සිංහල භාෂාවේ පිරිහීම සිදුවන්නේ ප්‍රගතියේ නාමයෙන්ද?
Posted on August 29th, 2022

Geethanjana

සිංහල භාෂාවේ පිරිහීම සිදුවන්නේ ප්‍රගතියේ නාමයෙන්ද? ඇත්තටම එහෙම වෙන්නේ ඒ නිසාද?

සිංහල හරියට කතා කරගත නොහැකි රාජ්‍ය නායකයින් පත් කර ගන්නා රටේ දේශීය ජනයාගේ භාෂාව පිරිහීම අහඹු සිදුවීමක් නොවේ. සිංහල භාෂාව යනු නුදුරු අනාගතයේදී ලෝකයේ අතුරුදහන් වන භාෂාවන් අතරින් එකක් බව මානව විද්‍යාඥයින් මෙන්ම අදාල ජාත්‍යන්තර සංවිධාන විසින් හඳුනාගෙන ඇත. එය එසේ වීම යහපත් බව සිහලයා විසින්ම තීරණය කොට ඇත. එය එසේනම් ඒ පිළිබඳව අපට කල හැකි දෙයක්ද නොමැත.

මම අහම්බෙන්, ඇත්ත වශයෙන්ම වැරදීමකින් ක්ලික් වීම නිසා අද පැරණි ගීතයක් ඇසුවෙමි. මට එක වරම සිතුනේ එම ගීතය ලියවුනු කාලයේ ලංකාව වෙනස්ම රටක් බවය. අධ්‍යාපනයද ඉහල තත්වයක පැවතිනි. එකල දේශපාලකයින් සොරකම් කලේ නැත. ඒ වෙනුවට සිරිමාවෝ වැනි නායිකාවන් තම දේපල රජයට භාරදුන්නාය. ලෝක ඉතිහාසයේ කිසි තැනෙක එවන් උදාහරණයක් හමු නොවේ. නමුත් JR ජයවර්ධන අයගේ ප්‍රජා අයිතිය අහෝසි කල විට ලංකාවේ අකෘතඥ ජනයා ගොළුවතින් නිහඬව සිටියහ. JR GO ගම් එදා ගෝල්ෆේස් පිටියේ බිහි නොවීය. ඩඩ්ලි සේනානායක මියයන විට ඔහුගේ ගිණුමේ තිබුනේ රුපිය 400 යයි ප්‍රකට කියමනක් තිබේ. මම එය විශ්වාස කරමි. DS සේනානායක වැනි නායකයින් මහා පරිමාන ගල් ඔය ව්‍යාපාරය මුළුමනින්ම ඉවර කලේ අපේ භාණ්ඩාගාරයේ සුද්ද තබා ගිය මුදල් වලිනි. ලෝකෙට නය වී නොවේ. සුද්ද අපේ රෙද්දන්ට වඩා හොඳට රට පාලනය කර තිබෙන බව ඉන් වැටහේ. අද අප මුහුණදෙන බොහොමයක් ප්‍රශ්න වලට වග කිව යුත්තේ 1977 පත් උණු රජයයි. මේ ණයකාර සංස්කෘතිය ඇතිකළේ ඔවුන්ය.

මම ඉහත සඳහන් කල ගීතය අසු විට මට දැනුනේ අද තිබෙන ලංකාව 1970 තිබුණු ලංකාවට වඩා පිරිහුණු රටක් බවය. පහත සඳහන් ගීතය ලියා තිබෙන්නේ අජන්තා රණසිංහ විසිනි. අජන්තා සුද්දා ලංකාවේ අධ්‍යාපනය හසුරුවන කාලයේ බිහිවූ කවියෙකි. චන්ද්‍රරත්න මානවසිංහ, එදිරිවීර සරත්චන්ද්‍ර, මහගමසේකර, කේයස්, ඩබ්.ඒ ද සිල්වා, මාටින් වික්‍රමසිංහ හා මෙකී නොකී මේ සියලුදෙනා සුද්ද බිහිකළ කවියෝ හා රචකයෝ වෙති. නිදහස් ලංකාවේ බිහිකළ කවියෝ හා රචකයෝ කොපපමන සිටීද? ඒ අතලොස්සක් දෙනා නොවේද? අප ආපස්සට ගොසින් නැද්ද? සුද්ද තරම්වත් අපේ රෙද්දා රටගැන සිතා නොමැති බව මෙයින් නොපෙනේද? JR. ජයවර්ධන නමැති නාකි නරියා (The Old Fox, [copyright – Basil Fernando]) විසින් ජාත්‍යන්තර පාසල් ඉඳි කිරීමෙන් පසු සිංහල දන්නා තරුණ පරපුරක් බිහි නොවීය. නිදහස් අධ්‍යාපනය අද බල්ලට යවා තිබේ, මන්ද සියලුම දේශපාලකයින්ගේ දරුවන් යන්නේද ජාත්‍යන්තර පාසල් වලට නිසාවෙනි. මෙය මම හොඳින්ම දන්නේ මගේ සමකාලින මිතුරන් ජාත්‍යන්තර පාසල්වල උගන්වන ගුරුවරුන් වන නිසාය. පාර්ලිමේන්තුවේ වාම වාදී හඬවල් ඇති බොහොමයක් ඇමතිවරු හා මන්ත්‍රී වරුන්ගේ දරුවන් අවශ්‍ය වුවහොත් නම් සහිතව ඉදිරිපත් කල හැක.

අද තරුණ පරපුරට භාෂා ඥානයක් නොමැති නිසා පහතින් ඇති ගීත රචනාව වැනි රචනාවක් ඔවුනට තේරුම් ගත නොහැක. සුද්ද ලංකාවේ දරුවන්ට ඉංග්‍රීසි සහ සිංහල යන දෙකම හොඳින් ඉගැන්වීය. නමුත් රෙද්දා මේ සම්ප්‍රදාය කඩ කොට ඉංග්‍රීසි පමණක් ඉගැන්වීය. ඒකත් හරියට කෙරෙන්නේ ජාත්‍යන්තර පාසල් වල පමණි. සුද්දා ළමුන්ට සිංහල උගන්වන විට සංදේශ කාව්‍ය පවා ඉගැන්වීය. සිදත් සඟරාව ඉගැන්වීය. නමුත් රෙද්දා මේවා ගැන අසාවත් නොමැත. සියලුම දේශපාලකයන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන නිසා, නුදුරු අනාගතයේ ලංකාව පාලනය කරනු ඇත්තේ ඔවුන් විසිනි. අන්න ඒ දිනයට මුහුණ දීමට අප සුදානම්ව සිටිය යුතුය.

පහත සඳහන් වන්නේ මා ඇසූ එම ගීතයයි. රචනය අති විශිෂ්ට ගීත රචක අජන්තා රණසිංහ විසිනි. ගායනය කරන්නේ අසහාය ගායක සනත් නන්දසිරි ය. දැන් අපි ගීතය අහමුකෝ….

පෙමාතුර හැඟුම් – ඇගේ නෙත් කැලුම්

හද සන්තානයේ සදා සරනා ආයාචනා සුසුම්

නුරාගික පැතුම් – පිපාසිත සිතුම් –

මන මන්ධිරයේ කළාලය මත මී අමා බඳුන්

——-

නියාලුව හදින් – පියා නෙතු පියන්

යොමා යුග සවන් තනි වෙමි ඇගේ ගී නදින්

මුදා නිදි දැහැන් – එබී ලෙන් දොරින්

අරාජික පාරාදීසය සොයා එමි සිතින්

——–

පෙමාතුර හැඟුම් ………

———-

අරා සිරි යහන් – නිදා වැතිරෙමින්

සරා සලෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්

සුරා මල් පැනින් – පොඟා යුග ලවන්

පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්

——–

පෙමාතුර හැඟුම් – ඇගේ නෙත් කැලුම්

හද සන්තානයේ සදා සරනා ආයාචනා සුසුම්

නුරාගික පැතුම් – පිපාසිත සිතුම් –

මන මන්ධිරයේ කළාලය මත මී අමා බඳුන්

මොන තරම් සුන්දර රචනාවක්ද? බලන්නකෝ මේ කොටස…

“මුදා නිදි දැහැන් – එබී ලෙන් දොරින්

අරාජික පාරාදීසය සොයා එමි සිතින්…”

ඇයි මේ කොටස… ඊට හපන්

“අරා සිරි යහන් – නිදා වැතිරෙමින්

සරා සලෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්….”

මගෙ අම්මෝ  මොන තරම් ලස්සනට, ශිෂ්ට ආකාරයට, ශාස්ත්‍රීය විධියට ඒ කැත අවලං කතාව කියල තියෙනවද?

මෙම ගීතයේ තේරුම ජනනය වනසේ ගීත රචනාවක් කිරීමට අද තරුණ පරපුර ගායනා කරන ගීත රචනා කර ඇති අයෙකුට භාරදුනහොත්  ඔහු හෝ ඇය මෙම ගීතයේ එන අරුත් ඔවුන් අනුදත් සිංහල භාෂාවට ආදේශ කරනු ඇත්තේ අමු කුනුහරුපයෙනි. ලෝකයේ පවත්නා සුන්දර භාෂා අතරින් එකක් වන සිංහල භාෂාවට සිංහල ජනතාව දක්වන කුඩම්මාගේ සැලකිල්ල හේතුවෙන් එය ළඟදීම මිය යනු ඇත.

ලෝකයේ තිබෙන බොහොමයක් භාෂා වලට අක්ෂර වින්‍යාස නොමැත. කොටින්ම ඉංග්‍රීසි භාෂාවටවත් තමන්ට කියා අක්ෂර වින්‍යාසයක් නොමැති බව දන්නේ කීයෙන් කී දෙනාද? ඉංග්‍රීසිය විසින් භාවිතා කරන්නේ රෝමන් අකුරුය. ප්‍රංශ, ජර්මන්, ඇතුළු සියලුම බටහිර යුරෝපිය භාෂා භාවිතා කරන්නේ රෝමානු අක්ෂර වින්‍යාසයයි. රුසියාව ඇතුළු සියලු නැගෙනහිර යුරෝපය භාවිතා කරන්නේ ග්‍රීක සිරිලික් අක්ෂරය. Cyrillic alphabet. නමුත් සිංහල භාෂාවට ලෝකයේ තිබෙන ඕනෑම ශබ්දයක් නිර්මානය කල හැකි අක්ෂර සහිත අක්ෂර වින්‍යාසයක් තිබේ. සිංහලයින් ඒ පිළිබඳව සතුටු වනවා වෙනුවට ලජ්ජා වන බව පෙනේ.

දේශපාලනය නමැති මහසෝන ගැහීම නිසා සිහිවිකල්ව කොක්ක ලෙඩේ සැදී තිබෙන ලංකාවට හතරවරං දෙයියන්ගේ පිහිට ලැබේවා!

ඔබගේ අදහස් comments වලින් දන්වන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress