියෙන්නේ මේ වී බුසල තියෙන්නේ.වැඳලා ඉල්ලන්නේ මේකට සාධාරණයක් කරන්න කියලා.කාබනික වැඩේ හොඳයි,ආරම්භ කරපු විදිහ වැරදියි, 50 ට 50 දුන්නා නම් හරි, මුලින්ම බෙල්ල කැපුවා, ගොවියාට මේ රටේ ප්‍රමුඛත්වය දිය යුතුයි, ජලය පොහොර දීලා ගොවියා රැක ගත යුතුයි. යැයි ගොවීන් අමාත්‍යයවරයාට එහිදී පැවසීය.

අමාත්‍යයවරයා එහිදී ගොවීන්ට කියා සිටියේ, 

කාට බැන්නත් වැඩක් නෑ දැන්, දැන් අපි කරගන්න ඕන මේකට වන්දියක් දෙනවා නම් ඒ වන්දිය ගන්න ඕන, ඊළග කන්නය මේ වගේ වෙන්නේ නැතිව හරියට වගා කර ගන්න වට පිටාව හදා ගන්න ඕන, බැන්නට, කෑ ගැහුවට අපේ බඩ පිරෙන්නේ නෑනේ. මේ කන්නයේ ගන්න අස්වැනෙන්නේ  ඊළඟ කන්නය වෙනකල් ජීවත් වෙන්නේ.කන එක විතරක්  නෙමෙයි, අනෙක් හැම දේම කරන්නේ මේකෙන් ලැබෙන ආදායමෙන්නේ. මම වගකිව යුත්තන්ට කියන්නම්.මේ වැඩේ කරද්දීම අපි කිව්වා මේක හොඳ වැඩක්, හැබැයි මේක අදියර වශයෙන් කරන්න ඕන, එක පාරම මේ කරපු වැඩෙන් අපේ ගොවි මහත්වරු අමාරුවේ වැටෙන එක අපි කිව්වා.

ගොවීන් වැඩි දුරටත් කියා සිටියේ, 

කාබනික පොහොර වර්ග ගේන්න ආණ්ඩුව වියදම් කරපු මුදල් වලින් 50% ක් විදිහට රසායනික පොහොර හරි දුන්නා නම් අපිට හොඳ අස්වැන්නක් ලැබෙනවා.මේ කුඹුරු සමහර ඒවා බදු කුඹුරු ඒවාට වී බද්ධ දුන්නාම වගා කරපු ගොවියට ඉතුරු වෙන්නේ නෑ,මේ පාර හැදුන වී කරලක් අපි මේ දැක්කාමයි.වී කරලේ බොල් ඇට විතරයි තියෙන්නේ.මේ කුඹුරු යායම තෙල් පොහොර තිබුණා නම් හොඳට කරල් බර වෙලා තියෙන්නේ.මේ අදහස දුන්න මිනිස්සුන්ට ගහන්න ඕන, අපි ජීවත් වෙන්නේ මේ ගොවිතැනින්.කවදාවත් රජයක් මේ වගේ දෙයක් කලේ නෑ, මේ මහා අපරාධයක් අපිට කලේ.මේ කන්නය හොඳට වතුර ලැබුණා, තෙල් පොහොර තිබ්බා නම් හොඳ අස්වැන්නක් ගන්න තිබ්බා. පොහොර නැති කමත් එක්ක පොහොර කියලා ටයර් කුඩු දුන්නා. පොල් පොහොර හොඳයි කියලා පොල් පොහොරත් දුන්නා වී වලට.හොඳයි හොඳයි කියන හැම දේම ගොවියෝ කුඹුරු වලට ගැහුවා.

දැන් කුඹුරු කපන කොට ගොවි නියාමකට පෙන්වන්න කියලා තියෙනවා වන්දි දෙන්න, මේ යාය වල් වල ඔක්කොම කුඹුරු කපන කොට කොහොමද ගොවි නියාමකලා පාඩුව බලන්නේ.දැන් ඇවිත් බැලුවා නම් පාඩුව දැක ගන්න පුලුවන්.එයාලට පැලක් අටවගෙන මේ කුඹුරු වල ඉන්න ඕන.කාබනික පොහොර 04 ම දැම්මලු වගා හානි වන්දි දෙන්නේ, අපිට 04 ම දුන්නේ නෑ,අපිට නැනෝ නයිට්‍රජන් දුන්නේ නෑ.අපිට පුලුවන්නම් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්තුමා එක්ක සාකච්ජාවක් අරන් දෙන්න.කොම්පෝස්ට් හැදුවට අපිට සල්ලි දැම්මේ නෑ.යලට අපිට පොහොර ටික දෙන්න කොහොම හරි ඇමතිතුමා, අපිට සහනාධාර ඕන නෑ, රුපියල් 5000 කට වගේ පොහොර මිටියක් දුන්නාට කමක් නෑ,මහ ලොකු මිලට නම් එපා යැයි පැවසීය.

අනතුරුව අමාත්‍යයතුමන් යන්ත්‍ර මගින් වී  අස්වනු නෙලමින් සිටි කුඹුරක වෙත ගොස් එහි ගෙවිලියන්ගෙන්ද අස්වැන්නේ තත්වය විමසා සිටි අතර, කාබනික වගාවෙන් සිදු කළ තම වගාවේ අස්වැන්න 50% කින් අඩු වී ඇතැයි, පසුගිය කන්න වල මෙවර අස්වැන්න මෙන් දෙගුණයක් ගෙන ගිය බවද ඔවුන් පැවසුවාය.

ඉන් අනතුරුව යූරියා යොදා කළ වගාවන් කීපයක්ද අමාත්‍යයවරයාට ගොවීන් පෙන්වා දුන් අතර, ඒවායේ ගොයම් ගස් හොඳින් වැඩී, වී කරල් කරලින් බරවී තිබෙන අයුරුද දැක ගත හැකි විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress