අධිකරණ ඇමතිට තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්නයක්
Posted on October 24th, 2022

උපුටාගැණීම අද දෙරණ

“the morning” ඉංග්‍රීසි පුවත්පතේ වාර්තාවක් මගින් තම වරප්‍රසාද කඩවී ඇති නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්නැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කථානායකවරයාගෙන් කළ ඉල්ලීම සත්‍ය සඟවමින් කළ ප්‍රකාශයක් බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සංගමය අධිකරණ අමාත්‍යවරයා වෙත සහ ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අමාත්‍යවරයා පසුගිය 21 වෙනිදා පර්ලිමේන්තුවේදී සිදුකළ එම ප්‍රකාශය දැඩිලෙස හෙළා දකින බවය.

ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූන්ගෙන් විශාල වශයෙන් මුදල් වංචා කිරීමේ චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලිගේ නඩුව ඉකුත් බදාදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර “the morning” ඉංග්‍රීසි පුවත්පත පසුගිය 20 වෙනිදා ඒ පිළිබඳව තොරතුරු වාර්තා කළේය.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊට පසුදින පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් කථානායකවරයාගෙන් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිටියේය.

අධිකරණ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියේ උපුටා ගැනීමක් පහත සඳහන් වේ,

උපුටා ගැනීම – 

“the morning” පුවත්පතෙහි ‘Wijeyadasa’s chamber appearing for Thilini questioned in court – Opposing Counsel claims conflict of interest’ හිසින් පළවූ පුවත අධිකරණ වාර්තාවක් වන අතර එහි අධිකරණයේදී සිදුවූ සිදුවීම්වලට පිට දෙයක් හෝ ජනමාධ්‍යවේදියාගේ මතයක් සඳහන් වන්නේ නැත.

ඔබ පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රවෘත්තියේ ශීර්ෂය ලෙස සඳහන් කළ පළමු කොටස වන “Wijeyadasa’s chamber appearing for Thilini questioned in court” එම පුවත්පතේ ශීර්ෂයේ තිබුණද එහි ඔබ කියැවූ දෙවැනි කොටස වන  “conflict of interests, either resign from Ministry or withdrawal from the case” එම පුවත්පතේ ශීර්ෂයේ නැත.

පාර්ලිමේන්තුව පමණක් නොව පුරවැසියාද නොමඟ යවන අයුරින් ඔබ එම පුවත්පතේ ශීර්ෂයේ නැති කොටසක්, එහි ඇති බව හඟවමින් ව්‍යාජ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අපි විමතියට පත් වූ අතර එහි අරමුණම ජනමාධ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි ජනතාව තුළ යම් සැකයක් හෝ විරෝධයක් ඇති කිරීම බව අපගේ විශ්වාසයයි.

එම පුවත්පතේ අදාළ ප්‍රවෘත්තියේ පැහැදිලිවම සඳහන් කර ඇත්තේ ඔබගේ චේම්බරයේ නීතිඥයින් පෙනී සිටින බව අධිකරණයේදී ප්‍රකාශ කළේ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න බවයි.

එම කොටස ජනමාධ්‍යවේදීන් අතින් දමා සැකසූ ව්‍යාජ ප්‍රවෘත්තියක් නොවේ.

එසේම එම පුවත කෙතරම් සමබර පුවතක්ද යත් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් පවා එහි අන්තර්ගත විය.

ඔබේ චේම්බරයේ නීතිඥයින් පෙනී නොසිටියේ නම් ඔබට දැන් චේම්බරයක් නැතිනම් ඔබ කළ යුතුව තිබුණේ අධිකරණ ක්‍රියාවලිය වාර්තාකළ ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට දොස් නැගීම නොව, අදාළ ප්‍රකාශය කළ ජනාධිපති නීතිඥවරයාට දොස් නැගීමයි.

අදාළ සැකකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි ඔබේ පුත්‍රයා කෙසේ වෙතත් නීතිඥ දසුන් නාගස්හේන ඔබගේ අමාත්‍යාංශයේ ඔබගේ කාර්යාලයේ සම්බන්ධීකරණ ලේකම් නොවේදැයි ඔබ රටට පැහැදිලි කළ යුතුය.

ජනමාධ්‍යවේදීන් වෙත ව්‍යාජ චෝදනා නඟමින් ඔබ කළ ප්‍රකාශයට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි ලෙස විරෝධය පළ කරන අතරතුරම ජනමාධ්‍යවේදීන් කමිටුවලට කැඳවීමට හැකියාව ඇති අදාළ මන්ත්‍රී වරප්‍රසාද අහෝසි කිරීමට පියවර ගන්නා ලෙසද බල කර සිටිමු.

උපුටා ගැනීම අවසන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress