පළාත් පාලන ඡන්දයේ අවුල මොකක්ද?  
Posted on October 12th, 2022

රජිත් කීර්ති තෙන්නකෝන් 

වත්මන් පළාත් පාලන ඡන්ද ක්‍රමය පිළිබඳ විවේචණ ගණනාවක් පසුගිය වසර 4 තුල මතු වූ අතර, එයට පිළියමක් ලෙස ඡන්ද ක්‍රමයේ සංශෝධන පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනු ලැබීය. එම කමිටුව සකස් කළ වාර්තාවට පාර්ලිමේන්තු කමිටුවේ සමාජිකයින්ගේ අනුමැතිය ලැබුණේ නැත. මැතිවරණ සංශෝධන නැවතුණේ එතනය.

දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් පත් වූ කමිටුවට සියළුම දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළත් විය.  මැතිවරණ පිළිබඳ විශේෂඥතාවයක් සහිත තාක්ෂණික කමිටුවක් පක්ෂ නියෝජනය කරමින් පත් විය. ඔවුන් හැදු ඡන්ද ක්‍රමය ගැන පසුගිිය මාර්තු මාසයේ මා ලියූ ලිපි දෙකක් පහතින් ඇත. නව ක්‍රමය ගැන අදහස් දක්වන්නට විපක්ෂ නායක කාර්යාලයේ රැස්වීම් දෙකකට මම ත්, ආචාර්ය සුජාතා ගමගේ මහත්මියත් සහභාගි වූවෙමු. (හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ද පාර්ලිමේන්තු කමිටුවේ දී මා සිටි ස්ථාවරයේ සිටි බව ආරංචි වූ නමුත්, ඔහු සිය අදහස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නැත.)  ඉන් පසු පාර්ලිමේන්තුවේ දී පක්ෂ නායක රැස්වීමක් පැවති අතර එහි දී යෝජිත නව ක්‍රමය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර ලෙස බලපාන ආකාරය පෙන්වා දුනිමි.  පක්ෂ නායකයින් එයට එකඟ විය. ඔවුහු නව ඡන්ද ක්‍රමය පිළිබඳ යෝජනාව කමිටු අවස්ථාවේ දී ප්‍රතිකේෂප කළෝය.

මේ ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම වගේම නව ක්‍රමයක් සකස් කිරීමේ වැදගත්කම එදා මම පක්ෂ නායකයින් වෙත අවධාරණය කළෙමි.  අවසානාවකට එදා එය සිදු වූවේ නැත.  දැන් නැවත පළාත් පාලන ඡන්ද ක්‍රමයේ අර්බුදය සාකච්ඡාවට බදුන් වී ඇත.

වත්මන් පළාත් පාලන ඡන්ද ක්‍රමය ගැන මුලික විවේචනයට හේතුවන කරුණු මෙසේය.

1.       පළාත් පාලන සභික සංඛ්‍යාව 8711 ක් වැඩි බව සහ එය අවම වශයෙන් 4000 ක සීමාවට අඩු කළ යුතු බව.

2.       කාන්තා නියෝජනය පරාජිත දේශපාලන පක්ෂවල පැවැත්මට තර්ජනයක් වන අයුරින් සකස් වී ඇත. කාන්තා නියෝජනය පීඩනයක් ලෙස පරාජිත පක්ෂ මත පැටවෙන්නේය. පත්වන මන්ත්‍රී සංඛ්‍යාවෙන් 25% ක් (4000 න් 1000) ක් වත් කාන්තාවන්ට හිමිවන ක්‍රමය තවදුරටත් පවත්වාගනු ගත යුතුය. (අද කාන්තා නියෝජනය 25% ක් නොව 23.98% කි) එයින් බහුතරයක් පළාත් පාලන ආයතනයේ දෙවන හා තෙවන ස්ථානයන්ට පත් පක්ෂවලිනි.  ආණ්ඩු පක්ෂය මේ කාන්තා නියෝජිතයින්ට ප්‍රමාණවත් ප්‍රතිපාදන දුන්නේ නැත.  හඩක් නගන්නටවත් ඉඩක් දුන්නේ නැත. කාන්තා නියෝජනයේ අපේක්ෂිත ප්‍රතිඑල ලගා නොවනට එය ප්‍රබල හේතුවක් විය.

3.       2018 දී ඉවත් කළ තරුණ කෝටා නියෝජනය නැවත හදුන්වාදිය යුතුයි

4.       කොට්ඨාශ ක්‍රමය රැකගත යුතු අතර මනාප ක්‍රමයෙන් ඉවත්වීම අවශ්‍යය.

5.       ග්‍රාම නිලධාරි වසම් (14,022)  ගණනාවක් සුදුසු පරිදි එක්කොට කොට්ඨාශ සකස් විය යුතුය.

6.       කොට්ඨාශ ඇතුරු මැතිවරණ හදුන්වා දිය යුතුය.

7.       කොට්ඨාශ මන්ත්‍රීවරු දුෂණ, අක්‍රමිකතා ඇති විට, ජනතාවට සේවය නොකරන විට නැවත කැඳවීම සිදු කළ යුතුයි

8.       සභාවේ අය වැය පරාජයට පත් වුව ද, සභාපතිවරයා  ඉවත් නොකළ හැකි පරිසරය තවදුරටත් පවත්වා ගැනීම අවශ්‍ය ය.  ඉලක්කම් නොව, එකගත්වයෙන් පළාත් පාලනය සිදු වනු ඇත්තේ එවිටය.

9.       පාර්ලිමේන්තුව ජාතික සභා, ආංශික කාරක සභා ලෙසත්, රටම ජන සභා ලෙස බලය බෙදී යන ක්‍රමයක් සකස්වෙමින් ඇති බැවින් සභාපති සතු බලය ද කමිටු ක්‍රමයට (බලය බෙදීමේ ක්‍රමයට) යොමු කළ යුතුය. පලාත් පාලනයේ සභාපති ඒකාධිපතියෙකි.  රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මේ ක්‍රමය හැදුවේ තනි මිනිහෙකුට පලාත් පාලන ආයතනයක් පවත්වා ගෙන යා හැකි ලෙසය. නමුත්, දැන් එය වෙනස් විය යුතුව ඇත.

10.   අංක 2 සිට 9 දක්වා කිසිවක් යථාර්ථයක් බවට පත්වන්නට නම් 8711 ක් වන සභික සංඛ්‍යාව 4000 ක් දක්වා අඩු විය යුතුය.  එයට සීමා නිර්ණයක් අවශ්‍යය. ජයලත් – රවී කමිටුවේ අත්දැකීම් අපට ඇත.  අශෝක පීරිස් කමිටුවේ දිස්ත්‍රික් රැස්වීම්වලට මම ද සහභාගී වී ඇත්තෙමි. අවශ්‍ය නම් සීමා නිර්ණය දිග්ගැස්සවිය හැකිය. ඉක්මනින් වාර්තා හදන හැටි එම කමිටුවේ සාමාජිකයෙකු වූ උපුල් කුමරප්පෙරුම මහතාට හොදින්ම දන්නේය. ප්‍රමාද කරන හැටි එම කමිටුවේ අනික් සාමාජිකයින්ගෙන් අසා දැනගත හැකිය.   මාස හතරකට අඩු කාලයකින් ද සීමා නිර්ණය කළ හැකි බව එවකට සභාපති තවලිංගම් මහතා ඔප්පු කළේය.  වත්මන් සීමානිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එදා ජයලත්-රවී, අශෝක පීරිස් හා තවලිංගම් කමිටුවලට සාධනීය විවේචකයාය.   මැතිවරණ පමණක් නොව සීමා නිර්ණයේ ද කප්පිත්තෙකි.  තවලිංගම් මාස 4 න් කළ දෙය අවශ්‍ය නම් වත්මන් සභාපතිවරයාට මාස 3 න් කළ හැකි වනු ඇත. අනෙක් අතට, ඉහත කමිටු තුනටම වඩා ඩිජිටල් දත්ත, සිතියම් හා කේෂ්ත්‍ර අත්දැකීම් අතින් අප වසර 8 ක් පොහොසත්ය.  

ඉහත 1-9 යෝජනාවලට දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා මැතිවරණ විශේෂඥයින්ගේ අවම එකඟතාවයක් ඇත. අවසනාවකට මේ ඉලක්ක ලගාකර ගත හැකි ඡන්ද ක්‍රමයක් හදාගන්නට එකඟවීමට අපට හැකි වී නැත. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ තම කාලය, දැනුම හා සම්පත් එයට වෙන් කර නැත.

කමිටු අවස්ථාවේ දී පරාජයට පත් වූ මැතිවරණ ක්‍රමය ගැන දේශපාලන පක්ෂ තබා, මැතිවරණ නිරීක්ෂකයින් හෝ පළාත් පාලන සංසදයවත් සංවාදයක් ඇති කළේ නැත.  2023 දී මාර්තු පළාත් පාලන ආයතනයන්හි කාලය  අවසන්වීමට නියමිත බැවින් දැන් ප්‍රශ්නය නැවත කරළියට පැමිණ ඇත.  මේ ප්‍රශ්නය දැන් වසර 2 ක් කථා කර ඇත. සංවාද කර ඇත. කමිටු අවස්ථාවේ දී නව යෝජනවා පරාජය කළ නමුත්, කිසිවෙකුත් නව යෝජනා ඉදිරිපත් කළේ නැත.

පළාත් පාලනයේ සභික සංඛ්‍යාව, වියදම (පළාත් පාලන ආයතනයේ මුළු ආදායමෙන් විශාල පංගුවක් සභිකයින්ට වැටුප් හා දීමනා ගෙවීමට වැයවීම), තරුණ නියෝජනය අහිමි කිරීම, කාන්තා නියෝජනයේ පීඩනය පරාජිත පක්ෂ මත වැටීම, සභාපතිවරයාගේ අත්තනෝමතික බලතල විසඳිය යුතු ආණ්ඩුකරණයේ ගැටළු වෙති.  ඒවා ඉක්මනින් හෝ පමා වී හෝ කවදා හෝ කවුරුන් විසින් හෝ නිවැරදි කළ යුතුව ඇත.

පාර්ලිමේන්තු කමිටු විසින් යෝජනා කළ ඡන්ද ක්‍රමයේ අඩුපාඩු දක්වමින් මා විසින් නිකුත් කල නිවේදනය හා ප්‍රකාශ මෙහි අමුණා ඇත.  අවශ්‍ය අයෙකුට පාර්ලිමේන්තුවේ දී පක්ෂ නායකවරුන්ට ඉදිරිපත් කළ කරුණු ද ලබා දිය හැකිය. කමිටු අවස්ථාවේ යෝජිත ඡන්ද ප්‍රතිසංස්කරන පරාජය වූවේ ඇයි දැයි එයින් අවබෝධ වනු ඇත.   

https://www.facebook.com/Keerthi.tennakoon/posts/pfbid0YFopt2iXGJJoTEk3bZGcijj6J4WrtPirg57jnsoYSzmiJvzapZg4wi3XDUEnXUuMl
https://www.facebook.com/Keerthi.tennakoon/posts/pfbid0sA4QuePL5UqZNKedJoGnjDedYTeFxBTs9JQwkNRYERZgJJQt3zqiyn8wb9Y6omhjl

ජී.එල්.පීරිස් හා ඩලස් අලහප්පෙරුම ඡන්දය කල් දැමීමක් ගැන ඊයේ කතා කර ඇත.  කමිටු අවස්ථාවේ දී මාගේ ද දායකත්වය සහිතව විපක්ෂ විසින් පරාජය කළේ පෙහොට්ටුව ඉදිරිපත් කළ මේ සංශෝධන බව ඔවුන් දෙපලටම අමතක වී ඇත.

ප.ලි. — පළාත් පාලන ඡන්දය කල් දැමීමට මම විරුද්ධ වෙමි. එලෙසම, අවම වශයෙන් තරුණ නියෝජනය හෝ නොමැතිව, ඒකාධිපති සභාපති බලය සමඟ තවදුරටත් සභිකයින් 8711 ක් තවදුරටත් පවත්වාගත යාමට ද එදත්, අදත් මා විරුද්ධ වී ඇත. මාගේ වෙනස් නොවන ප්‍රතිප්තිය එයයි.

රජිත් කීර්ති තෙන්නකෝන් 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress