සම්ප්‍රදායික ලෙස බලන්නේ නැතුව ඊට පිටින් හෝ ගොවි ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළ යුතුයි. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.
Posted on February 17th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

2023.02.17 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති  වී මිලදී ගැනීම සහ බෙදාහැරීම සම්බන්ධ සාකච්ඡාව අමතමින් අග්‍රාමාත්‍යවරයා  සඳහන් කළේ අඩු ආදායම් ලබන පුද්ගලයින් සඳහා සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට නම් මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම් සහ බෙදාහැරීම්  නිසි සැලසුමකට අනුව සිදු කළ යුතු බවයි.

 වී මිලදී ගැනීමේ කර්තව්‍යය සහ වත්මන් තත්ත්වය, සමාජ ආරක්ෂක ප්‍රතිශෝධනය පිළිබඳ දැනට පවතින තත්ත්වය විමර්ශනය කිරීම, සහ ආහාර නිෂ්පාදනය පිළිබඳ වැඩකටයුතුවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුකරනු ලැබීය.

දිස්ත්‍රීක් රැසක වී මිලදී ගැනීම දැනටමත් ආරම්භ කර ඇති බවත් ඉදිරි සති කිහිපය තුළ අනෙකුත් දිස්ත්‍රීක්ක වල අස්වැන්න නෙලීම සහ වී මිළදී ගැනීම ආරම්භ කරන බවත් මෙහිදී අනාවරණය කෙරිණී.

සමාජ ආරක්ෂක ප්‍රතිශෝධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටළු කඩිනමින් විසඳා ගැනීමටත් රජයේ නිළධාරීන් හැකිතාක් ඊට යොදවා ගැනීමටත් එසේ කළ නොහැකි අවස්ථාවේදී රාජ්‍ය පරිපාළන අමාත්‍යාංශ ලේකම් වරයාගේ චක්‍රළේඛයට අනුව පුද්ගළයින් යොමු කිරීමටත් මෙහිදී තීරණය කරනු ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ  අග්‍රාමාත්‍ය වරයා-

ජනාධිපතිතුමා දින තුනකට පෙර විශේෂ රැස්වීමක් පවත්වා අපේ රටේ කෘෂිකර්මය සහ ආහාර ස්වයංපෝෂිත  වැඩසටහන  පිළිබදව විවිධ තීරණ ගනු ලැබුවා.

විශේෂයෙන් මේ කන්නය ඉතා සාර්ථක සහල් අස්වැන්නකට අපට ලැබී තිබෙනවා. එය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිතුමා එම අස්වැන්න එකතු කර ගැනීමේදී වී සඳහා රුපියල් එකසිය 110 ක  උපරිම මිලක් නියම කළා.

 වී මිලදී ගැනීම සඳහා  මුදලක් සෑම දිසාපති  කාර්යාලයකටම  වෙන්කර තිබෙනවා. වී මිලදී ගැනීමේ වැඩසටහනේ සහයෝගයට  අවශ්‍ය ආරක්ෂක හමුදාවල හෝ වෙනත් ආයතනයක සහයෝගය අවශ්‍ය නම්  එය ලබා ගැනීම සඳහා රජය අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

 ශ්‍රී ලංකාව ගැන ලෝකයට අලුත් විශ්වාසයක් ඇතිකරමින් අපේ රටේ ගොවි ජනතාව සාර්ථක අස්වැන්නකට අපේ රට ගෙනවිත් තිබෙනවා.  ඒ විශ්වාසය අපට දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් විශාල ශක්තියක්. දැන්   නෙලා ගන්නා අස්වැන්න සඳහා මුදල් ලබා දීමත්, ඒවා ගබඩා කර ගැනීමත්,   මහා පරිමාණ සහ කුඩා පරිමාණ වශයෙන් වී කොටන මධ්‍යස්ථානවලට යොමු කිරීමත්  සිදුකරමින් තිබෙනවා.

 ආහාර ලබා ගැනීමට අමාරු පවුල් වලට වලට  සහන ලබාදීමේ වැඩසටහනක් මේ සමගම සමාන්තරව ගෙනයන්නට පැහැදිලි වැඩපිළිවෙලකට  රජය  අවතීර්ණ වෙලා තිබෙනවා.

 සම්ප්‍රදායික ලෙස බලන්නේ නැතුව ඊට පිටින් හෝ අලුතෙන් හරි මැදිහත්වීමෙන් ප්‍රායෝගිකව ඒ ස්ථානවල ගොවි ජනතාව බලාපොරොත්තු වෙන කාර්යය අප ඉටු කළ යුතුයි.

 අඩු ආදායම් ලබන කොටසට ලබාදෙන සහනය වැඩි කිරීමට ලෝක බැංකුවේ සහයෝගය අපට තිබෙනවා. නමුත් අප විසින්   දත්ත  සැපයීම සඳහා ගෙන ඇති කාලය වැඩියි.  

රාජ්‍ය අමාත්‍යවරුන් වන  මොහාන් පී සිල්වා, ඩී. බී. හේරත්, කාදර් මස්තාන් අනූප පැස්කුවල්, දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු සභාපතිවරුන් වන චමල් රාජපක්ෂ, ප්‍රදීප් උදුගොඩ, සංජීව එදිරිමාන්න, අකිල එල්ලාවල, රාජිකා වික්‍රමසිංහ, සහන් ප්‍රදීප්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්දු සිල්වා සහ අමාත්‍යාංශ ලේකම්වරුන්, රජයේ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක් වූ අතර zoom තාක්ෂණය ඔස්සේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර,  එස් බී දිසානායක, සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ද  සාකච්ඡාව සඳහා  එක්විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress