යුක්‍රේන අර්බුදය ශ්‍රී ලංකාවට කුමන ආකාරයේ බලපෑමක් ඇති කරයිද?Destiny of a Great Civilization in the Hands of Nincompoops and Clowns – Part 3
Posted on September 6th, 2022

Geethanjana

ශ්‍රී ලංකාවේ බොහෝ අය යුක්‍රේනයට රුසියානු හමුදා යැවීම නිසා හටගෙන ඇති අර්බුදය දේශපාලනික වශයෙන් අපට එතරම් අදාළ නැතැයි සිතති. නමුත් ශ්‍රී ලංකාවේ රජය විසින් පවත්නා තත්වය හරිහැටි වටහා නොගතහොත්, එමෙන්ම, උදාවී ඇති නව බල සමතුලිතතා new power equilibriums නිවැරදි ලෙස තක්සේරුකොට ගෙන සුදුසු ආකාරයට වෙනස් නොවුවහොත්, මා සිතන්නේ එම ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකාවට බරපතල භූ දේශපාලනික ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවිය හැකි බවය. එය සිදුවන්නේ කෙසේද?

යුක්‍රේන ප්‍රශ්නය ශ්‍රී ලංකාවට බලපෑමට හේතුවන සාධක රාශියක් තිබිය හැක. ඉන් කිහිපයක් පහත දැක්වේ.

*යුක්‍රේන අර්බුදය හමුවේ ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියේ තීරණාත්මක වෙනසක් සිදුවී ඇති නිසා ඇමරිකාව හා ඉන්දියාව අතර ද්විපර්ෂික සබඳතා පලුදු වීමක් සිදුවුවහොත්, එය තීරණාත්මක ලෙස ශ්‍රී ලංකාවට බලපෑමට ඉඩ ඇත.

* තායිවානය චීනයට තදාසන්නව පිහිටා තිබීම නිසා චීනයට සතුරු අනෙකුත් රාජ්‍යයන්ගේ අවධානයට තායිවානය ලක් වුනා සේ ලංකාවද ඉන්දියාවට තදාසන්නව පිහිටීම නිසා ඉන්දියාවට සතුරු අන්‍ය රාජයන්ගේ අවධානයටද ශ්‍රී ලංකාවද ලක් වීම තර්කානුකුල ය. එමෙන්ම එවැනි බලවත් සතුරු රාජ්‍යයන්ගේ බලපෑම්වලට ශ්‍රී ලංකාව නතු කිරීමට ඇති ඉඩ කඩද බහුලය.

* ශ්‍රී ලංකාව ස්ථාන ගතව තිබෙන්නේ ඉන්දියානු සාගරයේ යුධමය මුලොපායාත්මක වශයෙන් අතිශය වැදගත් ස්ථානයකය. එම හේතුව හා නව බල සමතුලිතතා new power equilibriums නිසා ඉන්දියාවට හා චීනයට පසමිතුරු රාජයන්ගේ බලපෑම් වලට ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වනු ඇත.

* ශ්‍රී ලංකා භුමිය ඉන්දියාවට එරෙහිව යොදා ගැනීමේ අරමුණින් ඉන්දියාවට සතුරු රාජ්‍යයන් විසින් (හා Potential Enemies) බෙදුම්වාදී බලවේග ශ්‍රී ලංකාව තුල යලි හිස එසවීම සඳහා උපකාරී කිරීමට ඉඩ ඇත.

* ඉන්දියාව සහ චීනය අතර යළි මිත්‍රත්වයක් ගොඩනැගීමට rapprochement ඇති ශක්‍යතාව වැඩි වීම හේතුවෙන් ඇමරිකාව සහ ඉන්දියාව අතර සම්බන්ධතා පළුදු වුවහොත් එම තත්වය ලංකාවට බලපෑමට ඉඩ ඇත.

ඉහතකී හේතුන් නිසා භූ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාවේ අනතුරුදායක බව ඉහල ගොස් තිබේ.

උදාවී ඇති අභිනව තත්වය මත, විශේෂයෙන්ම චීනය සහ ඉන්දියාව නමැති රටවල් දෙක කෙරෙහි පවත්නා රුසියානු මිත්‍රත්වය හා මැදිහත්වීම හේතුවෙන්, චීනයට එරෙහිව ඉන්දියාව භාවිතා කිරීමට ඇමෙරිකාවට පැවතී ඉඩකඩ අඩු වෙනු ඇත. යම් විධියකින් BRICS (Brazil Russia India China South-Africa) සංවිධානය මුල්කොටගෙන නව ආරක්ෂක සංවිධානයක් බිහි වුවහොත්, හා ඉදිරි කාලයේදී ඇතිවන ගෝලීය අර්බුද වලදී ඉන්දියාවේ හැසිරීම ඇමරිකාවට අවාසි සහගත වුවහොත්, බොහෝ විට ඉන්දියාව සහ ඇමරිකාව අතර දැන් පවත්නා අස්ථීර shaky සමබන්දතාව සම්පුර්ණයෙන්ම බිඳ වැටීමට ඇති ඉඩකඩ වැඩිය. ඇමරිකාව හා ඉන්දියාව අතර දැනට පවත්නා රාජතාන්ත්‍රික සබඳතා තව දුරටත් පලුදු වුවහොත්, එය ලංකාවට විශාල වශයෙන් අහිතකර ප්‍රතිඵල ගෙන දෙනු ඇත.

රුසියාව විසින් යුක්‍රේනයට හමුදා යැවීමට පෙර ඒ පිළිබඳව ඉන්දියාව හා චීනය දැනුවත් කොට ඔවුන්ගේ ‘අනුමැතිය’ ලබා ගන්නට ඇතැයි  සිතිය හැක. නිදහස් ඉන්දියාවේ ඉතාමත්ම කිට්ටු මිත්‍ර රට රුසියාවයි. ද්විපාර්ශවීය ආරක්ෂක සබඳතා ඇතුළු එම මිත්‍රත්වය ඉතාම උසස් ශක්තිමත් මට්ටමකින් දෙපාර්ශවයම පවත්වාගෙන යති. කෙසේ වුවද සෝවියට් රුසියාව බිඳ වැටීමෙන් පසු ඇමරිකාව හා ඉන්දියාව අතරද ද්විපාර්ශවික සම්බන්දතාද දියුණු විය. නමුත්, රුසියාව හා ඉන්දියාව අතර පැවතී පැරණි මිත්‍රත්වයට ඉන් හානි නොකර ගැනීමට ඉන්දියාව පරෙස්සම් විය. කෙසේ වුවද ඇමරිකාව ඇතුළු බටහිර විසින් රුසියාවේ ආරක්ෂාවට තර්ජනය වන අයුරින සිදුකරන සියලු කටයුතු පිළිබඳව ඉන්දියාව දැනුවත්ව පසු වූ අතර, මේ හේතුව නිසා රුසියාව චීනය දෙසට හැරීම අකැමැත්තෙන් වුවද ඉවසා වදාළ බව බව පෙනේ. කෙසේ වුවද එවකට ඇමරිකාවේ හා NAATO සංවිධානයේ ක්‍රියාකාරකම් හේතුවෙන් රුසියාව චීනයේ ඔඩොක්කුවට අපහසුවකින් තොරවම රැගෙන යන බව එම ක්‍රියාදාමයට විරෝධය පල කරමින් ඉන්දියාව විසින් වරක් සිය ඇමරිකානු ප්‍රතිපාර්ශවය වෙත දැන්වූ බව ප්‍රකට කරුණකි. මෙහිදී ඇමරිකාව ඉන්දියාවේ සන්වේගයන් හා අපේක්ෂාවන් පිළිබඳව සැලකිල්ලට ගෙන නොමැත. රුසියාව චීනය දෙසට හැරුණහොත් ඉන්දියාව ඇමරිකාව දෙසට වඩාත් ලංකර ගත හැකිවෙතැයි ඇමරිකානු ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතැම්විට සිතුවා විය හැක. කෙසේ වූවාද, රුසියාව හා ඉන්දියාව පිලිබඳ ඇමරිකානු ප්‍රතිපත්තිය භූමරැන්ගයක් පරිද්දෙන් ඇමරිකාවටම අවාසිසහගත ලෙස හානි ගෙනදී තිබේ. 

පසුගිය පෙබරවාරි මාසයේ දී රුසියාව විසින් සිය හමුදා යුක්රේනයට යෙදවීම හේතුවෙන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහි සම්බාදක පනවන ලදී. ඉන්දියාව එම සම්බාදක රේජිමය පිළිනොගත්තේය. ඒ වෙනුවට ඉන්දියාව රුසියානු බොරතෙල් මිලදී ගැනීම වැඩි කළේය. එම තත්වය ඇමරිකාව දුටුවේ සහාසික අපහාසයක් ලෙසය. මෙම තත්වය දිගින් දිගටම පැවතුනොත්, ඇමරිකාව හා ඉන්දියාව අතර ඇති සම්බන්ධතා වලට හානි විය හැකි බව දේශපාලන විචාරකයින්ගේ මතයයි. එවැනි තත්වයකදී ශ්‍රී ලංකාව තවත් එක තායිවනයක් සේ සිතා කටයුතු කිරීමට ඇමරිකාව පසුබට නොවනු ඇත. රනිල් වික්‍රමසිංහ වැනි නව ලිබරල්වාදී නායකයෙක් බලයේ සිටියහොත්, ඉන්දියානු සාගර කලාපයේ ඇමරිකානු උපාය මාර්ගික සැලසුම් වලට ඔහුගේ සහාය සෘජුව හෝ වක්‍රව පලකිරීමට ඇති ශක්‍යතාව අධික නිසා තත්වය තවත් භයානක වීමට ඉඩ තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress