මාගේ පුද්ගලික නිවස ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් ට්විටර් පණිවිඩ නිකුත් නොකිරීම විමතියට කරුණක්’
Posted on July 23rd, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ඉන් ඉවත්වන ලෙස පූර්ව දැනුවත් කිරීම් කිහිපයක්ම සිදුකර තිබුණ ද, පෙරදින රාත්‍රිය වනතෙක්ම ඔවුන් ඉන් ඉවත් නොවීම හේතුවෙන් පොලිසිය සහ හමුදාව යොදා ඔවුන්ව ඉවත් කිරීමට කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස් තානාපතිවරුන් හමුවේ පවසා තිබෙනවා.

ඒ විදෙස් තානාපතිවරු කිහිපදෙනෙකු ජනාධිපතිවරයා සමග සිදු කළ සාකච්ඡාවක් අතරතුරයි.

මේ අතර ඊයේ අලුයම ඇතිවු සිද්ධියෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ආරක්ෂාව තවදුරටත් දැඩිකොට තිබෙනවා.

අරගලකරුවන් ඉන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කළ අතර එහිදී නොසන්සුන්තාවක් ද උද්ගත වී තිබුණා.

එහිදී ත්‍රිවිධ හමුදා සහ පොලිසිය ජනපති ලේකම් කාර්යාලය යළි සිය භාරයට ගැනීමට කටයුතු කළා.

මේ අතර ගාලුමුවදොර සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල ප්‍රකාශකවරයා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එමඟින් සඳහන් කර ඇත්තේ, බලය යෙදවීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන ගැටලුව විසඳීමට හැකියාවක් නොහැකි බවයි.

මේ අතර ගාලුමුවදොර සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් තානාපතිවරු ඇතුළු ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමුවූ පසුබිමක මෙරට අමෙරිකානු තානාපතිනි ජුලී චංග් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ට්විටර් සටහනක් නිකුත් කරමින් ඇය පවසන්නේ, යහපත් අනාගතයක් සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාවක් හා වගකීමක් පවතින බවයි.

අමෙරිකානු තානාපතිවරියට අමතරව බ්‍රිතාන්‍ය, ජර්මානු, කැනඩා මෙන්ම යුරෝපා සංගමයේ තානාපතිවරු හා නියෝජිතයින් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, ජනාධිපති ලේකම් කාර්යාලය මෙරට ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල බවත්, රාජ්‍යතාන්ත්‍රික කටයුතු මෙහෙයවන්නේ එමස්ථානයේ සිට බවයි.

ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් මෙන්ම වැදගත් ලියකියවිලි රැසක් එම ස්ථානයේ පවතින බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

විරෝධතාකරුවන්ට ඉන් ඉවත්වන ලෙස පූර්ව දැනුවත් කිරීමක් සිදුකර තිබුණ ද, පෙරදින රාත්‍රිය වනතෙක්ම ඔවුන් ඉන් ඉවත් නොවීම හේතුවෙන් පොලිසිය සහ හමුදාව යොදා ඔවුන්ව ඉවත් කිරීමට කටයුතු කළ බව ද ජනාධිපතිවරයා තානාපතිවරුන්ට ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා අමෙරිකානු තානාපතිවරියට පෙන්වා දී ඇත්තේ, අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල සහ කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල එරට විරෝධතාකරුවන්ගෙන් මුදාගැනීම සඳහා අමෙරිකානු ආරක්ෂක අංශ ද කටයුතු කරනු ලැබුවේ මෙවැනි ආකාරයෙන් බවයි.

වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේ තම නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු පාර්ශ්වයක් ට්විටර් පණිවුඩ නිකුත් නොකිරීම සම්බන්ධයෙන් විමතියට පත්වන බවද ජනාධිපතිවරයා තානාපතිවරු හමුවේ සඳහන් කර තිබෙනවා.

මේ අතර, ගාලු මුවදොර විරෝධතාකරුවන් මේ වනවිට රැඳී සිටින ස්ථානයේ අද තත්ත්වය සන්සුන්කාරී බවක් ඉසිලුවා.

ඔවුන් ඊයේ රාත්‍රියේ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන ආකාරය ද දැකගත හැකිවුණා.<br /><br />අදත් කොළඹ කොටුව‍, ලෝටස් පාර හා ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කර ඇති ආකාරය දක්නට ලැබුණා.

මේ අතර අරගලකරුවන්ට එල්ල වු ප්‍රහාරයට විරෝධය පළ කරමින් සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය ප්‍රදේශ කිහිපයකදී උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමි පක්ෂය සමඟ එක්ව වයඹ විශ්වවිද්‍යාල සිසුන් සංවිධාන කළ උත්ඝෝෂණයක් කුලියාපිටය නගරයේදී පැවැත්වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress