අපේ හුළං ටිකත් ඉන්දියාවට
Posted on August 27th, 2022

සමීර කන්නන්ගර Lanka Lead News

අපගේ මාතෘ භූමියේ සියලු අයිතීන් දිනෙන් දින විදේශිකයන් අතට පත්වෙමින් තිබේ. මෙතෙක් කලක් විකුණනු ලැබුවේ භූමිය පමණි. දැන් එම තත්ත්වය වෙනස් කරමින් අපගේ හිරු එළිය, සුළඟ, මුහුද පවා විදේශිකයන්ට විකිණීමට පටන් ගෙන තිබේ. එහි එක් පියවරක් ලෙස පසුගියදා මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීමට අදානි ග්‍රීන් එනර්ජි සමූහයට තාවකාලික අනුමැතිය ලබා දෙනු ලැබීය. මේ ආකාරයෙන් නොරටුන්ට විකුණනු ලබන්නේ ලක් මවගේ ප්‍රාණ වායුවයි. මෙරට අනාගත පරපුරේ උරුමයයි.

මෙම බලාගාර දෙක ඉදිකරනු ලබන්නේ මන්නාරමේ හා පුනරීන්වලය. මන්නාරමේ ඉදිකරන බලාගාරය මෙගාවොට් 286 ක්ද, පුනරීන් බලාගාරය මෙගාවොට් 234 ක්ද වශයෙන් ඉදිකිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ඉක්මවයි. රටට විදේශ ආයෝජන පැමිණීම හොඳ දෙයකි. අඩු මිලට විදුලිය ලැබිය හැකිනම් එයද හොඳ දෙයකි. නමුත් මෙරට සම්පත් නිසි ඇගයීමකින්, ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඒ සඳහා ඉදිරිපත් විය හැකි මෙරට ආයතන තිබියදී විදේශිකයන්ට විකිණීම නම් කිසිසේත් අනුමත කළ නොහැක.

රට තුළ ආන්දෝලනයක් ඇතිවීම
මෙම සුළං බලාගාර සම්බන්ධයෙන් පසුගිය කාලයේ රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිවිය. ඒ විදුලිබල මණ්ඩල හිටපු සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයක් නිසාය. එහිදී ඔහු පැවසුවේ ජනාධිපතිවරයා (ගෝඨාභය) සාකච්ඡාවකින් පසු ඔහුව ගෙන්වා පුනර්ජනනීය සුළං බලශක්ති ව්‍යාපෘති දෙක අදානි සමාගමට දෙන ලෙස පැවසීමයි. ඒ සඳහා ඉන්දීය අගමැති මෝදි මහතා බලපෑම් කළ බවද පැවසීය. එහිදී ඔහු බොහොම සිනාමුසු මුහුණින් එය පැවසුවද පසුව පැවසුවේ එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත්, ඒ අවස්ථාවේ තමා ආතතියෙන් එම කරුණු පැවසූ බවත්ය. එමෙන්ම විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාර්යබහුලත්වය නිසා එසේ ප්‍රකාශ කළ බවද පැවසීය.

වෘත්තිය සමිති විරෝධය
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසුවේ ආණ්ඩුව ලහි ලහියේ මෙම පනත සම්මත කර ගත්තේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මෙම ව්‍යාපෘති දෙක අදානි සමූහයට දීමට බවය. ටෙන්ඩර් පටිපාටියට අනුව ගැනුම්කරුවන් සොයා ගන්නවා වෙනුවට ඇමැතිවරයාට අභිමත පරිදි ඊට අනුමැතිය දීමට හැකි පරිසරය මෙම පනත සම්මත කිරීමෙන් ලැබෙන බවත් මෙම ව්‍යාපෘතිය අදානි සමූහයට ලබාදුන් ගිවිසුම හරහා වෙනත් සමාගමකට නැවත සුළං විදුලි බලාගාර හැදීමට නොහැකි ලෙස තනි අයිතිය එම සමාගමට හිමිවන බවත් පවසයි. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ දැන් අපට නොමිලේ ලැබෙන සුළඟත් නෑ, හිරු එළියත් නැහැ, භූමියත් නැහැ යනුවෙනි. පසුගිය දිනක ලංකාවට පැමිණි ඉන්දීය නියෝජිතයන් පිරිස අලුත් යෝජනා කීපයක් දුන් බවත් ඉන් මෙරට ඛනිජ තෙල්, හිරු එළිය, සුළං ආදී සෑම ක්‍ෂේත්‍රයකම අයිතිය ඔවුන් සතුකර ගැනීමට පිඹුරුපත් සකසා ඇති බවත් ඔහු පවසයි.

මෙම පුනර්ජනනීය බලශක්ති සුළං විදුලි බලාගාර හැදීමෙන් බලාපොරොත්තු වන්නේ අඩු මිලට ජනතාවට විදුලිය ලබාදීමයි. නමුත් මේ වන විට ලැබෙන තොරතුරු අනුව එම බලාපොරොත්තුව ඉෂ්ට වේ දැයි සැක සහිතය. එයට හේතුව මෙයින් නිපදවන විදුලිය මණ්ඩලයට ලැබෙනුයේ ඩොලර් ශත 0.75 කටය. නමුත් දැනට පවතින තම්බපවනි බලාගාරයෙන් විදුලිය ලබා දෙනුයේ ඩොලර් ශත 0.4 කටය.

මේ සම්බන්ධව අදහස් දැක්වූ විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා පවසා තිබුණේ මුලින් අදානි සමාගම විදුලි ඒකකයක් ඩොලර් ශත 0.65 කට දීමට එකඟ වී සිටි බවත් පසුව එය වෙනස් වීම සැක සහිත බවත්ය.

ටෙන්ඩර් කැඳවීම්වලින් තොරව මේ ආකාරයෙන් විදුලිය මිලට ගැනීමෙන් පාඩුව සිදුවන්නේ මෙරට විදුලි පාරිභෝගිකයන්ටය. මෙවන් සැකමුසු තැන් කීපයක් සමග ආරම්භ වන මෙම බලාගාර පිළිබඳ පාර්ලිමේන්තුව තුළද පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු රැසක්ම අදහස් දක්වා තිබිණි. පසුගියදා අතුරලියේ රතන හිමියන් මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

පාර්ලිමේන්තුවේත් විවාද
විදේශීය සමාගම්වලින් විදුලිය නිපදවීමට තමන් වහන්සේ විරුද්ධ නොවන නමුත් එය සිදුවන්නේ කුමන ආකාරයෙන් දැයි ගැටලුවක් පවතිනවා. අවසානයේ අපගේ සුළඟත්, එහි අධිකාරයත් කොම්පැණිවලට ලැබෙන බැවින් ගිවිසුම්වලට එළඹීමේදී අප ගන්නා හුස්ම ටිකේ අයිතියවත් අපට තිබිය යුතුයි. අපට ස්වභාවධර්මයෙන් ලැබෙන හිරු එළියට, සුළං ටිකට ඩොලර්වලින් ගෙවීම් කළ නොහැකියි.”

මීට පිළිතුරු වශයෙන් කංචන විජේසේකර ඇමැතිවරයා පැවසුවේ නිකන් ලැබෙන සුළඟ යැයි, නිකන් ලැබෙන හිරු එළිය යැයි පවසමින් අව්වේ පිච්චෙමින් සුළං වැදෙමින් සිටිය හැකි බවත්, නමුත් මේවා පාවිච්චි කළ හැකි වන්නේ මේ සඳහා ආයෝජනය කළ හැකි, දැනුම ඇති පුද්ගලයන් පැමිණියහොත් පමණක් බවයි. එලෙස ආයෝජකයන් පැමිණියහොත් පමණක් දේශීය ආයතන සඳහාද අවස්ථාව ලබාදිය හැකි බව වැඩිදුරටත් පැවසීය.

මෙරට සතු තාක්‍ෂණය
මෙරට අතීත මුතුන් මිත්තන් සතු ශිල්පීය ඥානයට අභියෝග කිරීමට ලොව මෙතෙක් රටක් බිහිව නොමැති තරම්ය. සුද්දා කැලේ සිටින කාලයේ අපේ මුතුන් මිත්තන් උඩින් ගියහ. දියුණු වාරි ශිල්පීය ක්‍රම භාවිත කළහ. සෑම ක්ෂේත්‍රයකින්ම එය ඔප්පු වේ. සුළං බලය සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙනි. සුළං බලය යොදාගෙන කර්මාන්ත ශාලාවක කටයුතු කළ ලොව පළමු රට ශ්‍රී ලංකාවයි. ඒ කිස්තු පූර්ව 3 වන සියවසේදී යකඩ උණුකරන උදුන් ක්‍රියාත්මක කිරීම හරහාය.

අපගේ පම්බපවනී සුළං බලාගාරය විවෘත කිරීමේ උත්සවයට එක්වූ එවකට විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතියේ සැලසුම, ඉංජිනේරු තාක්‍ෂණය, ශක්‍යතා අධ්‍යයන ආදී සියල්ල ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සතු බවයි. මෙවන් බලාගාර හැදීමට අවශ්‍ය දැනුම මෙරට සතු නම් ඉන්දියාව දෙසින් නිදහසේ හමා එන සුළඟ නැවත ඉන්දියාවේ සමාගමකින්ම ඩොලර්වලට මිලට ගත යුතු නැත. මේ ඇදී යන්නේ මෙරට විදෙස් සංචිතයි. මෙරට බලශක්ති ඒකාධිකාරයයි.

එසේම පම්බපවනී බලාගාරය විවෘත කිරීමේ උත්සවයේදී දුමින්ද දිසානායක මහතා පැවසුවේ එම බලාගාරය සඳහා වැයවන මුදල අවුරුදු 3 ක් තුළ උපයා ගැනීමට හැකි බවයි. එසේනම් අදානි සමාගම මෙම බලාගාර දෙකින් මොනතරම් ලාභයක් ලබයිද. අප මුළු ජීවිත කාලය තුළම ඉන්දියාවට ඉහළ මිලක් ගෙවා ඔවුන් කියන ගණන්වලට විදුලිය මිලට ගත යුතු නොවේද?. මේ ආකාරයට අඩු මිලට විදුලිය නිපදවිය හැකි බලශක්ති ප්‍රභවයන් විදේශිකයන් අතට පත්කිරීම නිසා අවසානයේ සිදුවන්නේ විදුලි පාරිභෝගිකයන් විදෙස් සමාගම්වල අඩන්තේට්ටම්වලට ලක්වීමටයි. දැන් සිටින පාලකයන් සිදුකරනුයේ ලක් මවගේ දේහයේ කොටස් එකිනෙක විකිණීමයි. විදේශීය වෙළෙඳපොළේ ප්‍රසිද්ධ වෙන්දේසියේ මේ දිනවල අලෙවි කරන්නේ මෙරට ප්‍රාණ වායුවයි. ඒවා විකුණා ලැබෙන මුදලින් කා බී විනෝද වෙති. අවසානයේ ලක්මව මියැදුණු පසු හත් දවසක් නොව දින 14 ක්ම ලක්මව තබාගෙන බූරු ගැසීමට සූදානම් පිරිසක් අදවන විට පාර්ලිමේන්තුව තුළ සිටී. ඊට අනුබල දෙන තවත් පිරිසක් නිලධාරි පැළැන්තියේ සිටී. මේ කිසිවකුට ලක්මව සුවපත් කර ගැනීමට යළි දෙපයින් නඟාසිටුවීමට කිසිදු වුවමනාවක් නැත. ඔවුන්ට අමතකව ගිය දෙයක් වන්නේ මේ සියල්ල නැති වූ කල ඔවුන්ටද මෙරට සිටීමට සිදුවනුයේ වහල්ලුන් ලෙස බවය.

සමීර කන්නන්ගර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress