බුදුන්වහන්සේ ලොවට දෙසු ප්‍රථම දහමේ ඉතිරිය
Posted on December 2nd, 2022

තිස්ස ගුණතිලක 

ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පලමු ගාථාව 2022 නොවැම්බර් 28 වනදා ලිපියෙන් අපි සාකච්ඡා කලෙමු. එහි අඩංගුවන දෙවන ගාථාවේ අදහස පැහැදිලි කරගැනීමට අපි අද උත්සාහ කරමු. ඇත්තෙන්ම බුදු දහමේ එන විශේෂිත අවස්තාවක් තතාගතයන් වහන්සේ මෙහිදී අපට හඳුන්වා දෙයි.

“එතෙ ඛො, භික්ඛවෙ, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති’’

එතෙ ඛො තථාගතෙන අභිසම්බුද්ධා – තථාගතයන් අවබෝධ කල මග වන

අන්තෙ අනුපගම්ම – අන්තවලට නොපැමින (මිදී)

උභෝ මජ්ඣිමා පටිපදා – යහපත පිනිසම පවතින මධ්‍යම පටිපදාව නම්

චක්ඛුකරණී ඤාණකරණී  – දැකීමෙන්  අවබෝධයෙන්  (රූපාවචර හා අරූපාවචර – නාම රූප ලෝක වෙන්කර දැකීමෙන් – දස්සනේන)

උපසමාය අභිඤ්ඤාය –  කෙලෙසුන් සන්සිඳවීම පිණිස උපදනා සිහිය මනාසේ දැනගෙන  

සම්බොධාය නිබ්බානාය සංවත්තති – නිර්වාණ අවබෝධයට පමුණුවයි.

යනු මෙහි සම්පූර්ණ තේරුමයි.

සක්කාය දෘශ්ඨිය හා සීලබ්බතය (කාමසුඛල්ලික හා අත්තකිලමත්ත) යන අන්තදෙකින් මිදී මධ්‍යම ප්‍රතිපදාව තුල ලබන අවබෝධයෙන් ‘විචිකිච්චාව’ද (දැනුම අවබෝධයට පරිවර්තනය වනවිට ‘සැකය’ නැතහොත් ‘විචිකිච්චාව’ සම්පූර්ණයෙන් පහව යයි) සංසිඳි ලබන සොතාපන්නය ඇතුඑ ආර්ය මාර්ගය තතාගතයන් වහන්සේගේ පලමු වචනය තුල වෙයි.

තතාගතයන් වහන්සේ තම පලමු වදනින්ම සිතින් (චේතෝ) වෙන්ව පිහිටන ‘සතිය’ – සිහිය හදුන්වා දෙයි, උපසමානුස්සතිය යනු ක්ලේශයන් සංසිඳුවීම පිනිස උපදිනා සිහියයි. සිහිය යනු ක්ලේශ හා සංයෝජන (ආශ්‍රව) මෙන්ම ඥාණද උපදින ස්ථානයයි. මෙය සිතින් වෙනස් ස්ථානයකි. රූප හා අරූප වෙන්වන විට (පරිච්ජේදය වනවිට) ආශ්‍රව ක්ෂයවීමෙන් ‘සිහියේ’ ඇතිවන හිඩැස තුල ඥාණ හටගනි. පුබ්බේ නිවාසානුස්සති ඥාණය – ස්ඛන්ධයේ ඇතිවීම, චුතූපපාත ඤාණය – ස්ඛන්ධයේ නැතිවීම ආදිවූ  ත්‍රිවිද්‍යා ඥාණ හටගන්නේ මෙම ‘සිහිය’ තුලයි. ක්ලේශයන් අඩුවන විට එම තත්වය වටහාගන්නා නුවණ (ඥාණය) හෙවත් ත්‍රිවිද්‍යාවේ තුන්වැනි ‘ආසවක්ඛය ඥානය’ද හටගන්නේ මෙම සිහිය තුලමයි.

අරමුණේ (සිතේ) ක්‍රියාවලිය දකින්නේ සිහියයි. සිහිය ශරීරය තුල භෞතිකව පවතියි. සිහිය තුල පෙර මතකය, ක්ලේශ+සංයෝජන (ආස්‍රව) හා ඤාණ (නුවණ) අඩංගු වෙයි. රිය අනතුරකදී මොලයේ යම් ප්‍රදේශයක් හානිවූ තැනැත්තෙකුගේ පෙර මතකය ගිලිහෙන්නේ මේ නිසාවෙනි. පෙර මතකය නැති නම් සංකාර ඇති නොවෙයි. එවැන්නෙකුට භාහිර රෑප වල ප්‍රතිබිම්බය ප්‍රසාද වුවත් එය විතක්ක විචාර වීමට අවශ්‍ය පෙර මතකය සොයා ගත නොහැකි වෙයි. 

සිහිය හා නුවණ (ඥාණ) නැති තැන කිසිවෙක් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙම සංසිද්ධියයි.

මා මෙතෙක් ඹබට පැහැදිලි කිරීමට උත්සාහ කලේ චතුරාර්ය සත්‍යය දැකිය යුතු තුන් අකාරයේ (තිපරිවට්ටයේ) පලමුවන අවස්තාව වන ‘සත්‍ය ඥාණය’යි. එනම් චතුරාර්ය සත්‍ය තුල අඩංගුවන මහා සත්‍ය පිලිබද දැනීමයි (ඉගැනීමයි). තිපරිවට්ටයේ දෙවන අවස්තාව වන ‘කෘත්‍ය ඥාණය” හිදී එය අවබෝධ කලයුතු ආකාරයත් ‘කෘත ඥාණ’ තත්වයේදී අවබෝධය සම්පූණ කල බවත් ප්‍රත්‍යක්ෂ වෙයි. තිපරිවට්ටය තුලින් චතුරාර්ය සත්‍යය පිලිවෙලින් පෙලගස්සවා ගතයුතු ආකාරය තතාගතයන් වහන්සේ අපට කියාදෙයි. එනම් කෘත්‍ය ඥාණය ඇතිවීමට සත්‍ය ඥාණය සම්පූර්ණ කල යුතුය. සතර සතිපට්ඨානය වැඩීමේ ක්‍රමවේදය මෙයයි. සත්‍ය ඥාණය එනම් තතාගත දහම් පනිවිඩය ගැන සම්පූර්ණ දැනුමක් නැති අයකු සතර සතිපට්ඨානය වැඩීමෙන් පලක් නොවේ. පලමුව දැනුම දෙවනුව අවබෝධය.

සුභ පැතුම් 

තිස්ස ගුණතිලක 

2022 දෙසැම්බර් මස 03 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress