රන්ජන් බාගෙට නිදහස් වී ආ ගමන්ම කට වරද්දාගනී.. බන්ධනාගාරයෙන් ප‍්‍රකාශයක්..
Posted on August 30th, 2022

Mawbima

බන්ධනාගාර ආයතනවල සපයන ආහාර ප්‍රමිතියෙන් තොර බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක පවසයි.

අද (අගෝ. 30) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, පණුවන් සිටින මාළු හෝ දහඩිය, සෙම්, සොටු සමග ආහාර පිසීම කිසිදු අවස්ථාවක සිදු නොවන බව ය.

වසරකට බන්ධනාගාරවලට සිරකරුවන් ලක්ෂ ගණනක් පැමිණ යන බව ත් මේ දක්වා එවැනි ගැටලුවක් පැන නැගී නොමැති බව ත් ඔහු පැවසීය.

එවැනි ගැටලුවක් තිබුණහොත් රැඳවියන් ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයාට, ප්‍රධාන ජෙලර්වරයාට හෝ බලධාරීන් දැනුවත් කරන බව ඔහු සඳහන් කළේ ය.

ඒකනායක මහතා සඳහන් කළේ, රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරගතව සිටි වසර එකහමාරක කාලය තුළ ආහාරවල තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට පැමිණිලි කර නොමැති බව ය.

මගේ බන්ධනාගාර සේවා කාලය වසර 37යි. මගේ සේවා කාලය තුළ මම එක ම දවසකවත් පූසෙක් වැටිලා තියෙන පරිප්පු එකකවත්, හොද්දක්වත් දැකලා නැහැ, අහලා නැහැ,” යනුවෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් ඔහු පැවසීය.

මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ, බන්ධනාගාර තුළ ආහාර පිසින පිරිසේ සනීපාරක්ෂාව ද ඉතා හොඳින් පවතින බව ය.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනාය නිවේදනයක් ද නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති බන්ධනාගාර ආයතනවලට ආහාර ද්‍රව්‍ය සැපයුම සඳහා සැපයුම්කරුවන් තෝරාගැනීම ප්‍රසම්පාදන ක්‍රමවේද හරහා සිදු කරන අතර එම ආයතනවලට අවශ්‍ය ආහාර්ර ද්‍රව්‍ය ප්‍රමිතීන්ට අනුකූලව දිනපතා සැපයීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමග ගිවිසුම්ගත වී ඇති බව ය.

ඒ අනුව, අදාළ සැපයුම්කරුවන් දිනපතා සපයන ආහාර ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගැනීමට ප්‍රථම නියමිත ප්‍රමිතීන්ට හා ප්‍රමාණයන්ට අනුකූලව සපපයා තිබේද යන්න පරීක්ෂා කිරීම නිලධාරීන් විසින් සිදු කරනු ලබන බව එහි දැක්වේ.

එමෙන් ම, බන්ධනාගාර ආයතනවලට අනුයුක්තව සිටින මහජන පරීක්ෂකවරුන් හා වෛද්‍යවරුන් විසින් ද අවශ්‍ය අවස්ථාවලදී පරීක්ෂා කිරීම් සිදු කරනු ලබන අතර ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය හඳුනා ගතහොත් ඔවුන්ගේ ද නිර්දේශ සහිතව ඒවා බන්ධනාගාර තුළට නොගෙන ප්‍රතික්ෂේප කිරීම සිදු කරන බව ඒකනායක මහතා සඳහන් කර ඇත.

ඔහු පෙන්වා දෙන්නේ, සැපයුම්කරුවන් සපයන ආහාර ද්‍රව්‍ය බන්ධනාගාර දොරටුවේදී පරීක්ෂා කර බන්ධනාගාර මුළුතැන්ගෙට භාර දීමෙන් අනතුරුව ඒවා පිරිසිදු කිරීමේ සිට ආහාර පිසීම අවසන් කර රැඳිවියන් අතරේ බෙදාහැර අවසන් කරන තුරු සියලු කටයුතු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන්නේ රැඳවියන් බව ය.

ප්‍රමිතියෙන් තොර කිසියම් ආහාර ද්‍රව්‍යයක් ඇත්නම් ආහාර පිසීම සිදු කරන රැඳවියන් ඇතුළු සියලු රැඳවියන්ට ඊට විරෝධතාව දැක්වීම වැළැක්විය නොහැකි බව ද එහි දැක්වේ.

තව ද බන්ධනාගාර රැඳවියන් සඳහා පිසින ආහාර රැඳවියන් අතරේ බෙදා හැරීමට ප්‍රථම අදාළ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා හා අධිකාරිවරයා විසින් පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් සිදු කරනු ලබන අතර යම් ගැටලු සහගත තත්ත්වයක් හඳුනාගතහොත් එම ආහාර රැඳවියන් අතර බෙදා හැරීම සඳහා ඔවුන් විසින් අනුමැතියක් ලබා දීම සිදු නොකරන බව ඒකනායක මහතා අදාළ නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව පසුගිය දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ, බන්ධනාගාරවල පරිභෝජනයට නුසුදුසු ආහාර සිරකරුවන් වෙත ලබා දෙන බව ය.

එහිදී අදහස් පළ කළ හිටපු මන්ත්‍රීවරයා…

හිර ගෙදර සප්ලයර්ස්ලාට පොලු තියලා ඒගොල්ලෝ දැන් සප්ලයි නවත්ත්වලා තියෙන්නේ. කෝටි 50, 60 පොලු තියලා. එතකොට දැන් ගේන්නේ, මේක කිව්වට කමක් නැහැ. මාළු එක අරන් එද්දී පණුවෝ වැටෙනවා. පණුවෝ වැටෙනවා. පණුවෝ අරන් දාලා මෙහෙම කැපුවා, උණුවතුර දැම්මා, මිරිස් ටිකක් දැම්මා, කන්න දුන්නා. එතකොට බත් එක හදන්නේ කුඩු කාරයෝ තමයි හදන්නේ. දාඩිය, සෙම, සොටු සේරම වැටෙනවා බත් එකේ. ඒවා තමයි මෙහෙම කරලා දෙන්නේ.

පාලිත තෙවරප්පෙරුම කිව්වා කළුතර දිගට ම වාට්ටු 6ක් තිබුණා. පරිප්පු එක අරන් ගියා. පරිප්පු එක අන්තිමට වාට්ටු 4කට බෙදුවා. ඉන්න හිරකාරයෝ ටික කෑගැහුවා ටිකක් පරිප්පු යටින් අරන් දෙන්න කියලා. මෙහෙම යටින් ගද්දි තඩි පූසෙක් ආවා. පරිප්පු එකේ. මේක උඩින් පනින්න ගිහිල්ලා වැටිලා. අර වාට්ටු හතර ම කාලා තියෙන්නේ පූස් හොදි. පස්සේ ඒක ඒ ගොල්ලන්ට කිව්වා ම වමනේ දාල තිබුණා.

බිත්තර ගද්දී බොහොමයක් බිත්තර ඇතුළ කුණු වෙලා. එතකොට මාළු කාපුවාම ඇස්වල ගෙඩි දානවා, කට වන වෙනවා. බොහෝ දෙනෙක් ලෙඩ වෙලා ඉන්නේ. පව් ඒක ඉතින්. බොහෝ ම භයානක තත්ත්වයක් හිර ගෙදර තියෙන්නේ. මොකද එළියේ අය හිතවා එළියේ අයට වඩා හිරගේ හොඳයි කියලා. නමුත් ඇත්ත වශයෙන් ම හිර ගෙදර කෑම තත්ත්වේ බලන්න හිරේ යන්න ම ඕනා. ඒ කියන්නේ කන්න ම බෑ. පෙළක් අය කන්නේ ම නෑ. ලෙඩ හැදෙන්න තෝතැන්නක් ඒක. ඒ කියන්නනේ කිසි ම රහක් නෑ. මොක ද බිල් ගෙවලා නැති හින්දා සප්ලයර්ස්ලා දෙන්නේ නැහැ.”

– Mawbima

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress