ගෑස්!
Posted on May 25th, 2022

වාගිස ප්‍රනාන්දු විසිනි.

ඊයෙත් නැහැ. අදත් නැහැ. හෙටත් නැහැ. අනිද්දා ගැන විශ්වාසයකුත් නැහැ.

අවුරුද්දට කලින් එකදිගට සුමානයක්ම නැහැ.

ලිට්‍රෝ ගෑස් ගැන මෙහෙම ලිව්වත් ලාෆ් ගෑස්වලට වෙච්ච දෙයක් හොයාගන්නත් නැහැ.

පසුගිය දිනවල මෙරටට ලගාවුනු ගෑස් නැව්වලින් ගෑස් ගොඩබෑම අයහපත් කාළගුණය නිසා ප්‍රමාදවෙන බව ගෑස් සමාගමේ සභාපති  පැවසූ නිසා වහාම ගැස් සමාගමේ ලොක්කන්ව කොප් කමිටුව ඉදිරියට ගෙන එන ලෙස උපදෙස් දුන්නේ රටේ පවත්නා ආර්ථික අර්බුධයෙන් ගොඩ ගැනීම සදහා ජනාධිපතිවරයාගේ එකම තේරීම වූ වත්මන් දියසෙන් කුමාරයා රනිල්.

රනිල්ව අගමැතිකමට පත් කලේ රට ගොඩගන්නද නැත්නම් රාජපක්ෂ පවුල ගොඩගන්නද කියන එක වෙනමම තලයක සාකච්චා කලයුතු බොහොම සංවේදී මාතෘකාවක්.

කලක් දොන් ජුවන් ධර්මපාලට සම කරමින් ඔහුව පතුරු ගැසූ දේශප්‍රේමී නඩය නියෝජනය කල පාච රණවක ඊයේ පෙරේදා රටේ අනාගත ගැන ඔහු සමග ලිපි හුවමාරුවකුත් සිදු කරලා. ඒ ඇත්තටම රටේ අනාගතය ගැනද? නැත්නම් තමන්ගේ අනාගතය ගැනද කියන එකනම් අපටත් ගැටළුවක්. සමහර විට හෙට අනිද්ද වනවිට අගමැතිගේ දෑත් ශක්තිමත් කිරීමට බඩ පිණුමක් ගහන්නත් බැරි නැහැ.

රැල්ලට බයනම් වැල්ලට එන්නේ නෑ කියාපු හරීන් සහ මලකටුවටත් වඩා පිනුම් ගහන්න ශූරයෙක් වූ මනූෂ ඊයේ පෙරේදා අප්පිරියාව නිසා අහක බලාගෙනම ගහපු පිනුම දැක්කනේ. ඒත් ඉතින් රට ජාතිය වෙනුවෙන් ලු නේ.

කෝප් කමිටුව ඉදිරියට ගෑස් සමාගම් ලොක්කෝ පැමිණියා. කොප් කමිටුවේ සභාපති චරිත් හේරත් ඔවුන්ට උපදෙසක් දුන්නා ගෑස් බෙදාහැරීම සම්බන්ධයෙන්. කෝප් කමිටුවේ අදහසවූයේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල විකල්ප බලශක්ති ප්‍රභේදයන් බෙහෙවින් සීමා සහිත හෙයින් ගෑස් බෙදාහැරීමෙදී සමස්ත බෙදාහැරීමෙන් 60% ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදාහරින ලෙසයි. ගෑස් සමාගම් ලොක්කෝ ඒ උපදෙස ඒ ආකාරයෙන්ම කෙසේවෙතත් වෙනයම් ආකාරයකින් හෝ පිළිගත් බවක් දැන්නම් පෙනෙන්නට නැහැ.

මන්ද? එදා සිටම කොළඹට ගම්පහට පමණක් නොවෙයි දිවයිනේ කිසිදු ප්‍රදේශයකට ගෑස් බෙදා හැරීම සිදු කලේ නැහැ. එහෙමත් නැත්නම් බෙදා හැරීම සිදුකලේ ඉතාමත් සීමා සහිතව. ඒ අතර තවත් ගෑස් නැව් කීපයකට මුදල් ගෙවූ බවත් පත්තර වල පළවුනා.

ඒ එක්කම මාධ්‍ය හරහා ගෑස් සමාගම් ලොක්කෝ රටේ සොක්කන්ට පසුගිය දිනවල දිගින් දිගටම කියන්නේ ගෑස් පොළිම්වල රස්තියාදු වෙන්න එපා කියලා. ගෑස් බෙදන්නේ නෑ කියලා.

එහෙම කියන නිසාම අපිට ලොකු සැකයක් ඇතිවෙනවා.

ඉන්ධන මිළ පසුගියදා ඉහළ දැමීමට පෙර මහින්ද විජේසේකරගේ පුත්‍රයා වන කාංචන විජේසේකර තරුණ ඇමතිවරයා දිගින් දිගටම කිව්වේ පෙට්‍රල් පෝලිම්වල රස්තියාදු වෙන්න එපා. ගෙවල්වලට යන්න. පෙට්‍රල් එන නොඑන බව දැනගන්න සිපෙට්කෝ අළුත් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා තමයි. අපිත් හිතුවේ පසුගියදා පැවැති වැස්සට තෙමිලා මිනිස්සු රෝගීවීම ගැන හිතලා ඇමතිවරයා එහෙම කියන්න ඇති කියලා. මොකද? දැන් පෙනඩෝල් පෙත්තක් හොයාගන්න එක පොලිඩෝල් හොයාගන්නවටත් වඩා බොහොම අමාරු කටයුත්තක් නිසා.

හැබැයි ඇමතිගේ සත්ව කරුණාවේ මහිමය අපිට අවබෝධවුනේ පසුගිය 24 වනදා මහ පාන්දර. ඉන්ධන මිළ වැඩි කරලා. ඇමතිවරයා රටේ වාහන හිමිකරුවන් ගැන කොයිතරම් හිතනවද කියල ඇත්තවම දැනගත්තේ එච්චර මිළ ඉහළ දැමීමක් කරලත් පෙට්‍රල් වලින් රුපියලක් තවමත් පාඩුලු. පාඩුව රුපියලෙන් රුපියල එකතු කරලා එකතු කරල ඊට අමතරව පොලියකුත් හදලා ඒකත් හෙට අනිද්දම අපෙන්ම අය කරගන්නත් බැරි නැහැ.

ගිනි පෙලෙල්ලෙන් බැට කාපු එකා කනාමැදිරි එළියටත් බයයි කියල කතාවක් තියෙනවනේ. ඒ නිසා තෙල් ඇමතිගේ සත්ව කරුණාව ගැන හිතද්දී, ගෑස් ලොක්කන්ගේ කරුණාව ගැනත්  දැන් ඇත්තටම අපිට දැනෙන්නේ බයක්. රටේ මිනිසුන්ගේ දුක දැනෙන ජාතික ප්‍රතිපත්ති සම්පාදක ඇමතියෙක් අපටත් හිටියනම් කියලා හිතෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි.

දැනුයි ආරංචි වුනේ. මුදල් ,ආර්ථික ස්ථායිතා ජාතික ප්‍රතිපත්ති  අමාත්‍ය ධුරයෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උන්නෑහේ දිවුරුම් දීලා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress