ලංඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සෙනසුරාදා දිනයේත් කොන්සුලර් සේවා සපයයි.
Posted on June 2nd, 2022

ජනක අලහප්පෙරුම

ලංඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සෙනසුරාදා දිනයේත් කොන්සුලර් සේවා සපයයි.

ලංඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය (Sri Lanka High Commission in London )ලබන ජුනි 11 වනදා සිට සෙනසුරාදා දිනයන් හිදීත් එක්සත් රාජධානියේ හා මහ බ්‍රිතාන්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකිකයින්ට සෙනසුරාදා දිනයන් හිදීත් කොන්සුලර් සේවා සැපයීමට තීරණය කර තිබේ. මෙරට ජීවත්වෙන ජනතාවගේ පහසුව පිණිස, විශේෂයෙන් දුර බැහැර සිට පැමිණෙන සහ සතියේ දිනවල රාජකාරී බහුලත්වය හේතුවෙන් කොන්සුලර් සේවා ලබා ගැනීමට ලංඩනයට පැමිණීමට විවිධ අපහසුතා වලට මුහුණ දෙන ජනතාවගේ පහසුව පිණිස මෙම තීරණය ගෙන තිබේ. දන්නා ඉතිහාසයේ මෙලෙස සෙනසුරාදා දිනයන් හිදීත් මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සුලර් සේවාව විවෘත වන්නේ ප්‍රථම වතාවටයි. 

කාලයක් තිස්සේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය ඇතුළු විවිධ පාර්ශව විසින් අවස්ථා ගණනාවකදී සිදුකරන ලද ඉල්ලීම වල ප්‍රතිඵලයක් හා කාළීන අවශ්‍යතාවය පරිදි විශේෂයෙන්ම වර්තමාන මහ කොමසාරිස් සරෝජ සිරිසේන මහත්මිය හා නියෝජ්‍ය මහ කොමසාරිස් සමන්ත පතිරණ මහතාගේ පූර්ණ මැදිහත් වීමෙන් මෙම තීරණය ගෙන තිබේ. මීට ප්‍රථමත් හිටපු තානාපති නිලධාරීන් අවස්ථා කිහිපයකදීම සෙනසුරාදා දිනයන් හි කොන්සුලර් සේවා සැපයීමට උත්සහ ගත්ත ද විවිධ ප්‍රයෝගික හේතුන් මත ඒ සියලු උත්සාහයන් යථාර්තයක් කර ගැනීමට නොහැකි විය. මෙවර එය සාර්ථක කර ගැනීමට හැකි වීම සතුටට කරුණකි. එහෙයින් සති අන්ත දිනයයන් හි මෙම සේවාව ලබා ගන්නා පිරිස් විශේෂයෙන් වර්තමාන මහ කොමසාරිස් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ ස්තුතිය පුද කල යුතුමය. සති අන්ත තම රාජකාරි නිවාඩු දිනයක් වුවද මෙරට ජනතාවගේ පහසුව පිණිස සෙනසුරාදා දිනයන් හිදී කොන්සුලර් සේවා විවෘත කර තැබීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ එම අංශයේ නිලධාරීන්ට ද මෙහිදී ස්තුතිය පුද කල යුතුය.

එහෙත් සේවා හා රාජකාරි ලබා දීමේ පහසු වන පරිදි සෙනසුරාදා දිනයන් හි කොන්සුලර් සේවාව පෙර දිනයයන් හා වේලාවන් කලින්ම වෙන් කරවා ගන්නා පිරිසට පමණක් සීමා වේ. මීට ප්‍රථම මහ කොමසාරිස් කාර්යාලය මගින් අවස්ථා කිහිපයකදී ජංගම කොන්සුලර් සේවා අවස්ථා කිහිපයක්ම සංවිධානය කළේය. එහෙයින් මේ වන විට කොවිඩ් වසංගත තත්වය පහව ගොස් ඇති බැවින් අනාගතයේදී වසරකට දෙතුන් වතාවක් හෝ එක්සත් රාජධානියේ විවිධ ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම කොන්සුලර් සේවාව නැවතත් ජංගම කොන්සුලර් සේවා සැපයීම දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරමි. 

සෙනසුරාදා දිනවල දී කොන්සියුලර් අංශයට පැමිණීමට අපේක්ෂා කරන ජනතාව මෙම  සබැඳිය https://hclappointments.embassyonline.lk ඔස්සේ අන්තර්ජාලය හරහා කල්තබා වේලාවක් වෙන්කර ගන්නා ලෙස මහ කොමසාරිස් කාර්යාලය කරුණාවෙන් දන්වා සිටියි.

ජනක අලහප්පෙරුම

සභාපති- බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress