ඇමරිකන් තානපතිනි චං  නෝනා මේ එන්නේ මොකාටද?
Posted on January 14th, 2023

බ්‍රිතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පී හේවාවිදාන ලන්ඩනයේ සිට ලියන අලුත්ම ලිපිය 2023 ජනවාරි14  ඉරිදා සති අග අරුණේ 17  පිටුවේ

.මේ දවස් වල පත්තරයක් දිග ඇරියොත් අපි දකින්නේ චං නෝනාය. උදේ පාන්දර ටී.වී එක දැම්මොත් ලංකාවේ කොහේ හරි නගරයක චං නෝනා මොකක් විවෘත කරන හෝ කවුරුන් හෝ හමුවන ප්‍රවෘත්ති කෑල්ලක් අපට දකින්නට ලැබෙනවා ෂුවර්ය. චං නෝනා කවුද ඇය එන්නෙ මොකටදැයි කියා කියන්නට සමත් කවුරුවත් අපි අතර නැත.

එක දවසක් චං නෝනා යාපනයට ගොස් දෙමළ සංවිධාන හමුවී සිංහලයන්ගෙන් ඔවුන්ට සිදුවී ඇති ඊනියා අසාධාරණකම් ගැන ලියා ගනී.  ඊළඟ දවසේ එතුමිය ගාලු වරාය අසල මුහුදේ ගිලුණු පරණ නැව් බලන්නට කෞතුකාගාරයට යයි.    ඊට දවස් දෙක තුනකට  පසුව   චං නෝනට ඩයනා මන්ත්‍රීතුමියගේ ගෙදර හොඳ ඩිනර් එකක් ලැබේ. ශ්‍රී ලංකාවේ ගංජා වවන්නේ කොහොමදැයි චං නෝනා ඩයනාට උපදෙස් දෙනවා ෂුවර්ය.

ඊට පස්සෙන්දා අපිට චං නෝනා දකින්නට ලැබෙන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර ව්‍යාපාරය යටතේ හාමතෙන් පෙළෙන පවුල් වලට සහනාධාර බෙදෙන උත්සවයේදීය.

චං නෝනාට කිසිම විවේකයක් නැත. ඒ මොකද කියනවා නම් ඊ ගාවට එතුමියට මහින්ද අමරවීර ඇමතිතුමා සමඟ කොළඹ වරායට ගොස් යූරියා නැවක් පිළිගන්නට තිබෙන නිසාය. අනිද්දාටත් චං නෝනට ෂොපින් යන්නවත් ඉඩ නැත. ඒ පුත්තලමට ගොස් ශිෂ්‍යත්ව ලබන ළමුන්ට පදක්කම් පලන්දවන්නට තියන නිසාය.

තවත් සුමානයක් ගතවූ පසු චං නෝනා කොළඹ ඩේවිඩ් පීරිස් සමාගමෙන් මතුවේ. කංචන විජේසේකර ඇමතිතුමාත් නංවාගෙන ඇය විදුලි බලයෙන් දුවන ත්‍රීවිලයක් පදවාගෙන කොළඹ වටේ දුවයි. ඊට පස්සෙන්දා චං නෝනා කොළඹ නගරාධිපතිනී රෝසී සේනානායකගේ නිල නිවසට ගොස්  කැවුම්, කොකිස්, කිරිබත්,  රසකැවිලි, හැම් බේකන්,  කුකුලු මස්, හරක් මස් හා ප්‍රනීත ආහාර වර්ග 40කින් සමන්විත උත්කර්ශවත් නත්තල්  කෑම මේසයට වාඩිවී රාජ භෝජන වළඳමින් ප්‍රීති වෙයි. සමහරවිට  රෝසි,  චං නෝනට ආරාධනා කරන්නට ඇත්තේ කොළඹ මුඩුක්කු පැල්පත් වල සිටින දස දහසක් අසරණ පුංචි ළමයින්ට එක දවසකවත් රසවත් කෑම වේලක් දෙන්නේ කොහොමදයි සාකච්චා කරන්න වෙන්නට ඇත.

මේ දිනවල ශ්‍රී ලංකාවේ අතන මෙතන හැමතැනින්ම මතුවෙන අපේ රටේ ඕන දේටත්, එපා දේටත් හැම එකටම ඇඟිලි ගහන මේ චං නෝනා ඇත්තටම කවුද?

චං නෝනගේ සම්පූර්ණ නම් ජූලි ජියෝන් චං ය. ඇයට වයස 50 සම්පූර්ණ වෙන්න ඔන්න මෙන්නය. ඇය ශ්‍රී ලංකාවේ 28 වෙනි ඇමරිකානු තානාපතිනිය ලෙස වැඩ භාර ගත්තේ 2022 පෙබරවාරි 25 දාය.

“මම 2012 දී බැංකොක් වල සේවය කරද්දි මගේ සැමියා හා පුතා සමග ලංකාවේ නිවාඩුවකට ඇවිත් සීගිරිය  නුවර අනුරාධපුරය වගේ ලස්සන හැමතැනම සන්චාරය කළා. ලංකාවේ සුන්දරත්වයට එදා මම හරියට වශී වුණා . එනිසා ජෝ බයිඩන් ජනාධිපතිතුමා මාව ලංකා තානාපති ධුරයට පත්කරාම මට ඇති වුණු සතුට අප්‍රමා ණයි ඇය තම වැඩ භාරගනිමින් පැවසුවාය.”

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යටතේ ශ්‍රී ලංකාව ඉතිහාසයේ නොවූ විරූ අන්දමට දරුණුතම ආර්ථික අර්බුදයකින් පෙලෙන අවස්ථාවක ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් විසින් චං නෝනා අපේ රටට එව්වේය. අපි කවුරුත් හිතුවේ ඇය පැමිණියේ ඩොලර් මිලියන කෝටි ගණනින් අපට ආධාර කොට අපව විපතින් ගලවා ගැනීමට කියාය.

වැඩ භාර ගෙන සතියක් ඇතුලත චං නෝනා ගෝඨාභයගේ නිල නොවන ප්‍රධාන උපදේශිකාව බවට පත් වූවාය. වියත් මඟ හා එළියේ පණ්ඩිතයන් අහකට තල්ලු කළ ගෝඨාභය වැඩ කළේ චං නෝනා කියන හැටියටය. ගෝඨාභය නමට පමණක්  ජනාධිපති වූවාට සුක්කානම තිබුණේ චං නෝනා අතේ ය. ඉතිහාසයේ නොවූ විරූ විදියට මේ ඇමරිකන් තානාපතිවරිය ලංකාවේ දේශපාලනයට අත ගැසුවාය.

ඒ දිනවල අපි නිතර නිතර රූපවාහිනීයෙන් දුටුවේ චං නෝනා ජනාධිපති මන්දිරයට යන එන අයුරු ය. සමහර විට අනෝමා රාජපක්ෂ කුස්සියේ උයද්දී චං නෝනා හිරමණය උඩ වාඩිවී ඇයටත් බත් උයන අන්දම ගැන උපදෙස් දෙන්නටත් ඇත.

ගෝඨාභය හිතුවේ චං නෝනාට තමා වැඩිපුර අවනත වුණහොත් හා ඇයගේ උපදෙස් පිළිපැද්ද හොත් තෙල් පෝලිම්, ගෑස් පෝලිං එක රැයින් නැති කරලීම සඳහා ඇමරිකාව ඩොලර් මිලියන ගණනින් තෑගි කරනු ඇත කියාය.  නමුත්  ලංකාව ආර්ථික අර්බුදයෙන් බේරා ගැනීම ජූලි චංගේ න්‍යාය පත්‍රයට අඩංගු නොවීය. ඇයට පැවරී තිබුණ කටයුත්ත වූයේ ගෝඨාභය චීනයෙන් ගලවා ගෙන  ශ්‍රී ලංකාව ඉන්දියානු රජය හරහා ඇමරිකාවේ වහලකු කරගැනීමය. ගෝඨාභයට චං නෝනගේ ලණුව ගිල්ලේය. ශ්‍රී ලංකාව ටික ටික චීනයෙන් ඈත් වූ විට වේදනාවටත් කෝපයටත් පත් චීනය ලංකාවට ආධාර දීම නැවැත්විය.

අරගලයේ දී චං නෝනා අනුගමනය කළේ දෙබිඩි ප්‍රතිපත්තියක් වීම කාගේත් පුදුමයට හේතුවක් වීය. ඉතා සාමකාමී ලෙස තරුණයින් ඇරඹූ අරගලය පසුව අතට ගත් වාමාංශික දේශපාලන පක්ෂ රජයේ දේපල විනාශ කරමින් ඉතා ප්‍රචණ්ඩකාරීව හැසිරෙද්දී ජූලි චං ඒ ගැන විරෝධය පළ කළේ නැත. ඇය සාමය  රැක ගැනීම උද්ගෝශන කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන රජය විවේචනය කරමින් නිතර නිතර පනිවිඩ නිකුත් කළේය. නමුත් මහජන ඡන්දයෙන් පත් වුණු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු අමු අමුවේ මරා දැමුණු වෙලාවේ චං නෝනා එය හෙළා දකිමින්  ට්විටර් පණිවිඩයක් නිකුත් කළේ නැත.

හමුදාව යොදා මේ ප්‍රචණ්ඩත්වයකාරීන් පලවා හැර ගෝල්ෆේස් භූමිය සාමකාමී පෙදෙසක් කරන ලෙස පක්ෂ විපක්ෂ හා ආගමික නායකයින්ගේ ඉල්ලීම් වලට කන්දුන් ගෝඨාභය හමුදාව යොදා ප්‍රචණ්ඩකාරීන් පලවා හරින්නට සැරසෙන බව ආරංචි වූ චං නෝනා වහාම රජගෙදරට දුවගියාය. හමුදාව යොදවා අරගලය නවත්වන්න ලේස්ති වෙන්න එපා. එහෙම කරලා ලේ වැගිරීමක් වුනොත් ඇමරිකාව ඔබට විරුද්ධව දැඩි පියවරක් ගන්නවා යයි චං නෝනා ගෝඨාභය හොඳටම බය කළාය. පසුගිය ජූලි මාසයේ එක සතියකදී තෙවරක්ම ජනාධිපති ගෝඨාභය හමුවූ චං නෝනා  අරගලය යුද්ධ හමුදාව මගින් මැඩ පැවැත්වුවහොත් IMF ආයතනය ශ්‍රී ලංකාවට ණය දීම ප්‍රතික්ෂේප කරනු ඇති බව කියා ගෝඨාභයව බය කලේ යයි විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. මන්ත්‍රී වරයා කීවේ මේ තර්ජනයට බය වූ ගෝඨාභය ඒවන විට විනාශකරී ලෙස  පැවති අරගලය නවත්වන්නට උත්සාහ කළේ නැත යැයි කියාය. ඒ නිසා අරගලකරුවන් ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතන ගිනි තබා විනාශ කරද්දී නිවට ලෙස බලා සිටීමට ගෝඨාභයට සිදුවූයේය.

අන්තිමේ දී පණ බේරා ගැනීමට රජ ගෙදරින් පලා ගොස් හමුදා කඳවුරක සැඟවීමට ඔහුට සිදුවිය. ගෝඨාභය තම පරණ රටවූ ඇමරිකාවට යන්නට වීසා ලබා දෙන්නයි තම මිතුරිය චං නෝනාගෙන් ඉල්ලා සිටි විට ඇය එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළාය. තමා ඉතා කුළුපග මිතුරියක් යයි සැලකූ චං නෝනගේ සැබෑ ස්වරූපය ගෝඨාභයට තේරුනේ එවිටය. අවසානයේ දී ගෝඨාභයට සිදුවූයේ මාලදිවයින් හා සිංගප්පුරුව හරහා තායිලන්තයට පැන යාමට ය. සැප්තැම්බර් මාසයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය තම පුතු සමඟ සති කිහිපයක් ගත කිරීමට ඇමරිකාවට යාමට වීසා ලබා දෙන ලෙස චංගෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළ ජූලි චං අනාගතයේ කිසි දිනක ඔහුට ඇමරිකාවේ දොර නොඇරෙන බවත් එනිසා වීසා වලට ඉල්ලුම් නොකරන ලෙසත් ගෝඨාභයගේ ගෙදරටම පැමිණ තදින් කියා සිටි බව පුවත්පත්වල වාර්තා විය. ශ්‍රී ලංකාවේ හොඳම මිතුරිය වශයෙන් පෙනී සිටිමින් ජූලි චං තමාව රැවටූ බව ගෝඨාභයට තේරෙන විට ඔහු ප්‍රමාද වූවා වැඩිය.

චං නෝනා හිතුවේ ගෝඨාභය අල්ලේ නැටෙව්වා මෙන් නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෙහෙසියෙන්ම ඇමරිකන් රූකඩයක් බවට පත් කරගත හැකි යැයි කියාය. නමුත් රනිල් යනු ලෝක දේශපාලන ඉතිහාසය හොඳින් දන්නා පළපුරුදු බහුශෘත දේශපාලඥයෙකු  බව චං නෝනා දැන සිටියේ නැත. ගෝඨාභයගේ කාලයේ මෙන් හිතුණු හිතුණු වෙලාවට රජ ගෙදරට ඒමට චං නෝනාට අවසර ලැබුනේ නැත. ගෝඨාභය කළාක් මෙන් ශ්‍රී ලංකාවේ අනිත් තානාපතිවරුන්ට දක්වන සැලකිල්ලට වඩා විශේෂ සැලකිල්ලක් ජූලි චංට දැන් ලැබෙන්නේ නැත.

අනෙකුත් තානාපතිවරුන් සමඟ රනිල් සාකච්ඡා පවත්වන විට චං නෝනාටත්  ආරාධනාවක් ලැබෙන නමුත් ගෝඨාභය මෙන් ඇය සමඟ තනිවම සාකච්චා කිරීමට රනිල් උනන්දුවක් නොදක්වයි. සමහර විට මෙය තමන්ට කරන මදිකමක් ලෙස ඇය සලකනවා වන්නට ඇති නමුත් ජනාධිපතිතුමාට එය ප්‍රශ්නයක් නොවේ.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම අර්බුදයට ලක්ව සිටිද්දී , බ්‍රිතාන්යය ඕස්ට්‍රේලියාව . ජර්මනිය වැනි රටවල් අපට ඩොලර් මිලියන ගණනින් ආධාර ලබා දුන්නේ කිසිම කොන්දේසියක් නැතුවය. ජූලි චංට ශ්‍රී ලංකාව ගැන  ඔය කියන තරම් ලොකු ආදරයක් තිබුනා නම් අපේ රටට තෙල් නැවක් හා ගෑස් නැවක්  ණයට හෝ එවා අපේ ජනතාව පෝලිම්වල දවස් ගණන් දුක් විඳීම නැවත්වූයේ නැත්තේ ඇයි.

ජූලි චං ඒ දිනවල ලන්කාවට කැරට් අල දික් කළා මිස අපට ලබාදුන් කෙංගෙඩියක් නැත.

ලෝකයේ වැදි බණ කීමට නම් දරන රාජ්‍ය ඇමරිකාව බව සැවොම දන්නා රහසකි. ඇමරිකන් කකුළුවා හරහට යන ගමන් ලෝකයේ පුංචි කකුළුවන්ට කෙලින් යන්නට උගන්වයි. ඇමරිකන් හමුදාව ඇෆ්ගනිස්තානයේ හා ඉරාකයේ කළ බිහිසුණු මිනිස් ඝාතන ගැන වචනෙකින්වත් විභාගයක් නොකල ඔවුන් යුද කාලයේදී ශ්‍රී ලංකාවේ සිදුවුණා යැයි කියන මානව අයිතිවාසිකම් කඩ කිරීම ගැන පරීක්ෂණ ඉල්ලන්නේ එනිසාය. චෑං නෝනාත් ඒ වගේ වැදි බණ කියන්න මාර දක්ෂය.

මාස ගාණක් ගෝල්ෆේස් පිටිය අත්පත් කොටගෙන විනාශකාරී ලෙස හැසිරුණු අන්තවාදීන් පිරිස හමුදාව යොදා විසුරුවා හැරුණේ ජුනි 26 දා අලුයම ය. වහාම තම සුපුරුදු මාධ්‍ය අවිය වූ Twitter අතට ගත් චං නෝනා හමුදා බලය යොදා අරගලකරුවන් පලවා හැරීම ගැන ජනාධිපතිවරයාව තරයේ විවේචනය කළේය. නමුත් රනිල් වික්‍රමසිංහ යනු ගෝඨාභය වගේ ඇමරිකන් තානාපතිවරිය ඉදිරියේ දණ නමන ජනාධිපතිවරයකු නොවේ. ඔහු ජූලි චංට හැරෙන තැපෑලෙන් ම උත්තරයක් දුන්නේ ය.

“ඔහේ මේ නොදන්න මගුල් ගැන මට බණ කියන්න එපා. ඇමරිකාවේ කැපිටල් සිටි ගොඩනැගිලි සමූහය ත්‍රස්තවාදීන් අල්ලාගෙන විනාශ කරන විට ඇමරිකන් හමුදා වහාම ඇතුලු වෙලා එක රැයින් ඔවුන් එලෙව්වා මතක නැද්ද? ඊයේ රෑ ගෝල්ෆේස් එකේ අපේ හමුදාව කළෙත් ඔහේලගේ ඇමරිකන් හමුදාව කළ දේමයි”

වැදි බණ කියන්ට ආ ජූලි චංට කට උත්තර නැතිවෙන්න රනිල්  දුන් ප්‍රතිචාරයට බොහෝ දෙනාගෙන් ප්‍රශංසා ලැබුණි. ඉන්පසු ජූලි  චං නෝනා ආණ්ඩු කරන හැටි ගැන රනිල්ට උගන්නන්නට ආවේ නැත.

බොහෝ දෙනා ජූලි චං දුටු ගමන් හිතන්නේ ඇය  චීන සම්භවයක් ඇති කාන්තාවක් බවය. නමුත් ඇය කොරියන් ජාතිකයෙකි. 1973 දී ඇයට වයස පහක් වෙද්දී මුළු පවුලම කොරියාවෙන් ඇමරිකාවට සංක්‍රමණය වූයේ ඇයගේ පියාට ඇමරිකාවේ ගුවන් සමාගමක Draftman වශයෙන් පැයකට ඩොලර් පහක සුළු මුදලකට රැකියාවක් ලැබුන නිසාය. පියාගේ සුළු පඩියෙන් හතර දෙනෙකුගෙන් සමන්විත පවුල නඩත්තු කිරීම ඉතා අසීරු වූ නිසා ඇයගේ මව ඉතාලි ආපන ශාලාවක පිඟන් සෝදන්නියක් වශයෙන් රාත්‍රී කාලයේ වැඩ කළාය.

ජූලි චං ඇමරිකාවේ  තමා ගත කල අසීරු පාසල් කාලය මෙසේ විස්තර කරයි.  ඉංග්‍රීසි වචනයක්වත් දන්නේ නැතුව ඉස්කෝලේ ගිය මට පන්තියේ ඇමරිකන් ළමයි හරියට වද දුන්නා. ඒගොල්ලො එයාලගේ ඇස් දෙපැත්තට ඇදලා Chun king chicken,  Chun king chicken කියලා මට හරියට විහිළු කළා. පිට්ටනියෙ මම සෙල්ලම් කරනකොට කකුල් මාට්ටු දමලා මාව වට්ටපු වාර ගාන අනන්තයි. ආපහු චීනෙට පලයන් කියලා ජාතිවාදී ළමයි නිතරම මට පරිභව කළා. අපේ තාත්තා ඇමරිකන් පාරවල් පුරුදු නැති නිසා හිමින් කාර් එක එලවන් යනකොට පිටිපස්සේ හිටි කාර් එකේ ඩ්‍රයිවර්ට හොඳටම තරහ ගියා. අපිව ඉස්සර කරන ගමන් එයත් කෑගැහුවා පලයන්කො චීනෙට අපට වද නොදී කියා. අපි චීනෙන් නෙමෙයි කියලා ආපසු කෑගහන්න මට සිතුනා.”

කොච්චර අපිට බාධක කම්ක)ටොළු තිබුණත් මමත් අක්කාත් හොඳට ඉගෙන ගත්තා. අන්තිමේදී මම කැලිෆෝනියා යුනිවර්සිටි එකෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ BA උපාධියත්, කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ MA උපාධියත් ලබා ගත්තා.

උත්සාහවන්තයා ජයගනී යන ප්‍රස්තාපිරුල සත්‍යයක් බව ජූලි චංට ක්‍රියාවෙන් පෙන්වූයේ ඇයගේ ආදරණීය දෙමව්පියන්ය.

පිඟන් සෝදන්නියක් ලෙස ඇමරිකන් ජීවිතය ඇරඹූ ඇයගේ මව පසුව නගරයේ ප්‍රධාන පුස්තකාලයේ අධිපතිනිය මෙන්ම පල්ලියේ Deacon ද වීය. 1973 දී ගුවන් යානා සමාගමක Draftman කෙනෙකු ලෙස රැකියාව ඇරඹූ ඇයගේ පියා ක්‍රමයෙන් ඉහළට ගොස් වසර 22කට පසු එම සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක වීය.

1986 දී ඇමෙරිකන් අභ්‍යවකාශගාමීන් හත් දෙනෙකුට මරු කැඳවමින් චැලෙන්ජ නම් රොකට්ටුව පුපුරවා ගියේ එහි තිබූ O-Ring  නැමැති රබර් මුදු දෙකක් සීතලට (Freeze කැටි ගැසුණු නිසා ය. එම රබර් ගුවනේ දී රත් කිරීමේ නව ක්‍රමයක් හොයා ගත්තේ ජූලි චංගේ ඉංජිනේරු පියාය. ඔහුට පින්සිදුවන්නට අවුරුදු 5 කට පසු නාසා ආයතනයට නැවත අජටාකාශ රොකට් ගමන් අරඹන්නට හැකිවිය.

උපාධි ලැබීමෙන් පසු ජූලි චං ඇමරිකාවේ විදේශ සේවයට බැඳුණි. එහිදීත් ඇයට ජාතිවාදී හා වර්ණ වාදී ගැරහුම් වලට මුහුණ දෙන්නට විය. වරක් ඇමරිකාවේ විදේශ කාර්යාලයේ වැඩට ඈ එද්දී ප්‍රධාන දොරටුව ළඟ සිටි අලුත් ආරක්ෂක නිලධාරියා ආ පිලිපීන සේවිකාවට මෙතැනින් යන්න බැහැ. කරුණාකරලා අනිත් වැඩකාරයෝ වගේ පස්සේ දොරෙන් ඇතුළු වෙන්න ඇයට කීවේය. මගේ චීන පෙනුම නිසා ඇමරිකාවේ උසස් නිලධාරීන් පවා මම ඇමරිකන් පුරවැසියෙක් හා තානාපති නිලධාරිනියක් කියා විශ්වාස කළේ නැහැ. මම එක සැරයක් දූත මෙහෙවරකට උතුරු කොරියාවට ගිය වෙලේ එයින් නිලධාරියෙක් මගෙන් ඇහුවා ඇත්තටම ඔබ ඇමෙරිකන් ජාතිකයෙක් ද කියා. සමහර තානාපති රැස්වීම්වලට ගියාම මට පෙනුනා මං වගේ තවත් අය එතැන නැහැ කියලා. එවැනි අවස්ථාවල මම මගෙන්ම ප්‍රශ්න කළ වාර ගණන අනන්තයි මම ඒ සමාජයට අයිති කෙනෙක්ද කියා. ඇමරිකන් පෙනුමක් නැති නිසා ඇමරිකන් තානාපති සේවයේදී මට අනන්ත බාධක හිරිහැර වලට මුහුණ පාන්න සිදුවුණා. නමුත් ආත්ම ශක්තිය හා ධෛර්යය නිසා මම තානාපති සේවයේ ඉහළටම ගියා.”

මට මෑතක් වන තුරු නිතර නිතර අහන්න ලැබුන වෙහෙසකාරී ප්‍රශ්නය තමයි ,ඔබ  කොයි රටේ කෙනෙක්දැ යි කියන එකග  තානාපති සේවයේ නිලධාරිනියක්  වශයෙන් සත්කාරක රටේ ජාති  උත්සවයකට ගියත්   පාටියකට ගියත්   කවුරුහරි මගෙන් අහන මුල්ම ප්‍රශ්නය තමයි ,ඔබ ඇත්තටම ඇමරිකන් ජාතිකයෙක්ද  නැත්නම් මොන රටෙන් ආපු එක්කෙනෙක්ද,  කියන එකග මට ඇමරිකන්  පෙනුමක් නැති නිසා මම ඒ රටේ තානාපති සේවයේ  නිලධාරිනියක් කියන එක එයාල පිලිගත්තෙම නෑග   ඒ දවස් වල ඒ ප්‍රශ්නෙ මට තරහ යන කරදරකාරී එකක් වුණත් දැන් එහෙම නෑ.  කවුරුහරි එහෙම ඇහුවම  කොරියාවේ ඉපදිලා ඇමරිකාවට ආ මගේ සංක්‍රමණ ඉතිහාසය සම්පූර්ණයෙන් එයාලට කියන්න මම ඒක අවස්වතාවක් කර ගන්නවා. සත්තකින්ම මම  මගේ රටවන ඇමරිකාවේ  තානාපති නිලධාරිනියක් කියලා මම එයාලට ආඩම්බරයෙන් කියනවා යි  ඇය සිනාසී ප්‍රකාශ කරයි

ඉංග්‍රීසි  වලට අමතරව  ජුලි චංට කොරියන් ජපන් ස්පාඤ්ඤ කාම්බෝජ භාෂාව චතුර ලෙස කතා කළ හැකිය.  මේ දිනවල ඇය සිංහල භාෂාව ද ටික ටික ඉගෙන ගනිමින් සිටි.

1996 දී තානාපති සේවයට බැඳුණු ඇය කාම්බෝජියාව, තායිලන්තය, බොගොර්තාව හා ඉරාකයේද තානාපති නිලධාරිනියක් වශයෙන් සේවය කරමින් විශාල අත්දැකීමක් ලැබුවාය. බස්නාහිර අර්දගෝලයේ ප්‍රධාන සහකාර ලේකම් වශයෙන් 2018 සිට සේවය කළ ජූලි චං ශ්‍රී ලංකාවේ තානාපතිනිය වශයෙන් වැඩ භාර ගත්තේ 2022 පෙබරවාරි මාසයේදීය.

චං නෝනා ඉතා කාර්යක්ෂම හා  වෙලාවට වැඩ කරන තානාපතිවරියකි. හැමදාම උදෑසන හතට ඇය තම කාර්යාලයේ දී වැඩ අරඹන්නේ ලංකාවේ ඉංග්‍රීසි පුවත්පත් කියවීමෙනි. ඇමෙරිකන් තානාපති කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානතම කාර්යය වන්නේ කලින් දවසේ ලංකාවේ සිංහල පුවත්වල ඇමෙරිකාව පිළිබඳ පල වූ හොඳ හෝ නරක සියළුම ලිපි ඉංග්‍රීසියට පරිවර්තනය කොට තානාපතිතුමියගේ මේසය උඩ දවල් 11 ට පෙර තැබීමය. මා මේ ලියන ලිපියේ නිවැරදි ඉංග්‍රීසි පරිවර්තනයක් ද හෙට සඳුදා 11 වන විට නොවැරදීම ඇයගේ මේසේය උඩ තිබෙනු ඇත.  “තමුන්නාන්සේ මේ මොනවද මං ගැන ලියලා තියෙන්නේ. මම එහෙම කෙනෙක් නෙමෙයි, මම මේ ඔක්කොම කරන්නෙ ඔයාලගේ ලස්සන රටට තියෙන ආදරේ නිසා යි”  කියා සමහරවිට එතුමිය මට ඊමේල් පිළිතුරක් එවන්නටත් බැරි කමක් නැත.

බොහෝ දෙනා කියන්නේ චං නෝනාගේ ලස්සන හිනාවට කතා කරන විලාශයට හා සුහදශීලී බවට ඕනෑම කෙනෙක් වශී වන බවය. එයට හොඳම උදාහරණය ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාරය. ගෝඨාභය රාජපක්ෂට ඩොලර් මිලියන හාරසිය අසූවක් වටිනා මිලේනියම් ගිවිසුම අත්සන් කිරීමට නොදී ඇමරිකාව පතුරු ගැහුවේ අනුරය. නමුත් පසුගිය මැයි 14  දා චං නෝනා ඔහු සමග පැය කිහිපයක  සාකච්ඡාවක් පැවැත්වීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අනුර කුමාර දැන් පෙර මෙන් දරුණු ලෙස ඇමරිකාව විවේචනය කරන්නේ නැත.

විදේශ තානාපතිවරයෙක්ගේ කර්තව්‍ය වන්නේ තමන්ගේ රට හා සත්කාරක රට අතර ආර්ථික වෙළඳ අධ්‍යාපන හා සමාජීය සම්බන්ධතා ගොඩ නැගීමය. සත්කාරක රටට අවශ්‍ය නම් තම රට මඟින් ආධාර සැපයීමය. සත්කාරක රටේ පාර්ලිමේන්තුව විවෘත කිරීම, නිදහස් දිනය වැනි වැදගත් අවස්ථාවල දී ආරාධිත අමුත්තෙකු වශයෙන් නිහඬව සහභාගි වීම, විදේශ තානාපතිවරයෙකුගේ තවත් යුතුකමකි. එසේ නැතුව සත්කාරක රටේ දේශපාලනයට ඇඟිලි ගැසීමවත් පවතින රජයේ වැඩ කටයුතු විවේචනය කරමින් හිතුණු හිතුණු වෙලාවට Twitter පණිවිඩ නිකුත් කිරීමවත් විදේශ තානාපතිවරයෙකු කිසිසේත්ම නොකළ යුත්තකි. රජයට විරුද්ධව ජනතාව කෙළින්ම හෝ අනියම් ලෙසින් උසිගැන්වීම ද තානාපතිවරු ගෙන් අපි බලාපොරොත්තු වන්නේ නැත.

ශ්‍රී ලංකාවේ සිටින ජර්මන්, බ්‍රිතාන්‍ය, ඕස්ට්රේලියානු හා කැනඩා වැනි බටහිර රටවල  තානාපතිවරු  තමන්ගේ පාඩුවේ සිටිමින්  ලංකාවත් තම රටවල් අතරත් ඇති  සම්බන්ධතා අප්‍රසිද්ධියේ වැඩි දියුණු කර ගනිමින් සිටින අන්දම අතිශයින් ප්‍රශංසනීය ය.  ඔවුන් දවස ගානේ  ට්විටර් පණිවිඩ නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට  ඇඟිලි ගසන්නේ නැත.

ජුලී චං නෝනාත්  ඒ වටිනා විදේශ දූත ගුණාංග අනුගමනය කරනවා නම් කොච්චර හොඳදැයි මට සිතේ.

අද  ශ්‍රී ලංකා දේශපාලන  සමාජයේ බොහෝවිට කතා කෙරන  ප්‍රශ්නය වන්නේ ඇමරිකන් තානාපතිවරිය මේ එන්නෙ මොකාටද යන්න යි.

ජූලි චං යනු නිතරම සිනාමුසු මුහුණින් සිටින තානාපතිවරියක් බවත් ඇයගේ එකම අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ විවිධ ජන සමාජ සමඟ මිත්‍රත්වය ගොඩනඟාගෙන ඇමරිකන් රජය හරහා අප රටට විශාල වශයෙන් ආධාර කිරීම පමණක් බවත් එක පිරිසක් කියති.

නමුත් අනිත් පිරිස කියන්නේ චං නෝනා මෙහි පැමිණ සිටින්නේ අපිට සීනි බෝල බස්සමින් ටික ටික ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් යැපෙන වහල් රටක් කිරීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට බවයි.

මේ දෙගොල්ලන්ගෙන් හරි කවුද කියා දන්නේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චං නෝනාම පමණි.

බ්‍රිතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන

ලන්ඩන් නුවර සිට ලියයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress