පැරිස් කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඩොලර් ණය යටත්විජිතවාදය
Posted on October 3rd, 2022

ධරිණි රාජසිංහම් සේනානායක

සතියක කාලයක් කොළඹ ගතකීරීමෙන් පසුව සැප්තැම්බර් මාසයේ පළමු සතියේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ආපසු යාම සඳහා වොෂින්ටනය බලා පිටත්වන ගුවන්යානයට ගොඩවනවිට ඉන්දීය සාගරයේ පිහිටි උපායමාර්ගික වැදගත්කමකින් යුතු මේ දිවයිනේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ කැරකෙන දොරින් ඇතුළු වූයේ පැරිස් කලබ්(Paris Club -PC),හෙවත් පැරිස් කණ්ඩායමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම රටින් බැහැරවීමට ප්‍රථම නිවේදනය කළේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමග තමන් නිලධාරි මට්ටමේ ගිවිසුමක් අත්සන් කළ බවය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්ව ඇත්තේ ආර්ථික අපරාධකරුවෙකු ලෙසය. කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ණය දරාගැනීමේ හැකියාව පිළිබඳ විශ්ලේෂණ වාර්තාව (Debt Sustainability Analysis Report on Sri Lanka) මෙන්ම ඉහත නිලධාරි මට්ටමින් ඇති කරගන්නා ලද ගිවිසුමේ අන්තර්ගතයද රහසක්ව පවතී. මේ සම්බන්ධව නිරාවරණය වූ එකම තොරතුර වසර 4ක කාලයක් පුරා ඩොලර් බිලියන 2.9ක් ලබා දීමට එකඟවීම පිළිබඳ පුවත පමණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිටත්වනවාත් සමගම ලංකාවට පැමිණි පැරිස් කණ්ඩායම විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ තමන් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සම්බන්ධ වීමට සුදානම් බවය. මෙය සිදුවන්නේ ඉන්දියානු සාගර කලාපය තුළ සීතල යුද්ධය උත්සන්න වෙමින් පවතින අතරතුර සහ ඉතිහාසයේ පළමුවරට ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කරමින් පසුගිය අප්‍රේලයේදී වේදිකාගත කරන ලද නාඩගම සිදුවී කෙටි කලක් තුළය.

ණය අඩුකිරීමේ හෙයාර්කට් එකක් ලෙස ඩොලර් බිලියන 2.9ක් ලැබීම සඳහා ශ්‍රි ලංකාව විසින් එහි සියලුම ණය හිමි පාර්ශ්වයන්ගේ, විශේෂයෙන්ම ද්විපාර්ශ්වික ණය දෙන්නන් වන චීනයේ සහ ඉන්දියාවේද ආසියාවේ අනෙකුත් සංවර්ධන පාර්ශ්වකරුවන්ගේද එකඟතාව ලබාගත යුතුය යන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදේශය මෙහිදී පැරිස් කණ්ඩායම විසින් ද ප්‍රතිරාවය කර තිබේ.

පැරිස් කණ්ඩායමේ නායක බෘෘනෝ බෙසාර්ඩ්

සැබැවින්ම පැරිස් කණ්ඩායම යනු කුමක්ද? මෙය පිළිබඳව අසා ඇති ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙකුන් හෝ සිටීද? මෙම පැරිස් කණ්ඩායම ටවුමට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති විවිධ වර්ගවල ණය හිමියන් සම්බන්ධීකරණය කිරීම සඳහාය. මක්නිසාද යත් ප්‍රශ්නයේ බර බෙදා හදාගැනීම සහ සියළු ණය හිමියන් අතර විනිවිද පෙනෙන සුළු බව ඇති කිරීම කවර වර්ගයක හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට පෙර පූර්ව අවශ්‍යතාවක් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසන නිසාය.

කෙසේ වුවද බොහෝ සිවිල් සමාජ සංවිධාන රටේ පාලක කල්ලිය විසින් නීති විරෝධී සහ නින්දිත ලෙස ගෙන ඇති සියළු ණය අවලංගු කර දමන ලෙස විසින් ඉල්ලීමක් කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ, ලංකාවේ ණයවලින් විශාල කොටසක් ලබාගෙන ඇත්තේ අපැහැදිලි ගුප්ත හෙජ් අරමුදල්(Hedge Funds) හෝ ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර ( International Sovereign Bond -ISB) විකිණුම්කරුවන් මෙන්ම ඇතැම් අවස්ථාවලදී ද්විපාශ්වික ණය ලබාදෙන්නන් සහ දූෂිත දේශපාලනඥයන් අතර සිදුව ඇති වංචා සහගත ගනුදෙනු බවත් එම ණය දැන් ජනතාව වෙත පටවා ඇති බවත්ය.

ඉතා පැහැදිලි දෙය නම් දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍යයන් විසින්, මෙම ණයගැති බව සහ බංකොළොත් බවට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව එකිනෙකා වෙත චෝදනා කරමින් පවත්වාගෙන යන ලද ආඛ්‍යානය කුමක් වුවද ඩොලර් උගුල විසින් ආර්ථික සහ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ ස්වාධීනත්වයද, ස්වෛරීත්වයද? නිදහසද විශාල වශයෙන් අහිමි කරනු ලැබ ඇති ශ්‍රි ලංකාවේ පුරවැසියන්ට මෙම ජාත්‍යන්තර ණය හිමියන්ගේ ණය ගෙවීමට සිදුව ඇති බව පැහැදිලිය.

ගෝලීය දකුණේ බොහෝ රටවල් මෙන්ම ශ්‍රි ලංකාවද කොවිඩ්-19 ලොක්ඩවුන් ක්‍රියාමාර්ග විසින් ප්‍රේරණය කරන ලද ණය උගුලට හසු වෙද්දි, ආර්ජන්ටිනාව, සැම්බියාව, ලෙබනනය වැනි සිය ජාත්‍යන්තර කටයුතුවලදී ඩොලර් භාවිතයෙන් ඉවත්වෙමින් අඩුමිලට රුසියාවෙන් ඉන්ධන ගැනීමට අපේක්ෂා කළ  රටවල් එක්සත් ජනපදය සහ බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව පනවන ලද සම්බාධකවලින් පහර වැදිණි. කෙසේ වුවද ඉන්ධන සහ ගෑස් හිඟය විසින් ආර්ථිකය දුර්වල කෙරෙමින් පැවතුන ද එය කළ නොහැකි වූයේ අසාමාන්‍ය ලෙස වරප්‍රසාදිත ඇමෙරිකන් ඩොලර් ලබාගැනීම සඳහා එම රටවලට බටහිර මූල්‍ය ක්‍රමය සහ පාරිභෝජක වෙළෙඳපොළ මත රඳා පැවතීමට සිදු වූ බැවිනි.

මේ මොහොතේදී ඩොලර් උගුල් රාජ්‍යතන්ත්‍රවාදය ගැනත් සම්පත් කොල්ලයකට ගොදුරු වෙමින් පවතින ශ්‍රි ලංකාව නැවතත් සෘජු යටත් විජිතවාදයකට නතුවීම ගැනත් අපි කතා කරන්නේ එහෙයිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පැරිස් කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ජාතික බලශක්ති ක්ෂේත්‍රයද, ජාතික ප්‍රවාහන පද්ධතිය සහ එහි යටිතල ව්‍යුහයන්ද බන්දේසියක තබා පිරිනමනු ඇත. ශ්‍රි ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව සහ ස්වෛරීත්වය මුළුමණින්ම අහෝසි වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ලෝක බැංකුව සහ පැරිස් කණ්ඩායම හරහා වොෂින්ටනය විසින් මෙහෙයවන ඩොලර් උගුලේ රාජ්‍යතන්ත්‍රවාදය විසින් සහතික කර ඇත්තේ බටහිර විසින් නැවත වතාවක් උපායමාර්ගික වැදගත්කමකින් යුතු මේ දිවයිනේ ආර්ථික සහ වෙළඳ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම සියතට ගනිමින් සිටින බවය. ඉන්දියානු සාගරය මැද පිහිටා ඇති ශ්‍රි ලංකාව සෑම විටෙකම එකිනෙකට පසමිතුරු ලෝක බලවතුන්ගේ ඉලක්කයක්ව පවතී

ණයගැතිබව: ඉලක්කම් සෙල්ලම සහ යටත්විජිතවාදි බලය, දැනුමේ ධූරාවලිය

ශ්‍රී ලංකාවේ විදේශ ණය පිළිබඳව නිවැරදි ප්‍රමාණය පිළිබඳව තවමත් පවතින්නේ ගැටළුවකි. මේ වසරේ අප්‍රේලයේදී රට බංකොළොත් බව ප්‍රකාශ කරන විට ශ්‍රි ලංකාව ඩොලර්වලින් ගෙන ඇති විදේශ ණය පිලිබඳව ඩොලර් බිලියන 51 සිට බිලියන 26 දක්වා පරාසයක විවිධ සංඛ්‍යාවන් ඉදිරිපත් කර තිබුණ අතර එයින් පෙන්නුම් කෙරුනේ මෙම ඉලක්ක සෙල්ලම රඳා පැවතියේ ණය ප්‍රමාණය පිළිබඳව ගණනය කරන්නේ කවුරුන්ද යන්න මත බවය.කවර හේතුවක් මත හෝ ශ්‍රි ලංකා මහබැංකුව (Central Bank of Sri Lanka – CBSL) සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර යම් යම් මතබේද පවතින බව දැකිය හැකිය. මහබැංකුවේ ප්‍රධානියා අවධාරණය කර ඇත්තේ ශ්‍රි ලංකා රජය විසින් අභ්‍යන්තර රුපියල් මූල්‍ය වෙළඳපලෙන් ගෙන ඇති ණය සැලකිල්ලට ගෙන නැති බවය.

ණය පිළිබඳ ඉලක්කම් සෙල්ලමද බොහෝ දුරට කොවිඩ්-19 මරණ, සහ ආසාදිත සංඛ්‍යාවන් පිළිබඳව දැක්වීමේදී සිදු කරන ලද ඉලක්කම් සෙල්ලමටම සමානය. එහිදී අතිශයෝක්තියෙන් විශාලනය කර පෙන්වන ලද ව්‍යාජ සංඛ්‍යාලේඛන මගින් සමාජය පුරා භීතිය වපුරන ලද අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද ආර්ථිකමය වශයෙන් විනාශකාරි ලොක්ඩවුන් සහ නිරෝධානය ඇඳිරි නීති ක්‍රියාමාර්ගද, ඖෂධ සමාගම්වලට අතිවිශාල ලාභ ලබා දෙමින් රටේ ණය බර ඉහළ දැමීමටද හේතු වූ මිලිටරීකරණය කරන ලද කොවිඩ්-19 එන්නත් ව්‍යාපාරයද පදනම්වූයේ මේ ඉලක්කම් සෙල්ලම මතය.

ශ්‍රී ලංකාවේ ණය හිමියෝ සහ ණය ප්‍රමාණය (එක්සත් ජනපද ඩොලර් මිලියන වලිනි) විදේශ වත්කම් දෙපාර්තුමේන්තුව*

ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර විශාලතම ණයහිමියන් වන්නේ එක්සත් ජනපදය සහ යුරෝපය පදනම් කරගෙන ක්‍රියාත්මක වන අපැහැදිලි ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර හිමියන්ය. ශ්‍රි ලංකාවේ ණයවලින් 50%ක් අයිතිවන්නේ ඔවුන්ටය. මීට අමතරව ඉන්දියාව, ජපානය, චීනය සහ වෙනත් රටවල් වෙතින්ද ද්විපාර්ශ්වික ගිවිසුම් යටතේ ණය ලබාගෙන ඇත. එමෙන්ම බහු පාර්ශ්වික අන්තර් රාජ්‍ය සංවිධාන වන ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank – ADB) , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුවද (WB) වෙතින්ද ශ්‍රී ලංකා රජය ණය ලබාගෙන තිබේ.

මේ අවස්ථාවේදී කොළඹ රනිල් වික්‍රමසිංහ රජය විසින් තමන් නියෝජනය කිරීම සඳහා පැරිස් කණ්ඩායම සහ ලසාර්, ක්ලිෆර්ඩ් ඇන්ඩ් චාන්ස් කුලියට ගැනීම මගින් පෙන්නුම් කරන්නේ ශ්‍රි ලංකාවේ ණය සහ ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබඳ ගණනය කිරීම් රොකට් විද්‍යාඥයන්ගේ සහාය පැතිය යුතු තරම් අතිශය දුෂ්කර කාර්යයක් බවත්, ඒ නිසා ණය පිළිබඳ සාකච්ඡාවලදී ලංකාවේ ජනතාව, රජය හෝ අඩු තරමින් තමන්වමවත් නියෝජනය කිරීමට අවශ්‍ය විශේෂඥ බව හෝ අත්දැකීම් ද මානසික හැකියාවන්ද දේශිය සහ ශ්‍රී ලාංකික ගිණුම් සමාගම් සහ නීති ආයතන වලට නොමැති බවට රනිල් වික්‍රමසිංහ රජය විසින් නිගමනය කර ඇති බව පෙනී යයි.

දැන් පැහැදිලි වෙමින් පවතින දෙය නම් පැරිස් කණ්ඩායම විසින් නියෝජනය කරනු ලබන්නේ එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය මත පදනම් වූ ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර විකුණන මූල්‍ය සමාගම් (International Sovereign Bond – ISB) සහ ධනවත් රටවල් විසින් පිහිටුවා ඇති සංවිධානයක් වන ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානයට ( Organization for Economic Corporation and Development – OECD)අයත් හෙජ් අරමුදල් බවයි. ලංකාවේ ණයවලින් විශාල ප්‍රතිශතයක් එනම් 50%ක් අයත් වන්නේ ඉහත දෙපාර්ශ්වයටයි. මෙය ඔවුන් ආසියාවේත් අප්‍රිකාවේත් ලතින් ඇමෙරිකාවේත් සියලු පශ්චාත් යටත් විජිත රටවල් තුළ සිදු කරන දෙයකි. ලෝකය පුරා කොවිඩ්-19 ලොක්ඩවුන් මගින් බංකොලොත් කරන ලද ආර්ථිකයන් සහිත රටවල සම්පත් මිලදී ගැනීම සඳහා 2020 දී එක්සත් ජනපද ආණ්ඩුවේ කොවිඩ්-19 ඇප අරමුදල්වලින් (bailout funds) විශාල කුට්ටියක් හිමිකරගත් බ්ලැක්රොක් මූල්‍ය සමාගම වනාහි ලංකාවේ ස්වෛරී ණය වලින් විශාලතම ප්‍රතිශතය අයත් පාර්ශ්වයයි. මේ අතර බ්‍රිතාන්‍යයේ පළමු යටත් විජිතවලින් එකක් ලෙස සැළකෙන ලෝකයේ බදු වංචනිකයන්ගේ ප්‍රියතම මූල්‍ය තිප්පලක් වන කැරිබියන් දූපත්වල සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් (St. Kitts and Nevis) හි හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ණය සහ වාරික ගෙවීම අත්හිටුවීම පිලිබඳව ශ්‍රී ලංකා රජයට එරෙහිව නඩු පවරා ඇත.

යටත්විජිතවාදි පැරිස් කණ්ඩායමට එරෙහිව නව ආසියානු සංවර්ධන හවුල්කරුවෝ

පැරිස් කණ්ඩායම හඳුන්වනු ලබන්නේ ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානයට (OECD) අයත් රටවල ණය ලබා දෙන්නන් අතර අතිශය බලගතුම මූල්‍ය කාටලයක් ලෙසය. ලෝකයේ ධනවත්ම ජාතින් 19ක් සාමාජිකත්වය දරන පැරිස් කණ්ඩායමේ මූලස්ථානය පිහිටා ඇත්තේ ප්‍රංශයේය. එම රටවල් තමන්ගේ සාමූහික ණය ආයෝජනයන් කළමණාකරණය කිරීම සඳහා එය පිහිටුවන ලද්දේ 1956 දී ණය ලබාදෙන රටවල අවිධිමත් කණ්ඩායමක් ලෙසය. පැරිස් කණ්ඩායම ණය නැවත ලබාගැනීමේ බලසම්පන්න එක්සත් පෙරමුණක් වූ හෙයින් මෑතක් වනතුරුම එහි නිර්දේශ විධිමත් ලෙස අනුගමනය කරනු ලැබිණි.

නීතිවිරෝධී ණය අවලංගු කිරීම සඳහා වන කමිටුව ( Committee for the Abolition of Illegitimate Debt – CADTM)විසින් පෙන්වා දී ඇති පරිදි, පැරිස් කණ්ඩායම පරිණාමය වී තිබේ. කලක් යටත්විජිතවාදි අධිරාජ්‍යයන් පවත්වාගෙන ගිය බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය වැනි රටවල විදේශ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවෙන ආයුධයක් බවට පත්ව තිබේ. එමෙන් ම එක්සත් ජනපදය වැනි නව යටත්විජිතවාදි රටවල් විසින් ණයගැතිභාවය ආයුධයක් ලෙස යොදාගෙන ඇත්තේ දුප්පත් රටවල් මත සිය බලපෑම තහවුරු කිරීමටත් ඒවායේ සම්පත් කොල්ලකෑමටත්ය.

ඩොලර්-ණය යටත්විජිතවාදී මෙහෙයුමක් ලෙස ද හැඳින්විය හැකි පැරිස් කණ්ඩායමේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුමට ජපානයද ඇතුළත් කර ඇති අතර ඒ අනුව වොෂින්ටනයේ උපදෙස් පරිදි ශ්‍රි ලංකාවේ ණයහිමියන්ගේ රැස්වීමක් සංවිධානය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය ජපානයටද ආරාධනා කර තිබේ.

ණය සහ යටත් විජිතවාදය:ගෝලීය දකුණේ ජනතාවගේ හඬ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල-පැරිස් කණ්ඩායම-ලසාර්ඩ් යන ආයතන විසින් කිසිදු පාරදෘෂ්‍යභාවයකින් තොරව මෙහෙයවනු ලබන ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ මෙහෙයුමේ තුළ යටත් විජිතවාදි බලය සහ දැනුම පිළිබඳ ධූරාවලින් ආදි සියල්ල භාවිතාවේ යෙදෙන බවට සාක්ෂි තිබේ. එහෙයින් සිවිල් සමාජ කණ්ඩායම් ඉල්ලා සිටින්නේ ශ්‍රි ලංකාවේ නීතිවීරෝධී සහ පිළිකුල් සහගත ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර වහාම අවලංගු කර දමන ලෙසත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රි ලංකාව පිළිබඳ ණය සාධ්‍යතා විශ්ලේෂණ වාර්තාව ( IMF Debt Sustainability Analysis Report on Sri Lanka) සහ ලසාර්ඩ් වාර්තාව( Lazard Report), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් නිලධාරි මට්ටමේ එකඟතා ගිවිසුම ( IMF Staff Level Agreement) යන ලියවිලි වල අන්තර්ගතය වහාම ජනතාවට හෙළිදරවු කරන ලෙසත් ය. එමෙන්ම අනාගතයේදී බ්ලැක්රොක් වැනි ගිජුලිහිණි මූල්‍ය සමාගම් වලින් ණය ගැනීම වහාම තහනම් කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

මේ අතර මූලික වශයෙන් බටහිර රටවල් වලින් සැදුම්ලත් ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD) විසින් ජාත්‍යන්තර මූල්‍ය සහ සංවර්ධන සහයෝගිතාව පිළිබඳ පවත්වාගෙන යන ආධිපත්‍යයට සහ පාලනය වෙත කලින් එම බටහිර රටවල් විසින් සිය යටත් විජිත ලෙස පවත්වාගෙන යන ලද චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, මැලේසියාව සවුදි අරාබිය, වියට්නාමයයන රටවලින්ද, බ්‍රසීලය,රුසියාව,ඉන්දියාව,චීනය සහ දකුණු අප්‍රිකාව වැනි රටවලින් සැදුම් ලත් BRICS ආර්ථික සහයෝගිතාව මගින්ද, නව සංවර්ධන බැංකුව මගින් (New Development Bank -NDB), ආසියානු යටිතල සංවර්ධන බැංකුව (Asia Infrastructure Bank – AIIB) මගින්ද දැඩි අභියෝගයක් එල්ලවෙමින් පවතී. මෙම තත්ත්වය විසින් ධනවත් බටහිර සහ සෙසු ලෝකය අතර සීතල යුද්ධය උත්සන්න කෙරී ඇත.

එල්ලා මරා දමන ලද මිනිසෙකුගේ සාක්කුවට සුද්ද කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල- මෙක්සිකානු කාටූන් ශිල්පි රොජෙලියෝ නරන්ජෝගේ කාටූනයක් ( Rogelio Naranjo-Mexico 1937-2016)

නව සීතල යුද්ධය සහ යටත්විජිතවාදයේ දෙවන අදියර විසින් රුසියාව සහ චීනය සිය ඉලක්කය බවට පත් කරගෙන අතර ප්‍රතිවිරුද්ධ භූ දේශපාලනික බල කඳවුරු ගොඩ නැගෙමින් පවති. යුක්‍රේන යුද්ධය සහ රුසියාවට එරෙහි බටහිර රටවල සම්බාධක පනවා ඇති සංදර්භය තුළ සහ ණය යටත් විජිතවාදය විසින් නැවත ආසියාවත් අප්‍රිකාවත්, දකුණු ඇමෙරිකාවත් යටත් කෙරෙමින් පවතින අතර ගෝලීය දකුණ එක්සත් ජනපද ඩොලරය අත්හැර දැමීමේ දුෂ්කර ව්‍යායාමයක නිරතව සිටී. ඉන්දියාව සහ රුසියාව විසින් සිය රටවල් අතර වෙළඳාම රුපියල් සහ රූබල්වලින් සිදු කිරීමට එකඟවී තිබේ.

දීර්ඝකාලයක් තිස්සේ බටහිර ආධිපත්‍යයට යටත්ව ඇති ජාත්‍යන්තර මූල්‍ය සහ සංවර්ධන සහයෝගිතා ආකෘතියේ ප්‍රතිසංස්කරණ සිදු කළයුතු යැයි ද ණය උගුලේ සිරවුණු රටවල් එක්සත් වී දූෂිත දේශපාලනඥයන් සහ ගිජුලිහිණින් බඳු ජාත්‍යන්තර ණය බැඳුම්කර වෙළෙන්දන් සහ මූල්‍ය අරමුදල්ද විසින් ගොඩගසන ලද නීති විරෝධී සහ පිළිකුල් සහගත ණය අවලංගු කළයුතු යැයි ද නගන හඬ දිනපතා වර්ධනය වෙමින් පවතී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව තුළ යුරෝ- ඇමෙරිකන් ආධිපත්‍ය පැහැදිලිව දිස්වන එක් සාක්ෂියක් නම් ලෝක බැංකුවේ ප්‍රධානියා සෑම විටෙකම එක්සත් ජනපදයේ ප්‍රධානියෙකු වන අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානියා සෑම විටෙකම යුරෝපීය ජාතිකයෙකු වේ. මෙම ගෝලීය මුල්‍ය ආයතනවල ඉහළම නායකත්වයට ප්‍රවේශ වීමට ලෝකයේ සෙසු රටවලට කිසිදු ඉඩක් යුරෝපය හෝ ඇමෙරිකාව ලබා දී නැත.

මේ නිසා ණය ගැති රටවල් තුළින් මතුවන එක් ඉල්ලීමක් නම් පැරිස් කණ්ඩායම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි බටහිර ආධිපත්‍ය දරන මූල්‍ය කාටලයන් සමග ණය යුක්තිය සහ පාරිසරික යුක්තිය පිළිබඳව කේවල් කිරීම සඳහා කලින් යටත් විජිත ලෙස පැවැති අප්‍රිකාවේත් ආසියාවේත් දකුණු ඇමෙරිකාවේත් රටවල් විසින් තමන්ගේම දකුණේ කණ්ඩායමක් ගොඩ නැගිය යුතුව ඇති බවයි.

මේ සංදර්භය යටතේ වොෂින්ටනයේ එකඟතාවන්ගේද පැරිස් කණ්ඩායම සහ සියලු ණය හිමියන්ගේ නියෝගවලට නිහඬව යටත්වනවාට වඩා ලංකා රජය සහ සිවිල් සමාජ සංවිධාන සටන් කළ යුත්තේ ලාංකික ජනතාවගේ මස් රාත්තලම ඉල්ලා සිටින ෂයිලොක් වර්ගයේ ණය හිමියන්ට එරෙහිව සිය ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීමෙහිලා උපරිම ස්වාධීනත්වය, ස්වෛරීත්වය සහ නිදහස දිනාගැනීම සඳහායි. එනම් ණය උගුලට හසුව ඇති ශ්‍රි ලංකාවේ පුර වැසියන්ගේ උවමනාවන් ඉටු කළ හැකි හොඳම ආකාරය ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර, එම ණය ලබාදුන්නවුන්ගේ අනන්‍යතාව පිළිබඳ පාරදෘෂ්‍ය භාවයක් රහිත වීම සහ එම ක්‍රියාදාමයේ දූෂිත ස්වභාවය පෙන්වා දෙමින් ඒවා සහමුළින්ම අවලංගු කර දැමීම මගිනි.

යටත්විජිතවාදය, දූෂණ සහ විනාශකාරි ණය : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආර්ථික අපරාධ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ලංකාවෙන් පිටත්වීමට පෙර සිදු කළ නිවේදනයේ දූෂණය යන වචනය සඳහන්ව තිබුණද 2015 මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ ජනාධිපතිවරයෙක් විසින් මෙහෙයවනු ලබන සහ දූෂිත ඇමැතිවරුන්ගෙන් පිරුණු කැබිනට් මණ්ඩලයකින් සමන්විත කොළඹ රනිල් වික්‍රමසිංහ රජය සමග ගිවිසුම් අත්සන් කිරීමට ඔවුන් තුළ කිසිදු පිළිකුලක් නොවිණි.
ඉහත බැඳුම්කර වංචාවන් විසින් ලංකාව වර්තමාන ණය උගුලේ සිර කිරීම සඳහා ද මෙම වසරේ අප්‍රේලයේදී ණය ආපසු ගෙවීම නතර කිරීමට ප්‍රකාශයට පත් කිරීම කෙරෙහි ද විශාල වශයෙන් දායක වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපද ඩොලරයට එරෙහිව රුපියලේ වටිනාකම අඩුවීමද ජනතාව අතර දුප්පත්කම ඉහළ යාමද සිදු වී තිබේ.

2015 මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි සමයේ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ නොමග යවමින් අති විශාල ලාභ උපයන්නෙකු ලෙස සැළකෙන ජෝර්ජ් සොරෝස්  2016 දී ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව

මානව සහ සමාජ සංවර්ධන දර්ශකයන්ට අනුව කලක් දකුණු ආසියාවේ ධනවත්ම රටවල් අතරින් එකක් ලෙස සලකන ලද ශ්‍රි ලංකාව දරුණු ඩොලර් ණය අගුලක කොටු වීම හේතුවෙන් රුපියලේ අගය විශාල වශයෙන් කඩාවැටීමත් උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති මෙම දිවයිනේ ඉන්ධන සහ ආහාර සැපයුම් මාර්ග අවහිර කිරීමත් සිදුව තිබේ.මේ අතර උද්ධමනය පිළිබඳ ඉලක්කම්ද ණය පිළිබඳ සංඛ්‍යා ලේඛන මෙන්ම දත්ත, දර්ශක සහ සමීකරණ විකෘති කෙරෙමින් පවත්වාගෙන යන ඉලක්කම් සෙල්ලමක් බවට පත්වී තිබේ.

වඩ වඩාත් පැහැදිලිවෙමින් පවතින කරුණ නම් ශ්‍රී ලංකාව සිර වී ඇති ඩොලර් ණය උගුලේ ප්‍රතිපලයක් ලෙස දැනටමත් එයට ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීමෙහිලා ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය අහිමි වී ඇති බවය. ඒ නිසා අන්තර් ජාතික වෙළඳාමේදී ඩොලරය භාවිතයෙන් ඉවත්වීමට එයට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් සිය ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස ඇමෙරිකාව සහ යුරෝපා සංගමය විසින් පනවන ලද සම්බාධකවල ඉලක්කයක් වී ඇති රුසියාවෙන් රුපියල් – රූබල් හුවමාරුව මගින් ඉතා අඩු මිලකට තෙල් සහ ගෑස් මිලදී ගැනීම අවහිර කෙරී ඇති බවත් පැහැදිලි ය.

සත්තකින්ම රටේ අපනයන ආදායම බටහිර වෙළඳපොළ මත රඳා පවතින අතිරේක සාධකයක් වී ඇත්තේ රටේ යටත් විජිත පරාධීන ආර්ථික ව්‍යුහයයි. එය විසින් පෙන්නුම් කරන්නේ රටේ අපනයන නිෂ්පාදනය විවිධාංගීකරණයට (ඛනිජ සහ ධීවර වැනි ක්ෂේත්‍රයන් තුළ ) අසමත්වූ රටේ ව්‍යාපාරික ප්‍රජාවේත්, දේශපාලන ප්‍රභූ පැළැන්තියේත්, අදාළ ඊනියා විශේෂඥයන්ගේත් අසමර්ථභාවයයි. යටත්විජිතගැති මානසිකත්වය ද ස්වාධීන සහ ස්වෛරී ජාතික ආර්ථිකයක් සහ වෙළෙඳ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමෙහිලා බාධාවක්ව පවතී. එවැනි ස්වාධීන සහ ස්වෛරී ආර්ථික සහ වෙළඳ ප්‍රතිපත්තියක් ගොඩනගා ගැනීමට සමත් වූයේ නම් ඩොලර් ණය උගුලට හසු වී දුක් විඳින ශ්‍රී ලංකාවේ ජනතාව ඉන් මුදවා ගැනීමට පහසුවෙන් ඉඩ තිබිණි.

යටත්විජිතවාදි ගැති බව පවත්වාගෙන යාමට යොදාගෙන ඇති ජීඑස්පී ප්ලස් සහ මයිනස් වෙළෙඳ සහන හා සම්බන්ධිත යුරෝපා සංගමයේ විවෘත තර්ජන විසින් වුවද ප්‍රතිපත්ති සම්පාදනයෙහි ලා ස්වාධීනත්වය සහ ස්වෛරීත්වයද ආර්ථික සහ වෙළඳ නිදහසද ආරක්ෂා කර ගැනීම හරහා ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් කටයුතු කරන ලෙස ලංකාවේ කිසිදු අකාර්යක්ෂ්ම හෝ දූෂිත ආණ්ඩුවක් පෙළඹවීමට සමත්ව නැත.

ශ්‍රී ලංකාවේ ණය ඔප්පු

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ සංචාරය සිදුවන අතර තුර සිවිල් සමාජ කණ්ඩායම්වලින් ණය අවලංගු කරන ලෙසත්, ණය පිිළිබඳ යුක්තිය ඉටු කරන ලෙසත්,ණය ඔප්පු ලියවිලි ඉදිරිපත් කරන ලෙසත්, ණයගෙවීමේ සහන කාලයක් (Moratorium) ලබා දෙන ලෙසත්, රජය විසින් මිනී කන පොලී අනුපාත සහිත පුද්ගලික මුල්‍ය වෙළෙඳපොළෙන් සහ ජාත්‍යන්තර ස්වෛරී ණයබැඳුම්කර මගින් ණය ලබාගැනීම තහනම් කරන ලෙසත් ඉල්ලා සිටිති.ලංකාව ණය උගුලකට හිරවීමටත් බංකොළොත් වීමටත් ප්‍රධාන හේතුව පුද්ගලික මූල්‍ය ආයතන සහ ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර මගින් ලංකා රජය ලබාගත් ණයයි.ඒවායින් ශ්‍රි ලංකාව ලබාගත් ණය ප්‍රමාණය 50%කට ආසන්නය.

නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම පැරිස් කණ්ඩායම ද ලංකාවට පැමිණ ඇත්තේ ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර ණය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් නැවත ගෙවනු ලබන බවට ඇප වීම සඳහාත්, දිගින් දිගටම මෙම පුද්ගලික මූල්‍ය අරමුදල් සහ ස්වෛරී ණය බැඳුම්කරවලින් ශ්‍රී ලංකා ආණ්ඩුව ණය ගන්නා බවට තහවුරු කරගැනීම සඳහාත්ය.

මීට වසර 20කට පමණ පෙර මෙම බටහිරට අයත් සංවර්ධන කර්මාන්තය කෙරෙහි දැඩි සැකසහිත අවධානයක් යොමු වූ අතර එහි ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් විය.බටහිර OECD සන්ධානයට අයත් රටවල් විසින් මෙහෙයවන මූල්‍ය ආධිපත්‍යයට කලින් යටත් විජිතව පැවැති ගෝලීය දකුණේ රටවලින් එනම් චීනය, ඉන්දියාව, වැනි රටවල් වෙතින්ද බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව,චීනය , සහ දකුනු අප්‍රිකාව වැනි රටවලින් සැදුම්ලත් BRICS ආර්ථික සහයෝගීතා සන්ධානයද, නව සංවර්ධන බැංකුවද වෙතින් දැඩි අභියෝගයක් එල්ල වී ඇත. මෙම රටවල් සහ ආයතන විසින් සංවර්ධන ආධාර ලබාදීමට අදාළ විකල්ප යටිතල ව්‍යුහයන් ගොඩනගමින් සිටිති.

නව ආසියානු සංවර්ධන හවුල්කරුවන් විසින් යුරෝ-ඇමෙරිකන් ඩොලර් ආධිපත්‍යය විසින් මෙහෙයවෙන ගෝලීය මූල්‍ය ක්‍රමයට දැඩි අභියෝගයක් එල්ලකරමින් ඇත.ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලාංකිකයන්ට භූ දේශපාලනික බලක්‍රීඩාවට ගොදුරුවීමට අවශ්‍යතාවක් තිබේද යන්නයි. ද්විපාර්ශ්වික(එනම් අන්තර් රාජ්‍ය ණය ගනුදෙනු) ණය දෙන්නන් වන චීනය සහ ඉන්දියාව ප්‍රකාශ කර ඇත්තේ තමන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රි ලංකා රජය සමග එක්ව කටයුතු කිරීමට සුදානම් නමුත් පැරිස් කණ්ඩායම හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ක්‍රියාදාමයට එක් නොවන බවය. මෙම ස්ථාවරය විසින් ශ්‍රි ලංකා රජය බලකඳවුරු අතර අරගලය තුළ දුෂ්කර තත්ත්වයකට පත් කර තිබේ. එමෙන්ම ශ්‍රි ලංකා ජනතාව තවදුරටත් දූෂිත ජාත්‍යන්තර මූල්‍ය ජාලයන්ගේ ගොදුරක් බවට පත් වී සිටිති.

සිවිල් සමාජ කණ්ඩායම් ඉල්ලා සිටින්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ
ශ්‍රී ලංකාවේ ණය දරාගැනීමේ හැකියාව පිළිබඳ විශ්ලේෂණ වාර්තාව (Debt Sustainability Analysis Report on Sri Lanka) ලසාර්ඩ් ක්ලිෆර්ඩ් ඇන්ඩ් චාන්ස් වාර්තාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් නිලධාරි මට්ටමේ එකඟතාවන් පිළිබඳ වාර්තාව මෙන්ම මෙම විදේශ උපදේශකයන්ට සහ විශේෂඥයන්ට ගෙවන ලද මුදල් පිළිබඳවය.

සටහන්

හෙයාකට්   Hair Cut

මූල්‍ය කටයුතුවලදී හෙයාකට් එකක් නැතහොත් කොණ්ඩය කැපීමක් ලෙස හඳුන්වන්නේ යම් වත්කමක පවත්නා වෙළෙඳ පොළ වටිනාකම සහ නියාමක වත්කම් හෝ ණය අවදානම ගණනය කිරීමේ අවශ්‍යතාව මත එම වත්කම වෙත ආරෝපනය කරනු ලබන වටිනාකම් අතර වෙනසයි. මෙහිදී හෙයාකට් එකක ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ යම් කිසි වත්කමක් සඳහා හදිසි විකිණීමක් හෝ ඈවර කිරීමක් සිදුවන විට වටිනාකම පහළ වැටීමට ඉඩ ඇති ප්‍රමාණය අනුවය. වත්කමක මිලෙහි අවදානම හෝ වාෂ්පශීලතාව විශාලවන තරමට හෙයාකට් එකද විශාල වේ

ණය ඔප්පුව  Proof of debt

ණය ඔප්පු කිරීම යනු ණය හිමියා විසින් බංකොළොත්ව ඇති ණයගැති පාර්ශ්වයට එරෙහිව ඔහුගේ අයිතිවාසිකම් ඔප්පු කිරීමට යොදාගනු ලබන ක්‍රියාදාමයකි. ණය ඔප්පුවක් යනු ණය ලබා දෙන්නා විසින් සිය අයිතිවාසිකම් පිළිබඳව ඉදිරිපත්කරන සවිස්තරාත්මක ලියවිල්ලකි.
ණය ඔප්පුවක් ඉදිරිපත්කරනු ලබන්නේ අවශ්‍යතා දෙකක් සඳහාය.
1.බංකොලොත් බව ප්‍රකාශ කෙරෙන ක්‍රියාදාමය පිළිබඳ ගැටලුවලදී ණය හිමියාට ඡන්ද අයිිතිය ලබාගැනීම සඳහා
2.බංකොළොත් පාර්ශ්වයට අයත් දේපොළවල බෙදාගැනීමේදී තමන්ගේ පංගුවට අයිතිවාසිකම් කීම සඳහා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress