නිදහස් ශ්‍රී ලංකාව සැමදාම හිටගත්තේ ඉතිහාසයේ වැරදි පැත්තේය Destiny of a Great Civilization in the Hands of Nincompoops and Clowns
Posted on September 3rd, 2022

Geethanjana

නිදහස් ශ්‍රී ලංකාව සැමදාම හිටගත්තේ ඉතිහාසයේ වැරදි පැත්තේය. මීට උදාහරණ සියගණනක් ඉදිරිපත් කල හැකි වුවත්, එක් සුවිශේෂ උදාහරණයක් ගෙන එනු කැමැත්තෙමි. එනම් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පස් අවුරුදු සංවර්ධන සැලසුම් වලට රට තුල ඇතිවූ ප්‍රබල විරෝධය සහ 1977 ඇයව පරාජය කරමින් බටහිර ලිබරල් වාදය පිලිබඳ අන්ධ විශ්වාසයකින් පෙළුණු JR  ජයවර්ධනට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් සහිත රජයක් පිහිටුවීමට බලය දීමය.

ලෝකයේ සියලුම දියුණු රවල් සිය දියුණුව ලඟා කරගෙන තිබෙන්නේ ආරක්ෂනවාදී අර්ථික  ප්‍රතිපත්ති තුලිනි. ( Noam Chomsky නොම් චොම්ස්කි) නමුත් සිරිමාවෝගේ ආර්ථික ප්‍රතිපත්තිය හා එහි අරමුණු ලාංකිකයිනට වටහා ගැනීමට තරම් බුද්ධියක් එදා නොතිබිණි. එදා ඔවුන් ඉතිහාසයේ වරදිපැත්තේ සිටගත්තේ නිෂ්පාදන අභිමුඛ ආර්ථිකයක් වෙනුවට සිල්ලර කඩචෝරු පරිභෝජනවාදයෙන් ආර්ථිකයක් දියුණු කල හැකියි සිතා සිටි JR ට බලය දීමෙනි. ඒ හේතුවනිසා අද අපට කාර්ගිල්ස් ‘ගෙදර යනගමන්’ වගේම කීල්ස් ‘සුසානයට යනගමන්’ ද තිබේ. නමුත් වේයන්ගොඩ, තුල්හිරිය වැනි දැවැන්ත කම්හල් නොමැත. අපි කිසිවක් නිෂ්පාදනය නොකර, ෆාම් කුකුලන් සේ, කන්න දෙන තෙක් මුහුද දෙස  බලාසිටින සාඩම්බර ජාතියක් වමු. JR අපේ රට බිමටම සමතලා කලේ ඒ අයුරිනි. දැන් උදාවී තිබෙන්නේ බෑනාගේ වාරයයි.

1977 ලද බලයෙන් සිහි විකල්වූ JR ජයවර්දන නමැති මේ නාකි නරියා (Old Fox: Copyright- Basil Fernando) දශක දෙකකට ආසන්න කාලයක් අතිශය බිහිසුණු, කෲර පාලනයකට ලංකාව නතු කරන ලදී. එකල ඊනියා Gota-Go වැනි විරෝධතා JR-Go කියා ගෝල්ෆේස් පිටියේ පැන නැගුනේ නැත. පැන නැගුනු විරෝධතා වලට JR දෘඪ ලෙස ප්‍රති ප්‍රහාර එල්ල කරන ලදී. 1980 වැඩ වර්ජනය එවැන්නකි. අද මෙන් එදා මහා පරිමාන විරෝධතා නොතිබීමට හේතු රාශියක් තිබේ. ඒ අතර ඇති ප්‍රධාන හේතුවක් නම්, JR බටහිර රටවල සුරතලා වීමත්, වර්ණ විප්ලව වලට මුදල් සපයන්නේ බටහිරින් වන නිසා අද මෙන් එකල බටහිර මුදල් වලින් යැපෙමින් වර්ණ විප්ලව කරන NGO නොත්බීමත් ය. එකල NGO තිබුනේ නම්, ඔවුන් සටන් කරනු ඇත්තේ සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය නැතිකිරීම සාධාරනී කරණය කිරීම වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්රියාවන්ටය. අනික් ප්‍රධාන කරුණ නම්, බඩගිනිකාර සංස්කෘතියක් ඇති කෑදර ලාංකිකයින් බහුතරය නිහඬ කල හැකි හොඳම ක්‍රමය ආනයනය කර හෝ ආහාර සුලභ කිරීම බව JR දැන සිටියේය. එදාත් ලාංකික ජනයා හිට ගත්තේ ඉතිහාසයේ වැරදි පැත්තේය.

ඉතිහාසයේ වැරදි පැත්තේ සිට ගැනීම පිලිබඳ නවතම උදාහරණය වන්නේ ගෝට ගෝ Gota-Go යනුවෙන් මතුපිටින් කියමින් Ranil Come නමැති සටන් පාඨය සඟවාගෙන ගෙනගිය සටනයි. සබැ සටන Gota-Go නොව Ranil Come බව බොහෝ අයට හෙළි උනේ රනිල් ජනාධිපති වූ සැනින් බොහෝ සංවිධාන තම තමන්ගේ කුඩාරම් ගලවාගෙන සටන් බිමින් ඉවත්වී යනු දුටු නිසාය. නමුත් මුලදීම සටන යන දිසාව කුමක්ද යන්න අපි දැනගෙන සිටියෙමු. මෙය නව ලිබරල්වාදී බලවේග විසින් මෙහෙයවන සටනක් බව මම මුලදීම මාගේ මිතුරන්ට කී අතර, මෙහි තර්කානුකුල අවසානය විය හැක්කේ රනිල් වැනි නවලිබරල් වාදියෙකු ජනාධිපති තනතුරට පත්වීමෙන් බව මා පැවසූ විට මාගේම ඇතැම් මිතුරන් එය පිළිගැනීමට මදක් මැළි වුහ. නමුත් එය ඒ ආකාරයෙන්ම සිදු වූ විට ඔවුනටද අදහා ගත නොහැකි වුයේ රනිල් ජනාධිපති වීම නොවේ, එය  මම කල්තියා දැකීමය. මා ඔවුනට දුන් පිළිතුර වුයේ, මෙය මා මෙන්ම ඔය සටන සංවිධානය කල අයද දන්නා බවය. අමතර කිසිවක් ඇත්නම් ඒ ජනතාව ගොනාට ඇනදවීම පමණකැයි මම පැවසුවෙමි.

දැන් මේ වන විට සංසරණය වන අනෙක් කට කතාව වන්නේ බටහිර නව ලිබරල් වාදීන් සේම අප රටතුල ක්‍රියාත්මක වන ඔවුන්ගේ නියෝජිතයින්ද, රාජපක්ෂ පවුලේ නවලිබරල් වාදීන්ද එකතුව ගෝටා ගෝ Gota-Go සටන කර ඇතිබව ය. කෙසේ වුවද, සියලුම වර්ණ විප්ලව සේම ලංකාවේ වර්ණ විප්ලවයේදීද අවසානයේ ජයගත්තේ ජනතාව නොව නව ලිබරල්වාදයයි. දැන් සියලු දෙනා එකතුව ලංකාව විකුණන් කෑ හැකි, The World Economic Forum (WEF) සංවිධානයේ හා එහි නායක  Klaus Schwab ගේ ද සුධාරකත්වය හා අනුමැතිය ලබා තිබෙන, Schwab පැටියකු වන රනිල් නමැති ධනවතුන්ට පමණක් හිතවත් නවලිබරල්වාදී සුරතලෙකු  පත් කර තිබේ.

රනිල්ට බලයට ඒමට කපටි ඥානය තිබුනද, රටට සුදුසු කුමන ආකාරයේ පාලනයක්ද, කුමන ආකාරයේ ආර්ථික හා විදේශ ප්‍රතිපත්තියක්ද කියා තීරණ ගැනීමට ඥානය ඇති නායකයෙක් නොවේ. ඔහුද ඔහුගේ මාමා මෙන්ම බටහිර ලිබරල් වාදය පිළිබඳව අන්ධ විශ්වාසකින් සිටින අතර Economic Hit Man, John Perkins ගැන හෝ විනාශකාරී නවලිබරල්වාදී ආර්ථික ක්‍රමය ගැන දෘඪ විචාරකයෙකු වන Professor Michael Hudson ගැන හෝ අසා ඇතැයි මම නොසිතමි. දැන් හැමෝම කියන්නේ “රනිල් ආව විතරනේ. එයාටත් ටිකක් දීල බලමු” කියාය. එවැනි අයට මම කියන්නේ ඔයාල දීල බලන්ඩ…අපට නම් දීල දීල දැන් ඇතිවෙලා තියෙන්නේ කියාය… ඒ වගේම ඔයාලට ඕන දේ රනිලුත් දෙන්ඩ වගේ හිටියට දෙන එකක් නැහැ කියාය.

ජනතාවගේ පැත්තෙන් පිළිතුර පැහැදිලිය. “රනිල්ට කවුරුවත් දුන්නේ නැත. රනිල් එය ගත්තේය.” එය දෛවයේ සරදමකි. දෙවැන්න, රනිල් ගැන අපට ඉඳල බලන්න දෙයක් නැත. රනිල්ගේ දිග පළල අපි දනිමු. අසුචි මොන රසද කියා දැනගැනීමට අසුචි කාල බැලිය යුතු නොවේ. මිනිසා කියන සතාට මොලයක් හා මනසක් තිබෙන්නේ උපකල්පනය හා පරිකල්පනය සඳහාය. උපකල්පනය විඥානවාදී නොවන්නේ ඒ සඳහා අතීත දත්ත (data) භාවිතා කරන නිසාවෙනි. රනිල් පිළිබඳව ලාංකිකයිනට උවමනා තරම් දත්ත තිබේ. ඒ අනුව රනිල් ඊළඟට කරන්නේ කුමක්ද යන්න පිළිබඳව කල්තියා කිව හැක. පහත සඳහන් සිරස්තල අපට ඒ පිලිබඳ යම් ඉඟියක් සපයයි.

පසුගිය දින වල ලංකා වෙබ් අඩවියේ පලවූ පුවත් වල සිරස්තල කිහිපයක් මෙසේය.

* Sri Lanka’s 2023 budget should be consistent with IMF program: Breuer

* Various weaknesses and wrong policy decisions led to debt default – PM

* Sri Lanka has made good progress in negotiations with IMF – CBSL chief

* Special unit to be set up for restructuring state-owned enterprises

* Sri Lanka to establish National Debt Management Agency

* Sri Lanka’s president to cut spending in interim budget

* චීනය ලංකාවේ ණය කපා නොහැරි හේතුව කියයි..

ලංකාවේ නව ලිබරල්වාදී මුග්ධයන් රැල ජනතාව මුලා කිරීමේ ප්‍රචාරයක් ගෙන යති. ඒ ප්‍රචාරණයට හසුවූ අය අතර  මගේ මිතුරන්ද සිටිති. මේ ප්‍රචාරකයෝ කියන්නේ චීනය ලංකාව ණය උගුලක සිරකොට අමාරුවේ දැම්ම බවය. නමුත් සත්‍යය නම් ණය වලින් 80% වඩා සපයා තිබෙන්නේ IMF, World Bank සහ අනෙකුත් බටහිර ප්‍රභවයන විසින් බවය. දැන් මේ සියලුම ඊනියා නවලිබරල්වාදී ආර්ථික උපදේශකයින් හා ප්‍රවීනයින් experts සිතන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල  IMF හා ලෝක බැංකුව ලංකාව බේරා ගනු ඇතැයි කියාය. මේ ආයතන පිහිටුවා තිබෙන්නේ රටවල් බේරා ගැනීමට නොව, රටවල් අමාරුවේ දැමීමට බව මොවුහු නොදනිති. ලංකාව ණය උගුලක සිර කිරීමේ වසර 40ක පමණ IMF සහ World Bank ව්‍යාපෘතිය රාජපක්ෂ යුගයේදී සාර්ථක වූ පසු මේ ආයතන එම ව්‍යාපෘතියේ ඉතිරි අංග ක්‍රියාත්මක කරනවා වෙනුවට ලංකාව බේරා ගනීවි යැයි සිතීම මුලාවක් බවද මොවුන් නොදනිති. මේ මිනිසුන් Economic Hit Man, John Perkins ගැන හා ඔහුගේ Confessions of An Economic Hit Man නමැති ග්‍රන්ථය කියවා නොමැතිද? ඉදිරි කාලයේදී අපට දැකගත හැකි වන්නේ ලංකාවටද ග්‍රීසියට සිදුවූ දෙයම සිදු වන බවය. JR ජයවර්ධන ආරම්භකළ පුද්ගලික කරණය තවදුරටත් ඔහුගේ බැණා වන රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරියටම ගෙන යනු ඇත. Public Spending කපා හරිනු ඇත. විදුලිබල මණ්ඩලය, ජාතික ජලාපවහන මණ්ඩලය, ලංගම ආදී ආයතන පුද්ගලික අංශයට පවරනු ඇත. කලක සිට IMF න්‍යායපත්‍රය තුල තිබුණු, PB ජයසුන්දරලා වැනි ද්‍රෝහීන් අනුමත කල ජලසම්පත පෞද්ගලික කරණය වැනි යෝජනා ක්‍රියාත්මක වනු ඇත. වී වගාව අතහැර දමනු ඇත. පොහොර සහනාධාර කපා හැරෙනු ඇත. දැනටමත් පෞද්ගලික කරණය කර ඇති අධ්‍යාපනය Public Spending කපා හැරීම නිසා සම්පුර්ණයෙන්ම අඩාලවීමට ඉඩ හරිනු ඇත. ලංගම ය වසා දමනු ඇත. විච්ටෝරියා ආදී ජලාශ සේම ඓතිහාසික වැවු අමුණු මහා පරිමාන සමාගම් වලට පවරා ගොවිබිම් මහා පරිමාන පලතුරු සමාගම් ආදියට පවරනු ඇත. මේවා හුදු කුමන්ත්‍රණ න්‍යායන් Conspiracy Theories නොවේ. සැබවින්ම අනෙකුත් රටවල සිදුවී ඇති දේවල්ය.

Professor Michael Hudson සහ ජෝන් පර්කින්ස් John Perkins මේ IMF World Bank ව්‍යාපෘති ගැන ඉතා හොඳින් විස්තර කර තිබේ. පහත URL භාවිතා කොට ඒවා කියවන්න, නරඹන්න.

https://www.unz.com/mhudson/destiny-of-civilization-interview-by-ben-norton/

සැබවින්ම ගෝටාභය පිලිබඳව ඉතිහාසය විසින් සාධාරණ විසඳුමක් ලබා දිය යුතුය. ගෝටාභය විනාශ වීමට මුල්වූ එක හේතුවක් වුයේ සිය පවුල නමැති වියගසින් ගැලවීමට ඔහුට තිබු නොහැකියාව නිසා යයි මම සිතමි.

එක්පසෙකින් ඔහුට පක්ෂ පාර්ලිමේන්තුවක් ඔහු සතු නොවීය. බැසිල් සහ මහින්ද එම බලය ගොටභය වෙත පැවරුවේ නැත. හරිනම් පොහොට්ටුවේ සභාපතිත්වය ජනපතිවරණය ජයගත් විගස ගෝටා වෙත පැවරිය යුතුව තිබිණි. නමුත් බැසිල් ඊට එකඟ නොවූ බව පැවසේ. සැබවින්ම ගෝටා බිමදැ මීමට එක් මුලික හේතුවක් වන්නේ බැසිල්ය. මේවා අප ප්‍රසිද්ධියේම කියන්නේ ගොටාගේ වැටීම හා සමගාමිව රනිල්ගේ පැමිණීම අපට කල ඓතිහාසික සරදමක් වන නිසාය. අනික $ 3900 වියදම් කොට ගුවන් ටිකට් පත් දෙකක් මිලට ගෙන, මාත් මගේ බිරිඳත් ලංකාවට පැමිණ ගෝටාට චන්දය දී ඔහුව පත් කිරීමට දායක වූ නිසා අපට මේ ගැන අපේ අදහස කුමක්දැයි පැවසීමට අයිතියක් තිබේ යයි සිතමි.

ගෝටාභය අවාසනාවන්ත රාජ්‍ය නායකයෙකි. ඔහුගේ පාලනයේ මුළු කාලයම රට Covid වසංගතය හේතුවෙන් අඩපනව පැවතිනි. අනික් අතින්, ගෝටාභයට සොරෙකු යයි ප්‍රබල චෝදනාවක්ද එල්ල වී නොමැත. සොරකම ගෝටා එළවීමට භාවිතා කල චෝදනාවක් නම්, මහා බැංකුවත් ගිලපු රනිල් වැනි සොරෙකු ගෝටාගේ තැනට ප්‍රතිස්ථාපනය කිරීමට සුදුස්සෙකු නොවනු ඇත. අනෙක් අතින් එම සොරකම රටේ ආර්ථිකයට බලවත් ලෙස ඍණාත්මක බලපෑමක් ඇතිකළ බව එකල සාකච්චාවට බඳුන්වූ කරුණකි. ඒ අනුව මේ ආර්ථික ව්‍යසනයට වග කිවයුතු ප්‍රධාන පුද්ගලයෙකු වන්නේ රනිල්ය. එමෙන්ම, JR ජයවර්ධන, ප්‍රේමදාස හෝ බටලන්ද චෝදනා සැලකිල්ලට ලක් කරන විට හා ඒවාට  සම්බන්ධවුන් කළ අපරාධ සැලකිල්ලට ලක් කරනවිට ගෝටාභය යනු අහිංසකයෙක් නොවුවත්, ඔහුට අපරාධ පිලිබඳ ප්‍රබල චෝදනාවක් එල්ලවී නොමැත. ජයවර්ධන හෝ ප්‍රේමදාස පාලනයේදී වත් එල්ල නොවුණු අන්දමේ අසමානුපාතික අති විශාල ජනතා විරෝධයක් ගෝටාට එල්ල වුයේ රටේ පවතීන ආර්ථික අගහිඟකම් නිසා යැයි සිතිය හැක. නමුත් මේ විරෝධය ගෝටාට එරෙහිව එල්ල කල ආකාරය, එය කළමනා කරණය කල ආකාරය දෙස සැලකිල්ල යොමු කරන විට, හා එමෙන්ම වෙනස්වෙමින් පවතින භූ දේශපාලන වෙනස්කම් සැලකිල්ලට ලක් කරනවිට, විදේශ ඔත්තුසේවා මේ පසුපස සිටියාද යන සැකය ඇතිවීම සාධාරණය.

අනික මහින්දගේ සගයින් විරෝධතාවාදීන්ට පහරදීම සහ රනිල් අගමැති ලෙස පත් කිරීම බැසිල්ගේ අදහසක් විය යුතුයැයි අනුමාන කල හැක. එසේ උපකල්පනය කිරීමට හේතු වන්නේ මහින්ද හා බැසිල්ගේ ගණන් බැලීම අනුව රනිල් පත් කළහොත්, රනිල් පිළිබඳව රට තුල පවත්නා අතිවිශාල අපුල හේතුවෙන් ‘ගෝටා ගෝ’නමැති සටන්පාඨය අඩපන වනු ඇතැයි ගෝටාට පවුලේ අය විසින් ඒත්තු ගන්වන්නට ඇත. නමුත් ඔවුනට හසු නොවූ කාරණය වන්නේ මේ හේතුවෙන් ගෝටා විරෝධී නව ලිබරල්වාදී බලවේග වලට ඉබ්බා දියේ දැමුවාක් මෙන් උද්දීපනයක් ධෛර්යයක් ඉන් ඇති කිරීමයි. නව ලිබරල් වාදී බලවේග ගෝටා එළවීම තීව්‍ර කලේ ඉන් අනතුරුවය. නමුත් අගමැති තනතුරට දිනේෂ් ගුණවර්ධන වැන්නකු පත් කළා නම් කුමක් විය හැකිව තිබිණිද? එහිදී අපට කල හැක්කේ උපකල්පන පමණි.

පළමුවෙන්ම විසඳා ගත යුතු ප්‍රශ්නය වන්නේ පසුගිය ජනපතිවරණයේදී ගෝටාභයගේ දේශපාලන ප්‍රතිවාදියා වූ රනිල් අගමැති තනතුරට පත් කිරීමට තරම් විශ්වාසයක් රාජපක්ෂ වරුන් තුල ඇති උනේ මොන අන්දමේ අරුම හේතුවක් මතද යන්නය. මේ ලියුම්කරුගේ පෞද්ගලික විශ්වාසය වන්නේ මහා බැංකු මංකොල්ලය පිලිබඳ හෙළි නොකළ කොමිෂන් වාර්තාව වැනි යම් දෙයක් රනිල්ට එරෙහිව අවමාන තර්ජනයක් (Blackmail) ලෙස රාජපක්ෂවරු අත තබාගෙන සිටින බවය. කෙසේ හෝ වේවා මේ සියලු කරුණු සැලකිල්ලට ලක් කලද, රනිල් බලයට ගෙන ඒම ඉතිහාසයේ වැරදිපැත්තේ සිට ගැනීමකට හේතු වන්නේ කෙසේද කියා යමෙකුට ඇසිය හැක.

රනිල්ගේ ආගමනය නැවතත් ලංකාව ඉතිහාසයේ වැරදි පැත්තට යොමුකරන්නේ කෙසේද කියා සොයා බලමු. පළමු සාධකය නම් ගෝලීය භූ දේශපාලනික යතාර්තයන් වෙනස් වීමය. මෙය තේරුම් ගැනීමට නම් මෑත ඉතිහාසය සංක්ෂේපයෙන් වටහා ගැනීම වැදගත් වේ

බටහිට රටවල ආධිපත්‍ය මත පාලනය උණු අතීත ලෝකය අපගේ ඇස් ඉදිරිපිටම බිඳ වැටෙනු අපට පෙනේ. නුදුරු අනාගතයේදී බිහිවන ලෝකය බහු ධ්‍රැවීය බල තුලනයකි (Multi polar world order). ඇමරිකාව ආධිපත්‍යය දරු  ඒක ධ්‍රැවීය  ලෝකය (Uni polar world order) නිමාවෙමින් තිබේ. චීනය හා රුසියාව එක්ව ගොඩනගා ඇති බල කේන්ද්‍රයට ආර්ථික වශයෙන් හෝ යුධමය වශයෙන් තීරණාත්මක ලෙස අභියෝග කිරීමට හැකියාවක් බටහිර ලෝකයට නොමැති බව ඒ පිලිබඳ ප්‍රමාණාත්මක විශේෂඥන්ගේ මතය වී තිබේ. අද චීනය ඇමරිකාව හා සමග කරට කර සිටින රටකි. මිලදී ගැනීමේ ශක්‍යතාව Purchasing Power Parity නමැති දර්ශකයට අනුව චීනය ඇමෙරිකාව අභිබවා ගොස් ඇත. රුසියාව සහ චීනය එකතුව ගොඩ නගා ඇති සංසදයට ඉන්දියාවද සෙමින් සේන්දු වෙමින් සිටී. එක අතකින් බටහිර බලකෙන්ද්‍රය, ඇමරිකානු සියවස බිඳ වැටෙමින් තිබෙන අතර, ආසියාව තුල නව බල කේන්ද්‍රයක් ගොඩ නැගෙමින් තිබේ. ඒ නව ආසියානු සියවසකි. ඉන්දියාව නොමැතිව ආසියානු සියවස ‘ආසියානු’ නොවන බව චීනය මෙන්ම රුසියාවද දනී. මෙවන් තත්වයක් තුල බටහිර ගැති රජයක් රනිල් විසින් ලංකාව තුල පිහිටුවීම නැවත වරක් JRJ කල ආකාරයටම අනවශ්‍ය ලෙස ඉන්දියාව කුලප්පු කර ගැනීමකි.

ඇමරිකානු පාලක පන්තියේ අප්‍රකාශිත මතයට අනුව, යුක්‍රේන අර්බුදය අභිමුව ඉන්දියාව අනුගමනය කර තිබෙන ඇමරිකානු පිළිවෙත අතිශය චපල පිළිවෙතකි. ඉන්දියාව විසින් ඔවුනට ඇමරිකාවට වඩා රුසියාව උපායමාර්ගිකව හා ආරක්ෂක හේතුන් මත වඩා වැදගත් බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබේ. ඉන්දියාවේ මේ හැසිරීම හේතුවෙන්, ඉන්දියාව පිලිබඳ සුපරික්ෂාකාරී වීමේ පියවරක් ලෙස ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරලියක් කිරීමට සිතීම තර්කානුකුල වේ. යුක්‍රේනය රුසියාව විසින් ආක්‍රමණය කිරීම ලංකාවට අදාළ නොවන දුරස්ථ ප්‍රශ්නයක් ලෙස ඇතැමුන් සිතුවද, එය ඉන්දියානු සාගර කලාපයේ බලතුලනය වෙනස් කිරීමේ තර්ජනයට ලක්වීමට හේතුවිය හැකි අතිශය තීරනාත්මක් සාධකයක් විය හැකි බව අවධාරණය කල යුතුය. මන්ද, එම අර්බුදය හේතුවෙන් බිහිව ඇති නව ලෝක තත්වය හමුවේ ජාතීන් අතර නව රාජ්‍ය තාන්ත්‍රික හා නව බල සැකසුමක් (A New Diplomatic and Power-Arrangement) නිර්මාණය වීම සඳහා අවශ්‍ය කොන්දේසි විවරවී තිබීමය.

ශ්‍රී ලංකා හමුදාව ප්‍රභාකරන් අත්අඩංගුවට ගැනීමේ අවසාන මෙහෙයුම දියත් කරද්දී ප්‍රභාකරන් රැක ගැනීමට ඇමරිකානු හමුදා ලංකාවට ගොඩ නොබැස්සේ ප්‍රබල ඉන්දියානු සාධකය නිසාය. ඉන්දියාව සමග අලුතෙන් ඇතිකරගත් මිත්‍රත්වය පලුදු කර ගැනීමට ඇති අකමැත්ත හේතුවෙන් ඉන්දියාව අමනාප කර ගැනීමට ඇමරිකාව අකමැති වීම ඊට හේතුවයි. නමුත්, ඇමරිකාව විසින් ඉන්දියාව සමග කිට්ටු සබඳතා ඇති කර ගැනුමට හේතු වූ මුල සාධකය වුයේ උපායමාර්ගිකව චීනයට එරෙහිව ඉන්දියාව මෙහෙයවීමට ඇමරිකාව තීරණය කොට තිබු නිසාවෙනි. ඇමරිකානු කලාපීය උවමනා හා සසඳද්දී දැන් උදාවී ඇති තත්වය අතිශය අවාසි සහගත තත්වයකි. ඉන්දියාව රුසියාව සහ චීනය ගොඩනගාගෙන තිබෙන සබඳතාවේ උපාය මාර්ගයට අනුකුල ලෙස කටයුතු කිරීම ඇමෙරිකාවේ කනස්සල්ලට හේතු වී ඇත. ඒ අනුව ඇමරිකාව විසින් ඉන්දියාව සතුරු රාජ්‍යයක් ලෙස සිතා කටයුතු කිරීමට ඇති ඉඩකඩ අපමණය. එවැනි තත්වයකදී ඉන්දියාව පිළිබඳව නොතකා ඇමරිකාව ලංකාව පිළිබඳව ක්‍රියා කරනු ඇත. ලංකාව තුල ක්‍රියාත්මක බෙදුම්වාදය නිසා ලංකාව බෙදා වෙන් කරයිද, ලංකාව තුල හමුදා මැදිහත්වීමක් කරයිද යන්න ඉතිහාසය විසින් තීරණය කල යුතු කරුණු ය. නමුත් මේ සියලු විකල්ප ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුවේ ශ්‍රී ලංකා මේසය මත තිබුණහොත් මම පුදුම නොවෙමි.

රිචර්ඩ් නික්සන් යුගයේ ඇමරිකානු රාජ්‍ය ලේඛම්ව සිටි හෙන්රි කිසින්ජර් විසින් චීනය සෝවියට් රුසියාවට එරෙහිව භාවිතා කළාක්මෙන් චීනයට එරෙහිව ඉන්දියාව භාවිතා කිරීමේ අරමුණින් ජනාධිපති ජෝර්ජ් බුෂ් ඉන්දියාව සමග මිත්‍රත්වය දියුණු කළේය.  පසු කාලයේදී Quad group යනුවෙන් හැඳින්වෙන සංවිධානය හරහා ඉන්දියාව ඇමරිකානු උපායමාර්ගික පෙරමුණේ සාමාජිකයෙකු කිරීමට ඇමරිකාව දැඩි උත්සහයක් ගත්තද යුක්රේන අර්බුදයේදී ඉන්දියාවේ හැසිරීම සලකා බලන විට ඉන්දියාව එම රාජ්‍යතාන්ත්‍රික ගුලිය ගිල නොමැති බව පෙනේ.

Quad group https://thediplomat.com/2020/10/us-australia-india-japan-to-discuss-chinas-growing-power/

යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ඇමරිකාව ඇතුළු බටහිර විසින් රුසියාවට එරෙහිව පනවන ලද තහන්චි වලට ඉන්දියානු සහය ලභා ගැනීමට බටහිරින්  ප්‍රබල බලපෑමක් එල්ල වුවද, ඉන්දියානු විදේශ ඇමති සුබ්‍රමනියම් ජයෂන්කර් ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිමින් තම ස්ථාවරයේම පිහිටා සිටියේය. (Minister of External Affairs of the Government of India, Subrahmanyam Jaishankar) ඇමෙරිකාවට පිටුපාමින් මේ ප්‍රශ්නයේදී ඉන්දියාව ස්වාධීනව කටයුතු කරන බව පෙනේ.

බොහෝ විචාරකයින්ගේ මතය වී ඇත්තේ ජයෂන්කර් වනාහි ඉන්දියාව විසින් බිහි කොට ඇති විශිෂ්ට විදේශ ඇමති වරුන් අතරින් කෙනෙකු බවය.

pivot to Asia නමැති ඇමෙරිකානු උපාය මාර්ගික ප්‍රතිපත්තියේ මුලික අරමුණ චීනය මැඩපැවැත්වීම වුවද, ඉන්දියාව විසින් සිය ඉපැරණි මිතුරු රාජ්‍යය වූ රුසියාව අමනාප කර ගැනීමට ඇති අකැමැත්ත සේම ඓතිහාසික හේතුන් මත එම පතිපත්තියට සිය අනුමැතිය ලබා දී තිබෙන්නේ අතිශය දියාරු ලෙසය.

අප වටහා ගතයුතු කරුණක් වන්නේ ඉන්දියානු අධ්‍යාත්මයේ පවත්නා ඉතා බලවත් ඓතිහාසික ස්මෘතින් නිසා ඉන්දියාවට චීනය බැහැර කොට ඇමෙරිකාව වැළඳ ගත නොහැකි බවය. ඉන් ප්‍රධාන ඓතිහාසික-ස්මෘතිය වන්නේ බටහිර ජාතීන් විසින් විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය විසින් ඉන්දියාව හා චීනය දෘඪ යටත්විජිත පාලනයකට අවනත කිරීමත්, අනතුරුව අපකාර්මීකරණය deindustrialization කිරීමත් ය. මේ දුක්ගැනවිල්ල චීනයටද අදාළ බව ඉන්දියානු අධ්‍යාත්මයේ සටහන්ව තිබෙන කරුණකි. අනෙක් කරුණ නම් නව ආසියානු සියවස තුල ඉන්දියාවට පැවරී ඇති ඓතිහාසික කාර්යභාරය ඉන්දියාව විසින් මැනවින් වටහාගෙන තිබේ.

නව පරපුරේ බොහෝ අය නොදන්නා කරුණ නම්, 16 සියවසට පෙර මුළු ලෝකයේම දල දේශීය නිෂ්පාදිතයෙන් GDP 23%  ඉන්දියාව විසින් නිෂ්පාදනය කල බවය. නමුත් බ්‍රිතාන්‍යය විසින් එය 4% පහත හෙලන ලදී. මේ පිළිබඳව Noam Chomsky විසින් බහුලව සාකච්චා කොට තිබේ. යුරෝපීය ජාතීන් ඇමරිකාව සොයා ගැනීමට පෙර, එකල චීනය සහ ඉන්දියාව අදට සාපේක්ෂව London හා NY වැනි ලොව දියුණුතම ආර්ථිකයන්ය. (Enrique Dussel) ඊට අමතරව, වසර සියයක නින්දාව 100 years of humiliation පිළිබඳව XI Jinn Ping ද වාර ගණනක් සඳහන් කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත වාදය ගැනය. පහත සඳහන් ශාෂි තරුර් ගේ ඔක්ස්ෆර්ඩ් කතාව අසන්න.

කෙසේහොවේවා උදාවෙමින් තිබෙන නව ලෝක තත්වය යටතේ, නව ආසියානු ශතවර්ෂය තුල, ඉන්දියාව විසින් චීනයට හා රුසියාවට එරෙහිව ඇමරිකාව තෝරා ගැනීම ඓතිහාසික වශයෙන් ඔවුනට යුක්ති යුක්ත කරගත නොහැකි කරුණකි. ඇමරිකානු දේශපාලක පන්තියට දකුණු ආසියාවේ සංස්කෘතික ස්මෘතීන් පිළිබඳව ඇත්තේ ඉතා පටු දැනුමකි. මේ වනවිට රුසියාවේ මැදිහත්වීමෙන් චීනය සහ ඉන්දියාව අතර පවත්නා දේශසීමා ප්‍රශ්නය විසඳා ගැනීම පිළිබඳව රහස් සාකච්චා පැවැත්වෙන බවද කියවේ.

ඇමරිකාව හා බටහිර රාජ්‍යයන් නාවික බලයන් Naval Powers වන අතර, රුසියාව, චීනය හා ඉන්දියාව ගොඩබිම් බලයන්ය. Land Powers. 16 සියවසේ සිට මුළු ලෝකයේම අභිභවනය කල මේ බටහිර නාවික බලයන් අදවනවිට ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව ඉන්දියාව දනී. ඉහල තාක්ෂණික අවි සොයා ගැනීම නිසා අතීතයේ ලොව භීතියට පත් කල නෞකා අද යල්පිනු obsolete තාක්ෂණික මෙවලම් බවට පත්ව තිබේ. ඉතාම නුදුරු අනාගතයේදී ඉන්දියාව විසින් රුසියාව සහ චීනය විසින් ගොඩනගාගෙන ඇති සහයෝගීතාවට ප්‍රසිද්ධියේම එකතු වනු ඇත. එමෙන්ම, බොහොවිට මේ ත්‍රිත්වයට ඉරානයද ඇතුළු වනසේ කිසියම් ආරක්ෂක ගිවිසුමකටද එළඹෙනු ඇත. ඇතැම්විට එය BRICS සංවිධානයේ ආරක්ෂක ගිවිසුමක්ද විය හැක. එවන් තත්වයක් තුල ලංකාවට අත්විය හැකි ඉරණම කුමක්ද? ඇමරිකාව විසින් ලංකාව තවත් එක තායිවානයක් කරගැනීමට කළහැකි සියල්ල නොකර සිටීවිද?

ගෝටා-ගෝ GOTA-GO වර්ණ විප්ලවයට බටහිර ඔත්තුසේවා විසින් මුදල් යොදවා ඇතිබව හෙළිවී තිබේ. එම විප්ලවයෙන් බටහිරට අවශ්‍ය නායකයාද පත් කරගෙන සිටී. මේ ආකාරයට ඉතිහාසයේ වැරදි පැත්තේ අපි නැවතත් හිටගත යුතුද? ශ්‍රී ලාංකිකයිනට සිතීමට කාලය එළඹ තිබේ. උදාවී ඇති නව ලෝක තත්වය භාවිතා කරමින්, රුසියාවේද සහය ඇතිව ශ්‍රී ලංකාව ඉන්දියාව සමග නව සහයෝගිතා ගිවිසුමකට එළඹීය යුතුය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට මෙන්ම ඉන්දියාවේද ආරක්ෂාවට තර්ජනයක් බව ඉන්දියාවට ඒත්තු ගන්වා රුසියාවේද සහය ඇතිව ලංකාවේ බෙදුම්වාදී ප්‍රශ්නයට කල්පවත්නා විසඳුමක් සොයා ගැනීම ඉතාම කාලෝචිතය. නමුත් දුරදක්නා රාජ්‍ය නායකයෙක් ශ්‍රී ලංකාවට සොයාගත හැකි වේද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress