සිංහලයනට වන අසාධාරණ  (නොහොත් සිංහලයාගේ බහිනකලාව)  (8වෙනි කොටස)
Posted on December 26th, 2022

චානක බණ්ඩාරගේ

පිරිමින්ගේ ආර්ය සිංහල ඇඳුම තුරන් වී යාම සහ ‘කාන්තාවන්ගේ සාරිය ගැලවීමේ’ දැඩි උවමනාව

අනාදිමත් කාලයක සිට මේ රටේ සිංහල ජනයා වැදගත් අවස්ථාවකට  ඇන්දේ ආර්ය සිංහල ඇඳුම සහ සාරියයි.  එනම් පිරිමින් ජාතික ඇඳුමද ස්ත්‍රීන් සාරියද ඇන්දහ. උඩරට කතුන් ඔසරිය ඇන්දහ.

නිවසේදී,  පිරිමියා සරමද, කාන්තාව සාරියද ඇන්දහ. විවිධ කාලීන හේතු සහ ප්‍රායෝගික අවශ්‍යතා නිසා අද මෙය වෙනස් වී ඇත.

1980 පමණ වනතුරු බොහෝ පිරිමින් ප්‍රසිද්ධියේ, ඉතා අභිමානයෙන්  ජාතික ඇඳුම ඇන්ඳහ. ඒ අය අතර විදුහල්පතිවරු, ගුරුවරු, රාජ්‍ය සේවකයන්, වෙද මහත්වරුන්, ගොවී මහත්වරුන් වුහ. අද පාරක ‘බෙහෙතකටවත්’ ආර්ය සිංහල ඇඳුම හැඳි පිරිමියෙක් සොයා ගැනීමට නොහැක. අද සියල්ලෝම කලිසමට බැස ඇත. කොටින්ම කොළඹ නගරයේ සරමක් හැඳි පුද්ගලයෙක් වුවද දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරෙනි.

JR ජයවර්දන රජයේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් කලිසමින් සුදු සරමකට සහ ‘වේටර්’ වරුන් හඳින කොලරයේ උඩ බොත්තම වැසූ සුදු අත් දිග කමිසයකට මාරු වුහ. විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුද මේ ඇඳුමට මාරු වුහ. මොවුන් මෙසේ කලේ ජනතාව රවටන බොරු ජාතිකත්වයක් මවා පෙන්වා චන්ද සොරකම් කිරීමේ ද්වේශ සහගත අරමුණෙනි.

විකාර ලෙස ජාතික ඇඳුම අඳින අද දවසේ  දේශපාලනඥයා කරන්නේද මේ දේ මයි.

මොවුන් අවංක නම් සම්පුර්ණයෙන්ම/මුළුමනින්ම එකී ‘සිංහල’ ඇඳුම ඇන්ද යුතුය. නමුත් එය එසේ සිදු නොවීය. මේ විකාර ඇඳුම උදයට සහ දවාලට පමණක් හැඳ සවසට සහ රාත්‍රියට බොහෝ විට කලිසමට සහ  කමිසයට මාරු වුහ.  එකී බටහිර ඇඳුම් හැඳ  විස්කි, ජින්, බ්‍රැන්ඩි බී බාල් නැටුහ. පිටරට යනවිට ටයි කෝට් පවා ඇන්ඳහ. 

උදේ වරුවේ පාර්ලිමේන්තුවට ආර්ය සිංහල ඇඳුම හැඳ සවසට ඩෙනිම් ජීන්ස් ඇඳ ගමන් බිමන් යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරු මෙම ලියුම්කරු දැක ඇත.

දේශපාලනඥයා පැමිණ ආර්ය සිංහල ඇඳුම ‘උදුරා ගැනීම’ නිසා අව්‍යාජව, නියම ජාතික හැඟීමෙන්  එකී ඇඳුම ඇඳමින් සිටී සිංහල බෞද්ධයා එම ඇඳුම ඇඳීම මුලුමනින්ම අත් හැරීහ.

තමනුත් ඔවුනගේ ‘බොරු’  ගොඩට වැටේවි යයි යන බිය ඔවුනට තිබුනා විය හැක.

කලින් කීවාක් මෙන්, මේ රටේ වැඩිහිටි කාන්තාවෝ (සිංහල සහ දෙමළ) නිවසේදී පවා ඇන්දේ සාරියය (මීට වසර 30 -40ට පෙර). පසුව රැකියාවට යන කාන්තාවෝ පමණක් සාරිය ඇන්දහ. ක්‍රමයෙන් එය රජයේ සේවිකාවනට පමණක් සීමා විය.

අනගාරික ධර්මපාලතුමා කීවේ සිංහල කාන්තාවන් ඔසරිය හැඳ උඩ සළුවක්ද පැළඳිය යුතු බවයි. තම මවටද එසේ කරන මෙන් ඔහු ඉල්ලා සිටියේය. ඇය එසේ කළාය.

මීට වසර 4ට පමණ පෙර කාන්තා නීතීඥවරියන් සාරියට අමතරව වෙනත් පහසු ඇඳුමක් ඇඳ උසාවි වැඩ වලට සහභාගී විය හැකිය යන නිතීය ගෙන එනු ලැබිණ. ඉන් අනතුරුව සාරිය රැකියාව සඳහා අනිවාර්ය වුයේ බොහෝ දුරට රාජ්‍ය සේවිකාවන්ට  සහ ගුරුවරියන්ට පමණි.

රාජ්‍ය සේවිකාවන්ද සාරියෙන් මුදවා හැරියේ රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ වත්මන් ස්ථිර ලේකම් තුමා විසින් මෙම වසර අග  භාගය ආසන්නයේදී  ගන්නා ලද තීරණය නිසාය (පසුව එය වෙනස් කල බවට ප්‍රවෘර්ති වාර්ථා විය).

ගුරුවරියන්ද සාරියෙන් මුදවා හැරිය යුතුය යනුවෙන් එක් ගුරු සංගමයක් ඉතා දැඩි සටනක යෙදී සිටී. ඇතැම් ගුරුවරියන් සාරිය අත් හැර වෙනත් ඔවුන්ට පහසු ඇඳුම් ඇඳ සේවයට වාර්ථා කර තිබුණි.

සාරිය යනු ශ්‍රී ලංකා කාන්තාවට ආවේනිකවූ සංස්කෘතිමය සංකේතයකි. බටහිර රටවල ස්ත්‍රීන් සාරිය නොඅදිති. නමුත් සාරිය ඉතා දැකුම්කලු වස්ත්‍රයක් බව මුළු ලෝ වාසින්ම පිළිගන්නා සත්‍යයකි.

දවසේ රාජකාරිය  නිමවී කාර්යාලවලින් පිටවන සාරි හැඳි කාන්තාවෝ  එක්ව කණ්ඩායම්ව ගමන් කරනු දැකීම නෙතට පියකරු දසුනකි. කාන්තාවකගේ නියම කාන්තා ගුණය පෙනෙන්නේ සාරියක් තුලින් පමණක්ය යන කථාවක් ශ්‍රී ලංකාවේ ඇත.

මෙවැනි අගනා සංස්කෘතිකමය, වැදගත්, සම්ප්‍රදායානුකූල වස්ත්‍රයක් කෙසේ හෝ ආරක්ෂා කරනු විනා එය මේ රටින් තුරන් කර දැමීමට එකී ගුරු සංගමය කටයුතු කරන්නේ ඇයි?

බොහෝ විදෙස් සංචාරකයන් මේ රටට පැමිණෙන්නේ අප රටේ ස්වභාවික ලක්ෂණ පමණක් දැක යාමට නොවේ. ඔවුහු අපේ පාරම්පරික සංස්කෘතිය, ඇඳුම් කලාව, භාෂාව, සංගීතය, නැටුම් ආදිය බැලීමට, ඒවා විමර්ශනය කිරීමට ඉමහත් අසා කරත්. තමන්ට මෙවැනි උසස් වටිනා දේ නොමැති වීම ගැන ඔවුහු කම්පා වෙත්.

නමුත් අප? අපට තිබෙන ඉතා වටිනා, අවුරුදු දහස් ගණනක් තිස්සේ ආරක්ෂා කරගෙන ආ සංස්කෘතික වටිනාකම් එක් පැය 24ක් තුල තරම් විනාශ කර දැමීමටයි  අවශ්‍යව ඇත්තේ. මෙසේ වැඩ කරන අය කිසිසේත්ම දේශප්‍රේමීන් නොවේ. උඩින් හොඳ මුහුණක් පෙන්වා රටට වින කිරීමට බලන අවස්ථාවාදින්ය.

ශ්‍රී ලංකාවේ සාරියට මෙන් වූ තත්ත්වයක් ජපානයේ කිමොනාවට ඇතිවිය.  එය නම් ජපන් කාන්තාවන් පාරම්පරිකව හැඳි කිමෝනාව අත් හැර ඔවුන් බටහිර ඇඳුම් ඇඳිය යුතුය යන්නයි. එම ක්‍රියාන්විතය සාර්ථක විය. අද ජපානයේ පාරක කිමෝනාව හැඳි කාන්තාවක් ‘බෙහෙතකටවත්’ සොයා ගැනීමට නොහැක.

තම රටට එකී අගනා කිමෝනා වස්ත්‍රය අහිමි වී යාම ගැන එරට වැසියන් දැන් විස්සෝප වෙත්. නමුත් ඔවුන් ප්‍රමදා වී වැඩිය.

අප තවම එම තත්ත්වයට මුහුණ පා නොමැත. නමුත් අප රටට වින කරන වෘත්තිය සමිති නායකයන්, ඇතැම් යු ටියුබ් වැඩසටහන් කරුවන්  වැන්නන් නිසා අපේ මාහැඟි සංස්කෘතික අංගයක් අපට අහිමි වී යාමේ නිශ්චිත අවදානමක් දැන් ඇත. 

සාරිය බේරාගැනීමට වත්මන් අධ්‍යාපන ඇමතිතුමා දැරූ තැත ප්‍රශංසනාත්මකය.

අභාවයට යන සිංහල අවුරුදු, වෙසක් උත්සවය ආශ්‍රිත චාරිත්‍ර/වාරිත්‍ර

බක් මස අප සමරණ සිංහල අළුත් අවුරුද්ද තනිකරම සිංහලයාගේ උත්සවයක්ව තිබුණි (රොබර්ට් නොක්ස් ගේ පොත කියවන්න).  මේ රටේ දෙමළ ජනයා තමිල්නාඩුවේ තම සගයන් මෙන් සැමදා සමරුවේ ජනවාරි මස එන තෛයිපොංගල් සහ නොවැම්බර් මස එන දීපවාලි උත්සවයි.

නිදහසින් පසු එය සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද බවට පත් විය.  1990 න් පමණ පසු එය සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද බවට පත් විය.

අදත් යාපනයේ ද්‍රවිඩයන් දකුණේ  සිංහලයා මෙන් සිංහල අලුත් අවුරුද්දට අදාළ සියළු චාරිත්‍ර වාරිත්‍ර අකුරටම පිළිපදින අවුරුද්දක් නොසමරති.

මුළුමනින්ම සහ ඉතා භක්තියෙන් බක් මහ අළුත් අවුරුද්ද සමරන්නේ සිංහල බෞද්ධ නිවෙස් වලයි.  එය එක් දිනක් පමණක් නොව දින ගණනාවක් තිස්සේ විහිද යන උත්සවයකි.

වසර 2500 ක පමණ ඉතිහාසයක් සිංහල අළුත් අවුරුද්දට ඇත.

අපේ සිංහල අලුත් අවුරුද්ද ඉතා විශිෂ්ට චාරිත්‍ර වාරිත්‍ර වලින් පිරී උතුම් මංගල්‍යකි. එය ගැන අපට ආඩම්බර විය හැක.

දෙමව්පියනට ඇතුළු වැඩිහිටියන්ට ගරු කිරීම, චාරිත්‍රානු කූලව ලිපි ගිණි මෙළවීම, අළුත් අවුරුදු ආහාර පිසීම සහ අනුභවය, අසල්වැසි නිවෙස්වලට ආහාර පාන යැවීම, නොයෙක් දේශීය ක්‍රීඩාවන්හි නිරත වීම, ගනු දෙනු කිරීම, හිස තෙල් ගෑම වැනි විවිධාකාර අපුරු, චමත්කාර සිරිත් විරිත් වලින් පිරි මාහැඟි උත්සවයකි සිංහල අළුත් අවුරුද්ද.

නමුත්, ජාත්‍යන්තරය, විශේෂයෙන්ම බටහිර,  දැන් සිතන්නේ මේ අප්‍රේල් අවුරුද්ද ශ්‍රී ලාංකික ද්‍රවිඩයනට පමණක් ආවේනික වූ උත්සවයක් ලෙසයි. සෑම වසරකම අප්‍රේල් මස 13 වෙනිදාට ඇමරිකන් ජනාධිපති සහ එංගලන්ත අගමැති අප්‍රේල් අවුරුද්දට ඒ රටවල සිටින ද්‍රවිඩ ජනතාවට සුභ පතයි. සිංහලයා ගැන සඳහනක් වත් ඔවුනගේ සුභ පැතුම් පණිවුඩ වල බොහෝ විට නැත.

මේ පසුබැසීමට එම රටවල සිටින අපේ තානාපති අංශ හැරුණු කොට අපේ සිංහල කණ්ඩායම් සහ තනි තනි සිංහලයන්ද වග කිව යුතුය.

බටහිර රටවල සිටින සිංහලයෝ තම රටවල දේශපාලනඥයෝ නිවැරදි ලෙස දැනුවත් කරත් නම් මෙවැනි වැරදි සිදුවීමෙන් වලක්වා ගත හැක.

ඔවුන්ගේ  සුභ පැතුම් පණිවුඩයෙන් අපව අමතක කිරීම ගැන අප ඔවුනට ආඩ පාලි කිව යුතුය. මේ ලියුම්කරු එසේ කර ඇත.

සිංහළ අලුත් අවුරුද්ද  මෙන්ම වෙසක් උත්සවයද සිංහළ, බෞද්ධ සංස්කෘතිය ඉහලින්ම විද්‍යාමාන කරන්නකි.  

වෙසක් වනාහි අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉතා වැදගත් අංගයකි.

වෙසක් උත්සවය බෞද්ධයෝ ආමිස සහ ප්‍රතිපත්ති පුජාවෙන් සමරති. මෙහි සඳහන් කරන්නේ ආමිස පුජාවන් ගැනය.

එදා, සිංහල බෞද්ධ නිවෙස්වල වෙසක් කුඩු සෑදීමට පටන් ගැනෙනුයේ වෙසක් පෝයට මාසයකටවත් කලිනි; එය පවුලේ සාමාජිකයන් සෑම දෙනාම සහභාගි  වූ දෙයක් විය. වෙසක් කුඩු නිර්මාණය වටා පවුලේ සාමාජිකයන් තුල එකිනෙකා ගැන  පුදුමාකාර ආදරයක්, සෙනෙහසක්, බැම්මක් ඇතිවිය.

පවුලේ සෑම සියලු දෙනාම  එකතු වී (දෙමව්පියන් ඇතුළු) සෑදුවේ  ‘පැටවූ 12/15/18ටේ’ අට පට්ටම් කුඩුය. සමහර කූඩු තාරකාය. විවිධ සත්ව රූප අනුව සාදන ලද (උදා: හංස, මුවන්), ඉහල තාක්ෂණයෙන් යුත් වෙසක් කූඩුද විය.

අප අසල් වැසියන් සමඟ සමගිව තරගෙට වෙසක් කූඩු සෑදුවෙමු. මේ සුහද තරඟ වලට පවුලේ සියළු දෙනාම සහභාගී විය. වෙසක් දින රාත්‍රීයේ මේ පහන් කූඩු එල්වන තෙක් අප හට ඉවසිල්ලක් නොවීය. 

නමුත් අද? වෙසක් දිනට පෙර දා, සෑදු කූඩු කිහිපයක් කඩෙන් මිලදී ගෙන, ඒවාට  කඩදාසි අලවා එල්ලීමයි අප බොහෝ නිවෙස්වල කෙරෙන්නේ. ලොකු  බෞද්ධ කොඩියක්ද දමන්නෙමු.

ඒ කූඩුද බොහෝ විට පැමිණ ඇත්තේ චීනයෙනි. කලින් කී පරිදි, එදා  අප වෙසක් කූඩු හැදුවේ ගෙවල් තුල සාමුහිකවය.  

එදා මුළු මැයි මාසයම සැමගේ ජිවිත වෙසක් කාඩ් වලින් වෙලා ගතී. වෙසක් කාඩ් පතක් නොඇරිය කෙනෙක් නොමැති තරම් විය. ප්‍රධාන පාරවල පේව්මන්ට් වෙසක් කාඩ් අලෙවි කරන තාවකාලික කඩ/මඩු වලින් වැසී ගියේය. ඒ තරමට එදා වෙසක් කාඩ් ජනප්‍රිය විය.  අද වෙසක් කාඩ් පතක් යැවූ හෝ ලැබුණු කෙනෙක් ‘බෙහෙතකටවත්’ හොයා ගැනීම අපහසුය.

අද,  වෙසක් කාඩ් සංස්කෘතිය මුලුමනින්ම වාගේ ‘මැරී’ ගොස්ය.   අද ඊමේල්, ‘ෆේස් බූක්’, ‘ඉන්ස්ටර්ග්‍රෑම්’ වලට වහල් වූ, තදින්ම  ‘යාන්ත්‍රිකරණය’ වූ සමාජයක මෙවැන්නක් බලාපොරොත්තු වීමට අපහසු වේ.  

වෙසක් කූඩු, වෙසක් කාඩ් සම්ප්‍රදාය තුලින් අප  නැති කරගන්නේ ඒ දේවල්  පමණක් නොවෙයි, අපේ අධ්‍යාත්මය, ගුණගරුක බව, වටිනා ගති සිරිත් සහ අප විශ්වාස කරන හෝ ‘අදහන’ දේයි.

මෑතක සිට (දැනට වසර 25ක පමණ සිට) වෙසක් කළාප කියා සංකල්පයක් බිහිව තිබේ. මෙහි වෙනස නම් එම සංකල්පය ඒමට පෙර මුළු කොළඹ නගරයම වෙසක් කළාපයක් වීමය. වෙනත් ප්‍රධාන නගරවල තත්ත්වය වුයේද මෙයයි.

අද ඇති වෙසක් කළාප යනු හුදු වානිජමය අරමුණු ඇතිව මහා පරිමාණ සමාගම් විසින් මුදල් විසි කර කරන සංදර්ශනයි. රජය විසින් විශාල ලෙස  මුදල් වියදම් කර යුධ හමුදාව, පොලිසිය වැනි ආයතන හරහාද වෙසක් කළාප බිහි කරයි.

මහජන සහභාගිත්වයක් නැතිව ඉදිවෙන මේ වෙසක් කළාප මදය නැති ඔර්ලෝසු වැනි වේ.

මේවා අපේ ගතානුගතික සම්ප්‍රදායනට විරුද්ධ වූ, සිංහල බෞද්ධයාට අලුත් කෘතීම  සංකල්පයක් ආරෝපණය කිරීමට ගත් වෑයමකි. එය ඉතා සාර්ථක වී ඇත.

මේවායේ බොහෝ විට ඇත්තේ අතින් සාදන ලද කූඩු  නොවේ, යන්ත්‍රානුසාරව සාදන ලද ඒවායි.

යම් දවසක වෙසක් කළාප ඉදිකරන්නන් එය නතර කළහොත් (එසේ විය හැක), එය ශ්‍රී ලංකාවේ වෙසක් සැරසිලිවලද අවසානය විය හැකි නිසා. මන්ද, පොදු මහජනතාව එන්න එන්නම තම පෞද්ගලික වෙසක් සැරසිලි වලින් මිදී වෙසක්

කළාප ගැනම විශ්වාසය තබා සිටීමයි. ඔවුනට මේවා සමඟ තරඟ කර කූඩු සැදීමේ හැකියාවක්ද නැත.

වෙසක් කළාප පොදු ජනයාව විශේෂයෙන්ම පාසැල් සිසුන්ව කම්මැලියන්  බවට පත් කර ඇත.

අද සිංහලයෝ සහ අනෙක් අය වෙසක් සිරි නරඹනවා කියා මේ වෙසක් කළාප කිහිපය නරඹා ආපසු නිවෙස් බලා යත්. එදා වෙසක් සිරි නැරඹිමෙන් ලැබූ සතුට, රසවත් බව, කුතුහලය  මේ වෙසක් කළාප වල සැරි සැරීමෙන් ඔවුනට නොලැබේ.

නැවතත්, එදා කොළඹට වෙසක් බැලීමට ආ ලක්ෂ සංඛ්‍යාත ජනතාව බලන්න ගියේ අද බිහි වී තිබෙන ආකාරයේ වෙසක් කළාප බැලීමට නොවේ (එදා එවැනි කෘතීම වෙසක් කළාප නොතිබුණි).

එදා පවුල් පිටින් වෙසක් බලන්න ගිය ජනයා ආපසු නිවෙස් බලා ගියේ මුළු නගරයේම වෙසක් සිරි නරභා අවසන්ව පාන්දර අලුයම් කාලයේය. එකළ වෙසක් සමයේදී රාත්‍රී කාළවල අතුරු සිදුරු නැති වෙන තරමට මහ මඟ සෙනග වීය.

අද වෙසක් දින රෑ පාරවල් පාළුය – රාත්‍රියේ  සෙනග ඇත්තේ අල්පවය. රාත්‍රී 12න් පසු සෙනඟ  නැතිම ගානය.

අද වෙසක් තොරණ සැදීම ද බෙහෙවින්ම අඩු වී ඇත.

එදා මිනිසුන් සෑම වෙසක් සැරසිල්ලක්ම බැලීමට යුහුසුළු වුහ. එනම්, සෑම නිවසකම පාහේ එල්වා තිබු කූඩු (සමහරක් කූඩු ඉතාම කුඩා ඒවා විය), එළිය පෙට්ටි (අද මේවා ඇත්තෙම නැත්තාක් මෙනි) , ඔලු බක්කෝ සංදර්ශන, මහා වෙසක් පහන් රාජයන් ආදිය.   

සෑම බෞද්ධ නිවසකම වාගේ පොල් තෙල් යොදා පත්තු කරන ලද මැටි පහන් පේලී වශයෙන් ඉතා දකුම්කලුව තාප්ප උඩ තැන්පත් කර තිබුණි. අද මිනිස්සුන්ට කෑමට ගැනීමටවත් පොල් තෙල් නැත; ඒවා ඒ තරම්ම ගණන්ය.

ඔලු බක්කෝ මේ රටේ අනාදිමත් කාලයක් තිස්සේ පැවත ආ වෙසක්  සම්ප්‍රදායකි. ඒවා තහනම් කිරීම සිදු වුයේ දේශපාලකයෝ ලෙසින් නිපදවූ ඔලු බක්කෝ නිසාය. ඒ තහනම අනවශ්‍ය දෙයකි.

කදිම සැණකෙළියක් වූ වෙසක් දා රෑ වෙසක් සිරි නරඹන්නන් විවිධ ආකරයෙන් අහිංසක ලෙස සතුට, විනෝදය සහ මානසික සුවය ලබා ගත්හ.

සමහරෙක් වෙසක් දා රාත්‍රීයේ හුදු තොරන් නරභනවාට අමතරව එදා රාත්‍රී චිත්‍රපට නැරභීමට/සර්කස් සංදරශ්න බැලීමට ආදියටද තම දරු මල්ලන් රැගෙන ගියහ. ඒ දිනවල චිත්‍රපට ශාලා පැය 24ම විවෘතව තිබුණි.

එහි වරදක් නැත. වෙසක් දිනයන්හි රාත්‍රීන් නගර වෙසක් සිරි නරඹන ජනයාගෙන් පිරි ඉතිරී තිබිය යුතුයි. අවාසනාවකට වගේ අද එවැනි තත්ත්වයන් නැත.

එදා මෙන් නොව අද වෙසක් බැලීමට යන ජනයා අතර  නොයෙක් මත් වතුර, මත් ද්‍රව්‍ය වලින් සප්පායම් වී යන්නෝ ඇත.

වෙසක් භක්ති ගී, වෙසක් තොරන්, දන්සැල් අපේ ජිවිත කාලය තුලම ක්‍රම ක්‍රමයෙන් අභාවයට යනවා අපට දක්නට ලැබේ.

වෙසක්/පොසොන් දන්සැල් අනවශ්‍ය ලෙස නියාමනයට ලක් වීම නිසා ඒවා කරන්නන් ඒවායින් අයින් වන තත්ත්වයක් මෑතක සිට දක්නට ලැබුණි.

ආහාරවල පිරිසිඳුබව සහ සෞඛ්‍යසම්පන්න භාවය ඉතා වැදගත් බව සත්‍යයකි.   නමුත්,  වෙසක්/පොසොන් දන්සැල් කරන අය ඒ ක්‍රියා සිදුකරන්නේ ඉතාම සද්භාවයෙන්, ආහාර/පාන වල පිරිසිඳු බව සහ සෞඛ්‍යායාරක්ෂිත භාවය පිලිබඳව ඉමහත් සොයා බැලීමෙන් සහ කැප වීමෙනි. මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු මේ බව හොඳින් දනී.  

බොහෝ දන්සැල් සිදු කරනුයේ පාසැල්/දහම් පාසැල්  සිසුන්, වෙනත් ගැටවරයන්, ත්‍රීවිල් රියදුරන් ආදීන්ය. මේ අයට රජයේ නිලධාරින් හමුවී දන්සැල් ලියාපදිංචි කිරීමට අවශ්‍යය යන අනවශ්‍ය නිතී මතු කල විට, ඔවුන් දන්සැල්  දමීමේ ක්‍රියාවෙන් ඉවත් වෙති.

දන්සැල යනු සද්භාවයෙන් කරන ක්‍රියාවකි. ඒ අය දන්සැල රජයේ ලියාපදිංචි නොකළේය කියා වෙසක් පොහෝ දින තේරුමක් නොමැතිව දඩ කෑමට කැමති නැත.

ඇරත්, සමහරෙක් දන්සැල් දැමීමට තීරණය කරනුයේ අනිතිම මොහොතේය. එවිට එය  ලියාපදිංචිය සඳහා ‘වටේ දිවීමට’ ඔවුනට කාලයක් නැත.

කළ යුතු වන්නේ ලයිසන් ක්‍රමයක් හඳුන්වා දීම නොව දන්සැල් සඳහා අදාළ නීති රීති (සාධාරණ) පැහැදිලිව හඳුන්වා දුන් පත්‍රිකා ග්‍රාම සේවක කාර්යාල වල, පොලිස්/තැපැල් ස්ථානවල ආදියේ ප්‍රදර්ශනය කිරීමයි. පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලවා දන්සැල් අහඹු ලෙස  පරීක්‍ෂාවට යොමු කරවීමයි.

වෙසක්, පොසොන් දන්සල් සඳහා තදබල නිතී පනවන්නේ එය අපේ පොහොසත් සිංහල බෞද්ධ සංස්කෘතිය, උරුමයන් මරා දැමීමේ කුමන්ත්‍රණයක කොටසක් ලෙසද?

අද පන්සල් වල පෙරහැර වලට අලි ඇතුන් හිඟය.  ඥානාන්විතව මේ ප්‍රශ්න දෙස බලා රජයන් අපේ මේ මගඟු සංස්කෘතිකමය දායාද රැක ගැනීමට අසමත් ව ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

අපේ හෙළ (සිංහල) කළාව, හෙළ (සිංහල) බස, හෙළ (සිංහල)  දැය, හෙළ (සිංහල) සමය අපි නොරැක්කොත් ඒවා ඉතා විගසින් වැනසී යනවා නියතයි.

අපේ දේශීය සංස්කෘතියේ උසස් කළා නිධානයක් වන පහත රට නැටුම අද අභාවයටම වාගේ ගොසින්ය. මෙයට හේතුව සියළු රාජ්‍ය සැලකිලි අප දේශීය කළාවේ මුදුන් මල්කඩ සේ සලකන උඩරට නැටුම් උදෙසා පමණක්ම වෙන්වීමයි.

ඇවිදින මං තීරු සහ කෑම කඩ පිස්සුව

විහාරමහාදේවි, පේරාදෙණිය, නුවර එළිය, නුවර වේල්ස්,  හෙනරත්ගොඩ, සීතාවක මෙවැනි මාහැඟි උද්‍යාන නගර මධ්‍යයන්හි  පිහිටවුයේ විඩාපත් ජනයාට ඒවාට පිවිස, විඩාව නිවා, නිස්කලන්කව  ඔවුනට ඒවා තුල කාලය ගත කිරීමට ඉඩ දීමටයි; ස්වභාව සෞන්ධර්යයේ රස විඳීමටයි. අප උවමනාවට වඩා මේවායේ  ඇවිදින මං තීරු, කෑම කඩ, ළමා ක්‍රීඩා පිටි ආදිය බිහිකලොත් මේ උද්‍යාන පිහිටුවීමේ මුල් අරමුණ නැති කර ගන්නෙමු. ඒ මුල් අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා එන පුද්ගලයන් අඩුවී, නව අරමුණු සාක්ෂාත් කරගැනීමට එන අයගේ සංඛ්‍යාව වැඩි වෙත්.

බොහෝ ගස්වැල්, අඳුරු ස්ථාන,  නුග, නා, මාර  වැනි වසර සිය ගණන් පැරණි දැවැන්ත වෘක්ෂයන්, පොකුණු, ගුහාවල් ආදියෙන් පිරි, ජනාකීර්ණ නොවූ, නගරයන් හරි මැද පිහිටි  නිසංසල පරිසරයන් වූ මේවායේ අද එදා තිබු ඒ ගුප්තාත්මක සහ විවිධාකාර භාවය නැත හෝ අඩුය. ඇවිදින මං තීරු නිසා ඒවා ව්‍යායාම කරන්නන්ගේ පාරාදීස බවට අත්වී ඇත. ඒවායේ ළමා පිටි ඉතා ජනාකීර්ණය; ඒ අතර කෑම කෑමට එන අයගෙන් ඒ ප්‍රදේශ පිරී යයි. මේවා නිසා මේ පාර්ක් බිහිකිරීමේ මුලික පරමාර්ථය වෙනස් වී ඇත.  

කලින්, අප ගෝල් ෆේස්, විහාරමාහාදේවි පාර්ක් ගියේ සාමකාමී, නිහඬ වින්දනයක් ලබන්නයි, ස්වාභාවික් පරිසරයේ ආශ්වාදය රස විඳින්නයි. දරු පවුල සමඟ නව රසාස්වාදයක්, අත්දකිමක් ලබන්නයි.   ඒ ස්ථාන එදා සුද්දා හැදුවේ කෑම කෑමට යාමට නොවේ, ඒවාට වෙන තැන් නගරයෙ තිබේ. අද ඒ ස්ථාන කෑම කඩ දමා, විශේෂයෙන්ම මස් කෑම විකුණන ප්‍රධාන තැන් බවට පත් වී ඇත. මේ නිසා වෙනදා නොතිබුණු කසළ හා අප ද්‍රව්‍යය, වෙනදා නොසිටි තඩි බලලුන් තරම් වූ උරු මියෝ, කැරපොත්තෝ, මැස්සෝ, කාක්කෝ (දඩාවතේ යන බල්ලෝ පවා) ආදී ලෙඩ බෝ කරන සතුන්ගේ තෝ තැන්නක් වී ඇත. මේවා ශ්‍රී ලාංකික අප සැමගේ  ඉතාම වැදගත් ස්ථානය.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress