ශෝක පණිවුඩය
Posted on April 17th, 2022

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

ප්‍රවීණ ජ්‍යොතිෂවේදියෙක්, පුවත්පත් කතුවරයෙක්, කවියෙක් හා සාහිත්‍යධරයෙක් මෙන්ම හිටපු විදුහල්පතිවරයෙක් වූ පියසේන රතුවිතාන මහතාගේ අභාවය අසා මම බලවත් ශෝකයට පත්වූයෙමි.

සමාජයේ වැඩිදෙනෙක් ජ්‍යොතිෂවේදියෙකු ලෙස හඳුනාගෙන සිටි පියසේන රතුවිතාන මහතා, කවිය, භාෂාව හා සාහිත්‍ය ආදී සෑම ක්ෂේත්‍රයකම විශිෂ්ටයෙකි.

කළුතර කොහොලාන ගම්පියසේ උපත ලැබූ රතුවිතාන මහතා, කොහොලාන විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා නිට්ටඹුව ජාතික අධ්‍යාපන පීඨයට ඇතුළත් විය.

උප ගුරුවරයෙක් ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයට මුල්ම පත්වීම ලබමින් සිය වෘත්තීය ජීවිතය අරඹන පියසේන රතුවිතාන මහතා සිය සේවා කාලය තුළ පාසල් 27 ක සේවය කරමින් දරුවන් දහස් ගණනක නැණස පෑදූවේය.

 සංඝාරම මද්දුම බණ්ඩාර” කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ලෙස ගුරු සේවයට විශ්‍රාම දෙන පියසේන රතුවිතාන මහතා පාසල් 17 කම විදුහල්පති තනතුර හෙබවීය.

සිය උපන් දිනය යෙදෙන දාට සමාජයට තමා විසින්ම රචිත ග්‍රන්ථයක් දායද කරමින් ආදර්ශයක් එක් කළ  පියසේන රතුවිතාන මහතා, ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඇතුළු  කවි, නව කතා සහ කෙටිකතා ග්‍රන්ථ 100කට අධික සංඛ්‍යාවක් රචනා කළේය.

සුබසෙත සහ මිහිර පුවත්පත්වල කර්තෘවරයා  මෙන්ම පෙරමග සඟරාවේ නියෝජ්‍ය කර්තෘ සහ කර්තෘ මණ්ඩල කළමනාකරු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වූ පියසේන රතුවිතාන මහතා, රූපවාහිනී සංස්ථාවේ  ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් ලෙසත් කලක් කටයුතු කළේය.

මධු සිහිනය”, ආත්මා”, සිස්ටර් මේරි”, විත්‍රපට තේමා ගීත ද, රණබිම මැරුණේ සිංහලයෙකු නම් – පපුවෙහි වෙඩි සළකුණ ඇත්තේ” නම් ජනතා හදවත් තුළ අමරණීය වූ රණවිරු ගීතය ද ඇතුළු ගීත විස්සක් පමණ පියසේන රතුවිතාන මහතාගේ ගේය පද රචනයට දැක්වූ සමත්කම විදාපායි.

කොළඹ කවි සමාජයේත්, අගනුවර තරුණ  කවි සමාජයේත් කැපී පෙනෙන සාමාජිකයෙක් වූ පියසේන රතුවිතාන මහතා කාව්‍ය කලාවට කළ සේවය අගයමින් 2021 වසරේ පැවති ශ්‍රී ලංකාවේ ප්‍රථම අස්පර්ශ උරුම රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී කාව්‍ය කලා කීර්ති” සම්මානයෙන්ද පුද ලැබුවේය.

මා ඇතුළු විධායක ජනාධිපතිවරු රැසක් ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ පියසේන රතුවිතාන මහතා එක්සත් ජාතික පක්ෂයේ මතුගම ආසන සංවිධායක ධුරය හොබවමින් 1989 දී  මහා මැතිවරණයට තරග කරමින් ක්‍රියාකාරී දේශපාලනයේද නිරත විය.

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ මහජන සම්බන්ධීකරණ නිලධාරියා ලෙසත්, ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු ලෙසත් කලක් කටයුතු කළ පියසේන රතුවිතාන මහතා, සිය ජීවිත අත්දැකීම් ඇසුරෙන් පරිණතයින් රැසක් රටට දායාද කළ උදාර මිනිසෙකි.

1931 වර්ෂයේ ඔක්තෝබර් 15 වෙනිදා උපත ලබා අවුරුදු 91ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූ පියසේන රතුවිතාන මහතාට නිවන් සුව අත්වේවා! යැයි ප්‍රාර්ථනා කරන අතර ඒ මහතාගේ අභාවයෙන් ශෝකයට පත් කිත්සිරි රතුවිතාන, අරවින්ද රතුවිතාන පුතුනුවන් සහ ලංකා රතුවිතාන, ගංඟා රතුවිතාන දියණිවරුන් ඇතුළු පවුලේ සමාජිකයන්ටත් ඥාති හිතමිත්‍රාදීන් ඇතුළු  හිතවතුන් හා ප්‍රදේශවාසී සැමටත් මාගේ බලවත් ශෝකය පුද කරමි.

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress